ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව : ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි

ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව : ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි

ගුරුවරුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කළ ඇමති අනු කමිටුවේ යෝජනා පවා නොතකා හරිමින් ආණ්ඩුව ලබාදීමට සූදානම් වන රුපියල් 5,000ක දීමනාව ප්‍රතික්ෂේප කරන අතර එය කොරෝනා මර්දන කටයුතු සඳහා යොදවන ලෙස ගුරු සහ විදුහල්පති සංගම් ආණ්ඩුවට දන්වා ඇත.

ඊයේ (30) කැබිනට් මණ්ඩලය විසින් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට කර තිබෙන යෝජනාව කිසිසේත් බාර නොගන්නා බව ඒකාබද්ධ ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අද (31) ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඇමති අනු කමිටුව නිර්දේශ කර තිබෙන වැටුප් වර්ධක පවා ලබා නොදී එය අවස්ථා කිහිපයකදී වාරික වශයෙන් ඉහල දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස සිදුකරන කටයුතුවලට හසු නොවන බවද එම සංගම් අවධාරණය කර ඇත. ගුරුවරුන්ට හිමිවිය යුතු වර්ධක නියමිත ප්‍රමාණය වෙනුවට ඇමති අනු කමිටුව රුපියල් 3,750/- සිට 11,820/- දක්වා ලබාදිය යුතු බවත් විදුහල්පති ශ්‍රේණි සඳහා රුපියල් 6,895/- සිට 12,020/- දක්වා ලබා දියයුතු බවත් එම අනු කමිටුවෙන් නිර්දේශ කර ඇත.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) ගත් තීන්දු සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ දී අද (31) පැවති මාධ්‍ය හමුවකදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  පැවසුවේ තම ගැටලුව විසඳීමට බව කියමින් කැබිනට් මණ්ඩලය සම්මතර කර ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ වූ යෝජනා තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.

ගුරු විදුහල්පති සංගම් ඉකුත් 26 වැනිදා නව අධ්‍යාපන ඇමතිවරයා හමුවී ඇමති අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප් යෝජනාව සුබෝධනී කමිටු වාර්තා කොටසක් ලෙස ගෙන එන ලෙස යෝජනා කළ බවත්, ඇමතිවරයා අනුකාරක සභාව හෝ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සැලකිල්ලට ගෙන නොමැති බවත්ය.

ආණ්ඩුව වෘත්තීය සමිතිවල ඉල්ලීම නොසලකා කටයුතු කරන්නේ නම් ඉල්ලීම් ලබාදෙන තුරු මේ වන විට දින 51ක් තිස්සේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වෙමින් ඉතා ශක්තිමත්ව කැපවීමෙන් දියත් කර ඇති අරගලය තවදුරටත් පෙරට ගෙනයාමට සිදුවන බව ද ඔහු කීවේය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ යන අය මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න