Language Switcher

V2025

තෙල් මිළ වැඩි කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 785 ක් ගන්නද?

නොබෝදා මුදල් අමාත්‍යංශයත් ජනාධිපති කාර්යාලයත් බලශක්ති අමාත්‍යංශයත් ඒකාබද්ධව මෑත ඉතිහාසයේ කරන ලද වැඩිම තෙල් මිළ ඉහල දැමීම කරන ලදී.
 
එය බලශක්ති ඇමතිගේ ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නට බලයේ සිටින පොදු ජන පෙරමුණ උත්සාහ කලත් පැය 24 ක් නිහඬව සිට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ රජයේ ජීවන වියදම් අනු කමිටුව විසින් ගන්නා ලද තීරණයක් මත තෙල් මිළ වැඩි කිරීමට කටයුතු කරන ලද බවයි. 
 
මේ සම්බන්ධව තීරණය ගත් කමිටු රැස්වීමට ජනාධිපතිතුමා අගමැතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමා සහ තවත් අමාත්‍යායවරු කිහිප දෙනෙකු සහ උසස් නිලධාරීන්ද සහභාගි වූ අතර  තෙල් මිළ වැඩි කිරීමේ නාටකයේ පොතේ ගුරාගේ කාර්යය පමනක් බලශක්ති ඇමති ගම්මන්පිල  විසින් කරනු ලැබූ අතර ඉන් පසුව එය නාට්‍යානුසාරයෙන් ජනතාව වෙත ගෙන එන ලදී.
 
 රජයට ඩොලර් නොමැති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මහා පරිමාණයෙන් පාඩු ලබන බව ඒ නිසාම රාජ්‍ය බැංකු දෙක මූල්‍ය අවදානමට   ලක්ව ඇති බව ආදි කී නොකී කතා  රාශියක් ජනගත කරන ලදී.
 
එහෙත් මේ නිදහසට කියන කාරනා සියල්ලම අර්ධ සත්‍යක් පමණි.
 
මෙම තීරනයත් සමග ආන්ඩුවේ මධුසමය  අවසන් වී ඇති බවත් සෞභාග්‍යයේ රජයේ පශ්චාත් කොරෝනා ආර්ථික  ගමන් මඟ ආරම්භ වී ඇති බව ජනතාව තේරුම් ගත යුතුය.
 
රජයේ නව දැක්ම කුමක්ද?
 
මීට මාස කිහිපයකට  පෙර අග්‍රාමාත්‍ය / මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ  ප්‍රකාශ කළේ මොන තරම් බාධක පැමිණියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුපස තම රජය නොයන බවයි. 
 
ඔවුන්ගේ කොන්දේසිවලට යට වී ජනතාව අපහසුතාවයට පත් කරන තීන්දු තීරණ නොගන්නා බවයි.
 
එහෙත් ලෝකය වටේම ඩොලර් මිලියන 100, 200 හෝ ණය පහසුකම් සොයා ගියත් ,හැකි තරම් දුරට ආනයනයන් සඳහා සීමාවන් දැමුවත් ඉදිරියට යාමට නොහැකි බව දන්නා රජය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලංකාවට ලබා ගත  හැකි නය සීමාව පිලිබද සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඩොලර් මිලියන 785 ක ණය මුදලක් ලබා  ගැනීමට කටයුතු කරමින් සිටින බව නොරහසකි.
 
යහපාලන රජය බලයට පත් වූ විගසම ඒ අවස්ථාවේ තිබූ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීමටත් විදේශ ණය ගෙවීම ආදිය සඳහාත් ඩොලර් මිලියන 1300 ක ණයක් ගත් බව අප දන්නා කාරුණකි.
 
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යහපාලන රජයට සිදුවිය.
 
රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සම්පූර්ණයෙන් නතර කිරීමට සිදු වූ අතර අප්‍රිකාවේ ගානා රාජ්‍ය වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙන ලද ආදායම් බදු පණත ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සිදු විය. උපයන විට ගෙවීමේ සිට ලක්ෂ 100,000 කට වඩා ආදායම් ලබන සෑම අයෙකුටම ස්වයංක්‍රීයව බදු ලිපි ගොණුවක් විවෘත විය. රුපියල් බිලියන 1000 මට්ටමක  තිබූ රාජ්‍ය ආදායම 2018 වන විට රුපියල් බිලියන 1800 දක්වා ඉහළ ගියේය.
 
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කොන්දේසි ක්‍රියාත්මක කිරීම නිසාය.
 
ණය හෝ අත්තිකාරම් ලබා දී කොන්දේසි පණවන පුරුද්දක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නැත. මේ පූර්ව කොන්දේසිය නිසා ණය මුදල ලබා දීමට  පෙර ආර්ථිකය  පාලනයට නතු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම ,බදු අනුපාත ඉහළ දැමීම, සහනාධාර කපා හැරීම යන සියල්ල කිරීමට රජයට සිදුවනු ඇත. එසේ කිරීමට රජය අපොහොසත් නම් ඩොලර් මිලියන 785 ක ණය මුදල නොලැබෙනු ඇත.
 
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේනි ගත කිරීම මේ වන විට. CCC මට්ටමට පහල දමා ඇත. රටක් ඉදිරියට යාමට ආයෝජන ආකර්ශනය කර ගැනීමට නම් මේ දර්ශක නැවත සකසා ගත යුතුය.
 
අවම වශයෙන් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින ඩොලර් සංචිතය ඩොලර් මිලියන 4.3 සිට අඩුම වශයෙන් මිලියන 8.6 ක ප්‍රමාණයකට ඉහළ නංවා ගත යුතුය.රජයේ වියදම් අඩුකරගෙන පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමට සිදුවනු ඇත.
 
සිදුවිය හැක්කේ කුමක් ද?
 
රජයටත් බදු ආදායමක් ලැබෙන පරිදි ලෝක වෙළඳපළේ මිළට සමාන්තරව තෙල් මිළ වැඩි කළාක් මෙන් ඉදිරියේදී ගෑස් මිළ ඉන්පසු ජලය විදුලිය, දුරකථන සේවා යන ගාස්තු වැඩි රාජ්‍ය අංශය  කර සංවිධානයට ලක් කිරිමට සිදුවනු ඇත.
 
මේ හා සමානව පෞද්ගලික අංශය විසින්ද  ප්‍රවාහන ගාස්තු, මගී ප්‍රවාහන ගාස්තු ආහාර ද්‍රව්‍ය මිළ, ගුවන් ගමන් ගාස්තු හෝටල් ගාස්තු ආදී සියලුම සේවා මිළ ඉහළ දමනු ඇත.
 
එබැවින් ආන්ඩුවේ මේ ජිමික්ස් දෙස බලා සිටිනවා වෙනුවට ‍රටේ ජනතාව මේ සැබෑ ආර්ථික අර්බූදයට මුහුණදීමට පෙළ ගැසිය යුතුව ඇති බව පමනක් අවධාරණය කරමු.
 
විශේෂ ලියුම්කරුවකු විසිනි 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found