ආණ්ඩුවේ අසමත් බව කුස්සියෙන් පේනවා - සමන්මලී ගුණසිංහ

ආණ්ඩුවේ අසමත් බව කුස්සියෙන් පේනවා - සමන්මලී ගුණසිංහ

ආණ්ඩුව අසමත් බව අද කුස්සියෙනුත් පෙන්නුම් කරන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ පවසයි.

ඇය අද (11) මේ බව සඳහන් කර සිටියේ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඇය මෙසේ අදහස් දැක්වූවාය.

මේ වනවිට කාන්තාවන් ඇතුළු රටේ පොදු ජනතාවට දැඩිව බලපාන කරුණු කිහිපයක් පිළිබඳව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලුම භාණ්ඩවල මිල වේගයෙන් ඉහළ ගිහින් තිබෙනවා. ආහාර ද්‍රව්‍යවලට විශාල බදු ප්‍රමාණයක් නියම කර ජනතාවට පීඩාවට පත්කරන රටවල් අතර අපේ රට ඉහළින්ම තියෙනවා. ආණ්ඩුව කියන විදිහට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 65,000ක් අවශ්‍යයි. නමුත් මාසිකව රුපියල් 65,000ක් උපයන්න හැකියාව තියෙන පවුල් තියෙන්නේ කීයද? වතුකරයේ ජනතාවට තමන්ගේ දෛනික වැටුපෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වියදම් කරන්න වෙලා තියෙනවා. ග්‍රාමීයව ගත්තත් තත්වය මේ හා සමානයි.

කොරෝනා වසංගතයෙන් මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න මොහොතේදී පවා අම්මලා කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට බතක් උයලා දෙන්නේ කොහොමද කියලා. මේ වෙලාවේදී ආණ්ඩුව අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත් වෙලා. මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි. මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට නෙවෙයි. ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් සහන මිලට ලබාගෙන ජීවත් වෙන්නයි. නමුත් ගෘහණියන්ට අද සිදුවී තිබෙන්නේ ගෑස් පෝලිම්වල පවා රස්තියාදු වෙන්නයි. විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර විශාල ප්‍රමාණයක් විවිධ රැකියාවලට යන කාන්තාවන් සිටිනවා. ගෑස් ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වී තිබෙනවා. කොළඹ මහල් නිවාසවල ජනතාව ගෑස් ගෙන්වන්න පෝලිමේ ඉඳලා ගෑස් නැතිව හිස් අතින් යන්න සිදුවී තිබෙනවා. මේ තත්වය ඉබේ ඇතිවුණ එකක් නෙවෙයි. ගෑස් හිගයක් ඇතිවන බව ආණ්ඩුවත් ගෑස් සමාගමුත් දන්නවා. ගෑස් සමාගම් තමන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට බැඳී සිටිනවා.

නමුත් තම පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට නොහැකි බව සමාගම් තීරණය කරන්නේ රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීමෙන් විශාල පාඩුවක් දරන්න සිදුවී ඇති බව කියලයි. මේ නිසා ගෑස් බෙදාහැරීමෙන් ඉවත් වන බව සමාගම් කියනවා. නමුත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවී තිබියදී මේ සමාගම් විශාල ලාභයක් ගත්තා. නමුත් ගැටලුව වන්නේ මේ ආණ්ඩුවත් ගෑස් සමාගමුත් ලාභ අත්වෙනකොට විශාල වශයෙන් ලබාගන්නා ලාභයෙන් කොටසක් මේ අසීරු අවස්ථාවේ ලබා නොදීමයි. ඇත්තටම දැන් තිබෙන්නේ ආණ්ඩුව සහ ගෑස් සමාගම් එකතුවෙන් නිර්මාණය කරගත් අර්බුදයක්. ඒක කොරෝනා නිසා ආපු අර්බුදයක් නෙවෙයි.

අවුරුදු 73ක් තුළ රටේ පාලනය ජනතාවට අත්කර දී තිබෙන්නේ මොනවාද? අපේ ආර්ථික දේහය තුළ තිබෙන කශේරුව වැනි බලශක්තිය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව ගෑස් අර්බුදයෙන් ඔප්පු වී තිබෙනවා. වෙනත් රටවල් නළ මගින් තමන්ගේ ජනතාවට ගෑස් ලබාදුන්නේ මීට අවුරුදු 100කට කලින්. උදාහරණයක් හැටියට 1950 වෙද්දී සෝවියට් දේශයේ සියලුම නාගරික නිවාසවලට නළ මාර්ගයෙන් ගෑස් ලබාදුන්නා. නමුත රොකට් යවනවා යැයි කියන ආණ්ඩුවට ගෘහණියන්ගේ ලිපට ගෑස් ලබාදෙන්න බැරිවුණා.

ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිකිරීමෙන් හෙට දවසේ උද්ගත වන තත්වය මීට වඩා භයානකයි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් හිඟයක් තියෙනවා. මේ නිසා කළු කඩයේ ඩොලර් එකකට රුපියල් 250ක් විතර ගෙවන ව්‍යාපාරයක් තියනේනෙ. මේ නිසාම හිතුමතේ බඩුමිල ඉහළ දාන්න හැකි වෙනවා. ඒ වගේම 2020 දී කෘෂිකර්මාන්තයෙන් ජාතික ආදායමට ලැබුණු දායකත්වය රු. කෝටි 84,000යි. මේ ජාතික ආදායම ගොවියාගේ පොහොර ප්‍රශ්නයත් එක්ක කඩා වැටෙනවා.

මේ නිසා ජනතාවගේ ආහාර ලබාගැනීම කඩා වැටෙනවා. ගොවියට පොහොර ටික නැතිවී කන්න බත් නැතිවෙනවා. ගෘහණියට ගෑස් නැතිව ලිප පත්තු වෙන්නේ නැහැ. පවතින විවෘත ආර්ථිකය තුළ අපේ රටේ සම්පත් විදේශ සමාගම්වලට දීමේ ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. ආණ්ඩුව අසමත් කියන එක අද වෙනකොට කුස්සියෙනුත් පෙන්වන්න පුළුවන්. ළමයාට අධ්‍යාපනයත් නැහැ. ලිප පත්තු කරන්න ගෑස් නැහැ. ගෘහණියට පාරට බැහැලා ගෑස් ඉල්ලන්න සිද්ධ වෙනවා නම් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ඔබව ජීවත් කරවන අලුත් ජීවිත මොඩලයක්, ජීවන දර්ශනයක් ඕනෑ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න