Language Switcher

V2025

ආණ්ඩුව භීතියක් මවන්න හදන්නේ - ටිල්වින් සිල්වා

ආණ්ඩුව දැන් නීතිවිරෝධී නොවන උද්ඝෝෂණවලට සහභාගි වූ අයව මඟ රැක සිට අත්අඩංගුවට ගැනීමේ දඩයමක් සිදුකරමින් සිටින බවත් එය ඉතාමත්ම බරපතළ තත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (06) එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර එහිදී මෙසේද පැවසීය.

“ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මර්දනකාරී ක්‍රියාවලිය පිළිබඳව අපගේ විරෝධය පළකිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනවා. සාධාරණ හේතු මත පසුගිය දවස්වල උද්ඝෝෂණ ගණනාවක් පැන නැගුණා. කොතලාවල පනත මගින් අධ්‍යාපනය පෞද්ගලීකරණය හා මිලිටරීකරණය කිරීමට එරෙහිව, ඒ වගේම මේ දක්වා නොවිසඳී තිබෙන විදුහල්පතිවරු සහ ගුරුවර ගුරුවරියන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරගන්න වගේම පොහොර ප්‍රශ්නය මුල් කරගෙන ඉතාම සාධාරණ උද්ඝෝෂණ පැනනැගුණා. ඒ උද්ඝෝෂණවලට ඇහුම්කන් දී සාධාරණ උත්තර ලබාදෙනවා වෙනුවට එක පැත්තකින් උද්ඝෝෂණවලට එරෙහිව ජනතා මතයක් හදන්නත් අනෙක් පැත්තෙන් උද්ඝෝෂණවලට සහභාගි වන ක්‍රියාකාරීන් හුදකලා කර දඩයම් කරන්නත් ආණ්ඩුව පෙළඹී සිටිනවා. මේක ඉතා බරපතළ කාරණයක්. මේ සාමකාමී උද්ඝෝෂණ පවත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන අයිතිය පාවිච්චි කරමිනුයි. ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ඒ අයිතිය ගුරුවරු, ආචාර්යවරු, ශිෂ්‍යයෝ පාවිච්චි කරමින් යනවා. ඒ උද්ඝෝෂකයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දී විසඳනවා වෙනුවට මර්දනය කිරීමට ගත් පියවර කිහිපයක් පසුගිය දවස්වල අපි දැක්කා.

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවටගත් ආකාරය : ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් මේක පැහැර ගැනීමක් !

ඊයේ (05) රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සම්බන්ධ වී පිටතට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය ආයතනය අසල රැකලා ඉඳලා අත්අඩංගුවට ගත්තා. අවම වශයෙන් අත්අඩංගුවට ගැනීමේ චෝදනාව ඉදිරිපත් කරන්න, අධිකරණ වරෙන්තුවක් ඉදිරිපත් නොකර පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් මේක පැහැර ගැනීමක්. මෙම තත්වය පරාජයට පත්කළ යුතුයි. ඒ වගේම ඊයේ දහවල් පැවති අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පැවත්වූ උද්ඝෝෂණයට සම්බන්ධ වූ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එය වෘත්තීය සමිති, බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකතුවී ඉතාමත්ම සාමකාමීව කොරෝනා තත්වය සලකා බලා සිදු කළ උද්ඝෝෂණයක්. මේ උද්ඝෝෂණයට පැමිණෙමින් සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට ගත්තා. උද්ඝෝෂණය අවසානයේ කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ආපසු යමින් සිටි බස් රථයක් මඟදී නවත්වලා සිවිල් ඇඳුමින් සැරසී සිටි කණ්ඩායමක් චිකාගෝවල කප්පම් ගන්න පැහැර ගන්නවා වගේ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්න කිසිම නීතිමය බලයක් පොලීසියට නැහැ !

උද්ඝෝෂණය කිරීම නීතිවිරෝධී නැහැ. ඒ නිසා උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්න කිසිම නීතිමය බලයක් පොලීසියට නැහැ. අනෙක් පැත්තෙන් උද්ඝෝෂණය කරන තැන නීති කැඩෙනවා නම් එතැනදී අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නොකර වාහන පසුපස ගිහින්, මුහුණු බලාගෙන ඉඳලා සැලසුම් කරලා දඩයමක් කරනවා. මෙහෙම මිනිස්සු පැහැර ගන්න, දඩයම් කරන්න කිසිම අයිතියක් නැහැ.

ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ සැලසුම් කරලා උද්ඝෝෂකයන් දඩයම් කිරීමක්. මෙය ඉතාමත්ම බරපතළ තත්වයක්. එතැනින් නතර නොවී සටන්වල ඉන්න නායකයින්ගේ ගෙවල්වලට ගිහින් බිය වද්දන ක්‍රියාවලියකුත් සිදු කරමින් ඉන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ගෙදරට ගිහින් තියෙනවා. ඊට කලින් ලංකා ගුරුසේවා සංගමයේ නායක මහින්ද ජයසිංහ සහෝදරයාගේ ගෙදරට ගිහින් තිබුණා. මේ විධිහට බියවැද්දීම් කර එයින් නතර නොකර පහුගිය 04වැනිදා කොළඹ තිබුණු ගුරු විදුහල්පති උද්ඝෝෂණය අවසන් කර යමින් සිටි ගුරුවරුන්ව ස්ථාන කිහිපයකදීම අත්අඩංගුවට ගත්තා. දෙමටගොඩ, පෑලියගොඩ, වැල්ලවත්ත පොලීසිවලින් මේ විදිහට අත්අඩංගුවට ගත්ත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගත්ත චෝදනාව කියන්නවත් පොලීසිය සමත් වෙලා නැහැ.

ආණ්ඩුව පෙන්වන්න හදන්නේ භීතියක් මැවීමයි !

අත්අඩංගුවට ගත් අය වරාය පොලීසියේ රඳවනවා. ඔවුන් ඉන්න ඕනෑ අත්අඩංගුවට ගත්ත පොලීසියේමයි. වරාය පොලීසිය තුළ රඳවා ගැනීම වැරදි රඳවා ගැනීමක්. නීතිඥවරුන්ටවත් අඩුම ගානේ පොලීසියට යන්න දෙන්නේ නැහැ. නීතිඥ සහාය ලබාගැනීමේ මූලික අයිතිවාසිකමත් උල්ලංඝනය කළා. ත්‍රස්තවාදීන් අල්ලා ගත්තා නෙවෙයිනේ, ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන්ව පෙන්වන්න ඕනෑ. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය නීතිඥවරුන්ට බලන්න දෙන්නේවත් නැතිව රඳවාගෙන ඉන්නවා. ආණ්ඩුව පෙන්වන්න හදන්නේ භීතියක් මැවීමයි. ඒ තුළින් සටන් මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුවයි සරත් වීරසේකර මහත්තයාගේ පොලීසියයි කරන්නේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන අයව හුදකලා කර දඩයම් කිරීමයි. ඔය පොලීසිය බාර ඇමතිතුමාම පියුමි හංසමාලි නිරෝධායනයට අරන් යනකොට බස් හරවාගෙන ඇවිත් ඇඳුම් ටික අරන් දුන්නා. ඒ ඇමතිවරයා ගුරුවර ගුරුවරියෝ අත්අඩංගුවට අරගෙන බලන්නවත් දුන්නේ නැහැ. ගුරුවරියන්ට විශේෂ අවශ්‍යතා තියෙනවා.

ඒගොල්ලන්ට ඇඳුමක් දෙන්නවත් ඉඩක් නොදී නීතිය වල් වැදිලා. තමන්ට කැමති අයට එක නීතියක්. අකමැති අයට තව නීතියක්. දැන් වෙලා තියෙන්නේ අපරාධකාරයින් නිදහස් කර තනතුරු ලබාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සියලු දෙනාට මර්දනය ගේන එක. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජයග්‍රහණය කරලා මේකද බලාපොරොත්තු වුණේ කියලා. මේකට එරෙහි වෙන්න කියලා අපි සමාජයෙන් ඉල්ලා හිටිනවා. මේ තත්වය පටන් ගන්නේ ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, ශිෂ්‍ය නායකයින්ගෙන් වෙන්න පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ හැමෝගෙම ගෙවල්වලට ගිහිල්ලා. ඒ නිසා මේක පරද්දන්න ඕනෑ.

උද්ඝෝෂණවලට සහභාගි වුණ ගුරුවරුන් 70%ක් විතර ගෝටාභයට ඡන්දය දීපු අය !

උද්ඝෝෂණවලට කලින් ඒවා වැළැක්වීමේ නියෝග ගන්න අධිකරණයට ගියා. හැබැයි අධිකරණය ඒ නියෝග දුන්නේ නැහැ. උද්ඝෝෂණ වළක්වන්න අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ. පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත අයට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා එකක්වත් අධිකරණය ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ශරීර ඇප දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම ආව කෙනෙක් මේ අයව රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම නිරෝධායනයට දාන්න කියලත් ඉල්ලා සිටියා. අධිකරණය මේ දෙකම ප්‍රතික්‍ෂේප කළා. ශරීර ඇප මත මේ අය නිදහස් කළා. නීති විරෝධී නොවන උද්ඝෝෂණවලට සහභාගි වූ අයව මඟ රැක සිට අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි. පොලීසිය යොදවා නීති විරෝධී වැඩ කරමින් ඉන්නේ ආණ්ඩුවයි. ඒගොල්ලෝ මේ ගමන් කරමින් ඉන්නේ තමන්ව නිර්මාණය කළ ජනතාව තමන්ට අහිමි කර ගැනීමකයි. උද්ඝෝෂණවලට සහභාගි වුණ ගුරුවරුන් 70%ක් විතර ගෝටාභය රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දීපු අය. ඒ අයගේ උද්ඝෝෂණ මර්දනය කරන්න ක්‍රියා කිරීම ඔවුන්ගේ පදනම් අහිමි කරගැනීමක්. ලුණු හැදෙන්නෙත් වතුරෙන්, ලුණු දියවෙන්නෙත් වතුරෙන් කියල ගමේ කියමනක් තියෙනවා. ආණ්ඩුව මේ ගමන් කරමින් තිබෙන්නේ තමන්ව සිංහාසනයේ තැබූ ජනතාවට එරෙහිව පොල්ල උස්සලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලාව සිංහාසනයේ තිබ්බ මේ ජනතාවම නුදුරු අනාගතයේදී ඔවුන්ව සිංහාසනයෙන් බස්සවයි කියලා අපි විශ්වාස කරනවා.

සිවිල් ඇඳුමින් ඇවිත් අත්අඩංගුවට ගැනීම් ?

පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා නම් නිල ඇඳුමින් ඇවිත් චෝදනාව ඉදිරිපත් කර එහෙම නැත්නම් වරෙන්තුවක් ඉදිරිපත් කර අත්අඩංගුවට ගැනීමයි නීතිය. හැබැයි දැන් සිදුකරන්නේ සිවිල් ඇඳගෙන ඇවිත් සුදු වෑන් සංස්කෘතියේ ඡායාවන් පෙන්වීමක්. කවුරුත් නැති තැනක පැහැරගෙන ගියොත් පොලීසියෙන් කියයි ඔවුන් ගෙනිච්චේ නැහැ කියලා. මේක ඉතාමත්ම බරපතළ තත්වයක්. සාධාරණ උද්ඝෝෂණය කරන අය මර්දනය කිරීමෙන් ආණ්ඩුව තව සටන් බිමක් හදා ගන්නවා. සාධාරණ ඉල්ලීම් මත සටන් කරන ශිෂ්‍යයෝ, ආචාර්යවරු සහ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණවලට අමතරව පොලිස් මර්දනයට එරෙහිව සටන් කරන පිරිස් ඒකාබද්ධ වීමක් වෙනවා. ආණ්ඩුවට ඕනෑ සටන් වැඩිකර ගන්නද, එහෙම නැත්නම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නද කියලා අපි අහනවා. මර්දනය කරලා සටන් නවත්වන්න බැහැ. ලෝකයේ කොහේවත් එහෙම වෙලා නැහැ. මර්දනය හැම විටම අලුත් සටන් නිර්මාණය කරනවා. සටන්වල වේගය වැඩි කරනවා. අලුත් පිරිස් සටන්වලට ඒකරාශී කරනවා. ඒ නිසා වහාම ආණ්ඩුව මේ මර්දනය නතර කර සාධාරණ උද්ඝෝෂණ කරන අයගේ හඬට ඇහුම්කන් දිය යුතුයි. ඒක ලොකු දෙයක් නෙවෙයි. හැමෝම ඉල්ලන කෙතලාවල පනත අයින් කරගන්න පුළුවන්. මේ වනවිට දෙවරක්ම හකුළාගෙන තියෙනවා. මේ පනත නොගෙනෙන බව ආණ්ඩුව කියනවා නම් ඊට විරුද්ධව ගේන උද්ඝෝෂණ නතර වෙනවා. හරිම සරලයි.

ගුරුවරුන් ඉර හඳ තාරකා ඉල්ලනවා නෙවෙයි !

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන විසඳන ක්‍රමයක් ඉදිරිපත් කළා නම් ඒ සටන නතර වෙනවා. ගුරුවරුන් ඉර හඳ තාරකා ඉල්ලනවා නෙවෙයි. මේ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ මුග්ධ විදිහට පොලීසිය යොදවා මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් ආණ්ඩුව පෙරළීමේ රැල්ලක් දක්වා ගමන් කරන්න ඉඩ තියෙනවා. කොරෝනා තත්වය පෙන්වා උද්ඝෝෂණ මර්දනය කරන්න ආණ්ඩුව කල්පනා කරන අතර ආණ්ඩුවේ උද්දච්ඡ හැසිරීම නිසා කොරෝනා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ආණ්ඩුවට මිනිස් ජීවිතවලට වඩා තමන් වටේ ඉන්න ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාර රකින්න උත්සාහ කරනවා. උද්ඝෝෂණවලින් කොරොනා වර්ධනය වන බව ප්‍රචාරය කර අනෙක් පැත්තෙන් රුසියාවෙන් සංචාරකයෝ ගේන්න යනවා. ඔවුන් වැක්සීන් එක ගන්නවත් පී.සී.ආර්. එක කර ගන්නවත් ලැහැස්ති නැහැ. පහුගිය කාලයේ රට විවෘත කරන්න පියවර තිබ්බේ කවුද? ආණ්ඩුවට කොරෝනා සම්පතක්. ඒ ගොල්ලෝ කොරෝනා තියෙනවාට කැමතියි. කොරෝනා පෙන්නලා ජනතාවගේ කට වහලා ජනතා විරෝධී දේවල් ඔක්කොම කර ගන්නවා. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නොදී ඉන්නවා. ඒ වගේම දවසකට 100කට ආසන්න පිරිසක් කොරෝනා නිසා මිය යන අතර අවශ්‍ය කිසිම පහසුකමක් ලබාදී නැහැ. වගකීමකින් තොරව හැසිරෙනවා. ගුරුවරුන්ගේ උද්ඝෝෂණ පටන් ගැනීමට පෙර මංගල උත්සව, ස්පා අරින්න, පොළවල් විවෘත කරන්න, වගේ මිනිස්සුන් ඒකරාශී වෙන තැන් ක්‍රමානුකූලව විවෘත කළා. ඊට අමතරව පහුගිය දෙවැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූවා.

රාජ්‍ය සේවකයන් පොදු ප්‍රවාහන මාධ්‍යවල තෙරපෙමින් එනවා. අවශ්‍ය තරම් ප්‍රවාහන පහසුකම් නැහැ. නමුත් උද්ඝෝෂකයන් මීටරයක් දුරින් ඉන්න උත්සාහ කරනවා. බස්වල, කෝච්චිවල ඒ පරතරය තියාගන්න බැහැ. කොරෝනා පාලනය අත්හැර දාලා සාධාරණ ඉල්ලීම් කරන කණ්ඩායම්වලට එරෙහිව කොරෝනා පෙන්නලා මහජන මතයක් හදනවා. ආණ්ඩුව හැසිරෙන්නේ කිසිම තර්කනයක් නැති ආකාරයට. ආණ්ඩුව මන්දබුද්ධික ලෙස හැසිරෙනවා. 02වැනිදා ඉඳලා රජයේ සේවකයෝ සියලු දෙනාම සේවයට කැඳවලා 05වැනිදා ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම නවත්වනවා. අනෙක් පැත්තෙන් රජයේ සේවකයන් අදියර දෙකක් යටතේ සේවයට කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. කිසිම සිහි බුද්ධියක් නැති ආණ්ඩුවක් හැටියට ක්‍රියාමාර්ග ගන්නවා. කොහොම වුණත් ආණ්ඩුවට සියලු ගැසට් වගේම අනෙකුත් ක්‍රියාමාර්ගත් රිවස් කිරීමක් තියෙන්නේ. මෙහෙම රටක් ගෙනියන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ආවාම දුර දැකලා තීන්දු ගන්න, වියත්මඟේ විද්වතුන්ගේ පාලනයක් බලාපොරොත්තු වුණා. දැන් වෙලා තියෙන්නේ අද ගහන ගැසට් එක හෙට වෙනස් කිරීමක්. ආණ්ඩුවේ මේ බැරිකම් වහගන්න දියත් කර තිබෙන මර්දනය වහාම නවත්වන්න ඕනෑ. කිසිම කෙනෙක් අසාධාරණ ඉල්ලීම් කරමින් උද්ඝෝෂණ කරන්නේ නැහැ. උද්ඝෝෂණ හමුවේ පැහැරගෙන යෑමේ මර්දනකාරීත්වය වහාම නතර කරන්න අපි බල කරනවා. හිතුවක්කා, මෝඩ මර්දනකාරී ක්‍රියාවලිය පරාජයට පත්කිරීම සඳහා එකතු වෙන්න කියලා ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා මේ යන්නේ සිංහාසනය අහිමි කර ගැනීමේ පාරක බව. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඇතුළු රාජපක්‍ෂ පවුල සිංහාසනයේ තිබ්බ ජනතාවම ඒ ගොල්ලන්ව සිංහාසනයෙන් බස්සන දිනය වැඩි ඈතක නෙවෙයි කියලා අනතුරු අඟවනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…!

ආණ්ඩුව බලයට පත්වීමේ ඡන්ද පොරොන්දුවක් හැටියට ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන බව ප්‍රකාශ කළා. නමුත් එය සිදු නොකරන නිසා මේ ආණ්ඩුවට ඡන්දය දුන් ගුරු සහ විදුහල්පතිවරු විශාල පිරිසක් උද්ඝෝෂණවලට සහභාගි වෙනවා. එය ජනතා විමුක්ති පෙරමුණේ ඕනෑකමට කරන දෙයක් කියලා ආණ්ඩුව කියනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මේ සටනේ පෙරමුණේ ඉන්නවා. හැබැයි අපි කාටත් ඕනෑ වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ සාධාරණ ගැටලුවලට විසඳුමක් ලබාදෙන්න. හැබැයි ආණ්ඩුවට කාව හරි බිලි අරගෙන සටන් මර්දනය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ ගුරුවරුන්ගේ මේ ඉල්ලීම් සාධාරණද නැද්ද කියලා. ආණ්ඩුවට තියෙන්නේ සල්ලි නැහැ කියන එක නෙවෙයි, ප්‍රශ්නය විසඳන ක්‍රමයක් ඉදිරිපත් කරන එකයි. ආණ්ඩුවේ නාස්තිකාර වියදම්වලට සල්ලි නැහැ කියන්නේ නැහැ. හොරකම් කරනකොට මේක හොඳම වෙලාව. මැති ඇමතිවරුන්ට වාහන ගන්න හොඳම වෙලාව. හැබැයි අයිතිවාසිකම් ඉල්ලනකොට මේක හොඳ වෙලාවක් නෙවෙයි කියනවා. කොරෝනා අස්සේ බඩු මිල වැඩි කරන එක ආණ්ඩුව හොඳ වෙලාවට කරන වැඩක්ද? ගුරුවරු තමන්ගේ ඉල්ලීම් ඉල්ලනකොට තිබුණ බඩු මිල නෙවෙයි දැන් තියෙන්නේ.

ධනපති ආණ්ඩුවලට මිනිස්සුන්ගේ ඉල්ලීම් ලබාදෙන්න හොඳ වෙලාවක් තිබිලාම නැහැ. ජනතාව තමන්ගේ ඉල්ලීම් ලබාගත යුත්තේ ආණ්ඩුව නැකතක් බලලා ලබාදෙන වෙලාවකට නෙවෙයි. තමන්ගේ ප්‍රශ්නය තමන්ට දැනුණු වෙලාවට. ආණ්ඩුව දැන් කියන්නේ සල්ලි නැහැ කියලා. හැබැයි ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් මුදල් හොයාගන්නේ කොහොමද කියලා ඇහුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා උත්තර නොදී මහින්ද මහත්තයා දිහා බැලුවාම ඔහු කීවේ යුද්දය කාලෙත් සල්ලි හොයාගන්න බැහැ කියලා කීවත් අපි සල්ලි හොයා ගත්තා කියලා. සල්ලි හොයාගන්න ප්‍රශ්නයක් අපට නැහැ කීවා. අපි කියන්නෙත් ඒ කියපු විදිහට සල්ලි හොයාගෙන ප්‍රශ්න විසඳන්න කියලා. ඊට පස්සේ බැසිල් රාජපක්‍ෂ මහත්තයා ආපු ගමන් ප්‍රශ්න විසඳනවා කියනවා. දැන් කියන්නේ භාණ්ඩාගාරය හිස් කියලා. බලය ගන්නකොට පොරොන්දු දහස් ගණනක් දුන්නා. බලය ගත්තාට පස්සේ ඒ ගොල්ලෝ සල්ලි නාස්ති කරනවා. ජනතාව මොනවා හරි ඉල්ලපුවාම භාණ්ඩාගාරය හිස් කියනවා. ඒක හිස් නම් වගකියන්න ඕනෑ මහින්ද රාජපක්‍ෂ මහත්තයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා සහ රනිල් ආණ්ඩුව වගකියන්න ඕනෑ. භාණ්ඩාගාරයේ සල්ලි නැත්නම් මේ සමස්ත ක්‍රමයම වගකියන්න ඕනෑ. එහෙම ආණ්ඩු රටට වැඩක් නැහැ. භාණ්ඩාගාරය හිස් කරන ආණ්ඩු රටට වැඩක් නැති බව අපි ජනතාවට කියනවා. එහෙම නම් භාණ්ඩාගාර පුරවන්න බැරි ආර්ථික ක්‍රමය වෙනස් කරලා භාණ්ඩාගාරය පුරවමින් ජනතාවට සාධාරණව බෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”