බලයට වඩා මනුෂ්‍යත්වය තෝරාගන්නා ලෙස ලෝක නායකයින් ගෙන් කෙරෙන ආයාචනයක්!
ලෝකයේ සාමය, සහජීවනය සහ මනුෂ්‍යත්වය දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති, ජාතීන් අතර බෙදීම් උග්‍ර වෙමින් පවතින යුගයක, සන්සුන්භාවය, සංයමය සහ වගකීම් සහගත නායකත්වයක් වෙනුවෙන් හඬ නැගීම අප සැම ගේ අනිවාර්ය සාමූහික වගකීමකි.
පළමු සහ දෙවන ලෝක යුද්ධ මෙන්ම ඉතිහාසය පුරා දිවෙන අමිහිරි යුද අත්දැකීම් අපට කියා දෙන එක් ප්‍රබල සත්‍යයක් තිබේ. එනම්, ප්‍රචණ්ඩත්වයෙන් සහ මිලිටරි ගැටුම්වලින් කිසිදා සැබෑ සාමයක් හෝ ජයග්‍රහණයක් අත් නොවන බවයි. ඒ වෙනුවට එයින් සිදුවන්නේ සමාජ විනාශ වී, අනාගත පරපුරට දරාගත නොහැකි තරම් ගැඹුරු කැළැල් සහ වේදනා ඉතිරි වීම පමණි.
සැබෑ සහ තිරසාර සාමයක් ගොඩනැගිය හැක්කේ සංවාදය, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ මානව ගෞරවයට අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීමෙන් පමණක් බව අතීතයේ කටුක පාඩම් අපට නිරන්තරයෙන් සිහිපත් කරයි.

අවි නොගත් අහිංසකයන්ගේ ඛේදවාචකය
යුද්ධයේ සැබෑ මිල ගෙවන්නේ යුද බිමේ සටන් වදින සෙබළුන් හෝ තීරණ ගන්නා නායකයින් පමණක් නොවේ. යුද්ධයට කිසිදු සෘජු සම්බන්ධයක් නැති, කිසි දිනෙක අවි නොගත් අහිංසක දරුවන් සහ කාන්තාවන් මේ කුරිරු ගැටුම්වල ප්‍රධානතම වින්දිතයින් බවට පත්වීම අතිශය ඛේදජනක ය. මවක ගේ විලාපයක්, කුසගින්නේ සහ බියෙන් හඬන දරුවකුගේ කඳුළක් යනු කවර පාර්ශවයක වුව ද සමස්ත මනුෂ්‍යත්වයේ ම පරාජයකි. මේ මොහොතේ පවතින ගැටුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්ව වෙතින් මා ඉතා සංවේදීව ඉල්ලා සිටින්නේ, ඉහළ ම මට්ටමේ සංයමයක් ප්‍රගුණ කරන ලෙසත්, යුද තත්ත්වය සමනය කිරීම සඳහා වහාම අර්ථවත් පියවර ගන්නා ලෙසත් ය. කුමන තත්ත්වයක් යටතේ වුව ද සිවිල් වැසිය ගේ ආරක්ෂාව, විශේෂයෙන් ම කාන්තාවන්ගේ සහ දරුවන් ගේ සුරක්ෂිතභාවය, ගෞරවය සහ යහපැවැත්ම කිසිදු කොන්දේසියකින් තොරව සහතික කළ යුතුම බව මම තරයේ අවධාරණය කරමි.

ජාත්‍යන්තර ප්‍රජාවේ සහ එක්සත් ජාතීන්ගේ වගකීම
ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ සන්නද්ධ ගැටුම් පාලනය කරන විශ්වීය වශයෙන් පිළිගත් නීතිරීති අමු අමුවේ උල්ලංඝනය වන අයුරින් වර්තමාන යුද ගැටුම් නිර්මාණය වෙමින් පැවතීම දැඩි කම්පනයට කරුණකි. මෙම නීතිමය සහ සදාචාරාත්මක බැඳීම් නොසලකා හරින ඕනෑම ක්‍රියාවක් මනුෂ්‍යත්වයේ සහ යුක්තියේ මූලධර්මවලට එල්ල කරන බරපතළ තර්ජනයක් වන අතර, එය කිසිදු පැකිලීමකින් තොරව අප හෙළා දැකිය යුතු ය. මෙම තීරණාත්මක මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවට තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි ය. තවදුරටත් සිදුවන මානව ඛේදවාචක වළක්වා ගැනීමට සහ සාමකාමී විසඳුම් ප්‍රවර්ධනය කිරීමට පැහැදිලි සදාචාරාත්මක මෙන්ම නීතිමය වගකීමක් ලෝකයට ඇත.
ඒ සම්බන්ධයෙන්, අදාළ සියලු ම පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් මෙම ගැටුම වහාම සහ ස්ථිරව ම අවසන් කිරීම අරමුණු කරගත් හදිසි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සඳහා එක්සත් ජාතීන් ගේ සංවිධානය (UN) වඩාත් සක්‍රීය සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු යැයි මම ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සුරැකීමේ ප්‍රමුඛතම ගෝලීය ආයතනය ලෙස ඔවුන් ගේ වගකීම අන් කවරදාටත් වඩා අද වැදගත් වී ඇත.

සාමය යනු බලහත්කාරයෙන් පැටවිය හැක්කක් නොවේ
සාමය කිසිදා අවි බලයෙන් හෝ බලහත්කාරයෙන් පැනවිය නොහැකි ය. පළිගැනීමේ චක්‍රයක් තුළින් එය කිසිදා මතු නොවේ. සාමය ගොඩනැගිය යුත්තේ සංවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම සහ යුක්තිය උදෙසා වන අවංක කැපවීමක් මත පමණි. මානව ඉතිහාසයේ මෙම තීරණාත්මක මොහොතේ, ලොව පුරා සිටින නායකයින් දේශපාලන සහ ජාතිකත්ව බෙදීම්වලින් ඔබ්බට ගොස්, බලයට වඩා මනුෂ්‍යත්වයත්, ගැටුමට වඩා සාමයත් තෝරා ගැනීමේ ධෛර්යය ප්‍රදර්ශනය කළ යුතු ය. අද ලෝකයට හදිසි අවශ්‍යතාවක් වී ඇත්තේ ගැටුම වෙනුවට දයාව, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සහයෝගීතාව තෝරා ගන්නා වගකීම් සහගත නායකත්වයකි.

සාමය, ජාත්‍යන්තර නීතිය සහ අහිංසක ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් අපගේ සාමූහික කැපවීම යළිත් තහවුරු කරමු. අප ගන්නා සෑම තීරණයකම කේන්ද්‍රය විය යුත්තේ වෙන කිසිවක් නොව 'මනුෂ්‍යත්වයයි'.
රෝසි සේනානායක
හිටපු කොළඹ නගරාධිපති 2018 - 2023
හිටපු ළමා රාජ්‍ය අමාත්‍ය 2015

