පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා සීමිත වාහන ආනයනය ප්‍රතිපත්තිය යටතේ Toyota cruiser Prado full time 4WD මෝටර් රථ 227 ක් ආනයනය කිරීමට රජය ගත් තීරණය අත්හිටවූ බව මාධ්‍ය මඟින් පසුගියදා ප්‍රචාරය කරන ලද නමුත් එහි සත්‍ය - අසත්‍යතාවය සම්බන්ධව බරපතළ සැකසංකා මතුව ඇත.
ඊට පෙර නිකුත්වූ මාධ්‍ය වාර්තා අනුව
විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා කටයුතු සූදානම් කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.
ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා ඇති බවත් සඳහන් විය.
මේ ආකාරයට රට දැඩි මූල්‍ය අර්බුදයකටත්, කොරෝනා ව්‍යසනය නිසා සෞඛ්‍ය සහ සමස්ථ සමාජයම දැඩි වශයෙන් අසරණ භාවයටත් පත්ව ඇති අවස්ථාවක මන්ත්‍රීවරුන් සඳහා නවීන පන්නයේ වාහන ආනයනය කිරීමට තීරණය කර පසුව ආණ්ඩුව කියන්නේ එම වාහන ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කල බවය.
දැන් ප්‍රශ්නය එන්නේ මුදල් අමාත්‍යංශය මඟින් ඒ සඳහා විවෘත කරන ලද ණයවර ලිපිය සම්බන්ධයෙන් ලංකා බැංකුවටය.
ඒ අනුව මෙම කාලීන නොවන රජයේ ඇණවුමට අදාල අවලංගු කල නොහැකි ණයවර ලිපිය (irrecoverable letter of credit) 2021 අප්‍රේල් 29 දින ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශය විසින් නිකුත් කර ඇත.
ටොයෝටා වාහන නිෂ්පාදනය කරන ප්‍රධාන රට ජපානය වුවත් මෙම ණයවර ලිපිය විවෘත කර ඇත්තේ සිංගප්පූරු ටොයෝටා ට්ෂුශෝ ඒෂියා පැසිපික් (Toyota Tsusho Asia Pacific Pte Ltd) සමාගම වෙතය.
ලංකා බැංකුව විසින් විවෘත කරන ලද ණයවර ලිපිය නිකුත් කර ඇත්තේ සිංගප්පූරුවේ හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව වෙතය. මෙම ණයවර ලිපිය ( irrecoverable )
ආපසු හැරවිය නොහැකි ණයවර ලිපියක් වන අතර මෙම ලිපිය අවලංගු කිරීමට නම් ණයවර ලිපියේ
ප්‍රතිලාභියාගේ (beneficiary ) සහ එම ණයවර ලිපිය හුවමාරු වන හොංකොං බැංකුවේ අභිමතය නොමැතිව අවලංගු කල නොහැකිය.
එසේ අවලංගු කරනවා නම් සේවා ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට මුදල් අමාත්‍යංශයට සිදු වනවා ඇත.
බැංකු බැංකු අතර පවතින ජාත්‍යන්තර විශ්වාසය මත එසේ විවෘත කරන ණයවර ලිපියට ලංකා බැංකුව විසින් අදාල සැපයුම සිදු කල වහාම අදාල මුදලට අදාල විදේශ විනිමය ප්‍රමාණය හොංකොං බැංකුව වෙත ප්‍රේෂණය කල යුතුය.
එයින් පෙන්නුම් කරන්නේ මෙරට කැබිනට් මණ්ඩලය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය මත මෙම ණයවර ලිපිය අවලංගු කිරීමට ලංකා බැංකුවට කිසිදු බලයක් නොලැබෙන බවය.
ඒ සඳහා ඉල්ලුම් කල යුත්තේ අදාල ණයවර ලිපිය විවෘත කල මුදල් අමාත්‍යංශය විසිනි.
අප කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු සඳහන් කර සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණය මත ණයවර ලිපිය නැවත කැඳවීමට හෝ අවලංගු කිරීමට බලයක් නොලැබෙන නිසා අදාල ණයවර ලිපිය තව දුරටත් වලංගු වන බවය.
රජය විසින් මෙම වාහන ආනයනය නතර කලද ලංකා බැංකුවේ වගකීම තව දුරටත් පවතින අතර නියමිත දිනයේදී ඒක පාක්ෂිකව සැපයුම්කරු විසින් වාහන නැවට පටවා අදාල නාවික ලියකියවිලි බැංකුවට භාර දුන් විගස රුපියල් බිලියන 3.5ක මුදලක් ගෙවීමට ලංකා බැංකුවට සිදු වනු ඇත.
යම්කිසි විදියකින් ලංකා බැංකුව ඒක පාර්ෂිකව මෙම ණයවර ලිපිය අවලංගු කිරීමට උත්සාහ කළහොත් ඉදිරියේදී කිසිම ජාත්‍යන්තර බැංකුවක් ලංකා බැංකුවේ ණයවර ලිපි නොගන්නා තත්වයක් ඇති විය හැකි බව ද ඔහු පැවසීය.
තවද ජපානයෙන් ආනයනය කරන වාහන 227 ක් සඳහා ජපානයේ මව් සමාගම වෙත ණයවර ලිපියක් විවෘත නොකර අතරමැදි සිංගප්පූරුවේ සමාගමකට ණයවර ලිපියක් විවෘත කිරීමට කටයුතු කිරීම බලවත් සැකයකට කාරණයක් වන බව මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසයි.
විශේෂයෙන්ම මෙවැනි මහා පරිමාණ ගණුදෙනුවලදී ජපානයේ සමාගම්වලට කොමිස් මුදල් ගෙවීමට දැඩි බාධා පවතින අතර එය සිංගප්පූරු ඩුබායි, හොංකොං වැනි රටවලදී එතරම් ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන් සඳහන් කරයි.
මෙම වාහන ආනයනය ඉතාමත් රහසිගත ආකාරයට රජය විසින් කරගෙන ගොස් ඇති බව පැහැදිලිය. ණයවර ලිපිය විවෘත කරන තුරු එය රහසක් වශයෙන් තබා ගැනීමට කටයුතු කර ඇති බවත් පැහැදිලිය. කෙටියෙන් කිවහොත් මේ ගනුදෙනුව සම්බන්ධව සැකසංකා තවත් ඇත.
කරුණු ලෙස දක්වනවා නම් ඒ මෙසේය.
1) රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙම වාහන ආනයනය කරා නම් ටෙන්ඩර් මණ්ඩලයට කථානායක කාර්යාලයෙන් ඉල්ලීමක් (purchasing request ) ලැබිය යුතුය. එවැන්නක් තිබේද ?
2) කථානායකවරයාගේ ඉල්ලීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යුතුය. එවැන්නක් සිදුව ඇද්ද ?
3) ඉන්පසු මේ සඳහා දේශීය සහ විදේශීය සමාගම්වලින් විවෘත ටෙන්ඩර් පත් කැඳවිය යුතුය. ටෙන්ඩර් දැන්වීමවත් කෝ ?
4) එම ටෙන්ඩර් පත් තාක්ෂණික කමිටුවකට යොමු කර අදාල මුදලට ගැලපෙන ආකාරයේ තාක්ෂණික සහ අමතර විශේෂාංග ටෙන්ඩරය දිනාගත් සමාගම විසින් සපයන බවට ඇති සහතිකය පිළිබඳව සෑහීමකට පත්විය යුතුය. එවැන්නක් සිදුව තිබේද ?
5) ඉන් පසුව අමාත්‍ය මන්ඩල ටෙන්ඩර් කමිටුව විසින් අනුමත කර අවසාන අනුමැතිය සඳහා නැවතත්
අමාත්‍ය මන්ඩලය වෙත යොමු කල යුතුය. එවැන්නක් සිදුවුනාද?
6) අදාළ ඇණවුම ක්‍රියාත්මක කිරීම සඳහා 2021 වර්ෂයේ අයවැය ලේඛණයෙන් ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයට හෝ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබිය යුතුයි නේද ?
ආණ්ඩුව කියන්නේ දැන් වාහන ගෙන්වීම නැවැත්තුවා කියා ඉහත කරුණු සියල්ල වසං කිරීමටය. දැන් ප්‍රශ්නය මෙහෙමය. ඉහත කරුණු සියල්ල රහසක් වූයේ මේ සමස්ත ක්‍රියාදාමය පිටුපස මහ මොල කරුවෙක් සිටි නිසාද?
LC වලට වෙනදේ ගැන මෙන්ම ආණ්ඩුව මේ කරුණුවලටත් උත්තර දිය යුතුව ඇත.
