Language Switcher

V2025

මාධ්‍ය මර්දනයේ බරපතළ එළඹුමක් : මාධ්‍ය සංගම් පොලිස්පතිට ලියයි !

විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව විස්තර විමසන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරික්ෂා කර බලා මැදිහත් වන ලෙසට ඉල්ලමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා තිබීම බවත් එහි සඳහන් කර ඇත.

එහිදී පැය තුනකට ආසන්න කාලයක් ඔහුව ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ ඊමේල් ලිපිනයේ සහ මුහුණුපොතේ මුරපද, වට්ස්ඇප් අංකය සහ බැංකු ගිණුම් අංකය පවා ලබාදෙන ලෙස බලපෑම්කර ඇති බවත් දැනගන්නට ඇති බව සඳහන් කරන අදාළ ලිපිය මාධ්‍යවේදීන්ගේ පුද්ගලික සංනිවේදන මුරපද ලබාගැනීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ සංනිවේදන රහස්‍යභාවය අහෝසි වී අන් කෙනෙකුට ඕනෑම වෙනස් කිරීමක් හෝ ඇතුල් කිරීමක් කළහැකි බව අමුතුවෙන් පැහැදිළි කළයුතු කරුණක් නොවන බව පොලිස්පතිට පැහැදිළි වනු ඇතැයි සිතන බවත් අවධාරණය කර ඇත.

මෙම ලිපිය සඳහා ධර්මසිරි ලංකාපේලි- මහ ලේකම්- මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , සීතා රංජනී- කැඳවුම්කරු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , දුමින්ද සම්පත්- සභාපති- ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය , එන්.එම්.අමීන්- සභාපති- ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය , කනපතිපිල්ලේ සර්වානන්ද- ලේකම්- දමිළ මාධ්‍ය සංසදය ,සහ ඉඳුනිල් උස්ගොඩ ආරච්චි-ලේකම්-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අත්සන් කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

    1. 14 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මුලස්ථානය, කොළඹ.

පොලිස්පතිතුමනි,

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස සිදුකරන බල කිරීම් සම්බන්ධවයි.

විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව විස්තර විමසමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකතුව වෙත වාර්තා වී ඇත.

ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා තිබීමය. පැය තුනකට ආසන්න කාලයක් ඔහුව ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ ඊමේල් ලිපිනයේ සහ මුහුණුපොතේ මුරපද, වට්ස්ඇප් අංකය සහ බැංකු ගිණුම් අංකය පවා ලබාදෙන ලෙස බලපෑම්කර ඇති බවත් දැනගන්නට ඇත. මාධ්‍යවේදීන්ගේ පුද්ගලික සංනිවේදන මුරපද ලබාගැනීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ සංනිවේදන රහස්‍යභාවය අහෝසි වී අන් කෙනෙකුට ඕනෑම වෙනස් කිරීමක් හෝ ඇතුල් කිරීමක් කළහැකි බව අමුතුවෙන් පැහැදිළි කළයුතු කරුණක් නොවන බව ඔබතුමාට පැහැදිළි වනු ඇතැයි සිතමු.

මීට පෙර ද අවස්ථා කීපයකදීම මඩකලපුවේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සශිදරන් ද මෙලෙස වරින්වර පොලීසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම සිදුකර තබුණි.

කිසියම් පැමිණිල්ලක් හෝ වෙනත් සිදුවීමක් නිසා මාධ්‍යවේදියකු සම්බන්ධයෙන් කුමන හෝ පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අතිශය පෞද්ගලික තොරතුරු ලබාදෙන ලෙස බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවේ.

එහෙයින්, මෙම සිදුවීම් පිළිබඳව වහා මැදිහත්ව විමසා බලා මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදුවන මෙවැනි බාධා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට තම මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව වන අපි පොලිස්පතිවරයා වන ඔබගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මාධ්‍ය සංවිධාන එකතුව