කොරෝනා වසංගතය රටපුරා දරුණු ලෙස පැතිර යමින් තිබෙන නිසා එයට පාලනය කිරීමට නම් අවම වශයෙන් සති දෙකක්වත් මුළු රටම වසා තැබිය යුතු යැයි මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් හතරක් රජය වෙත බලකර සිටියි.
පළාත් අතර සංචරණ සීමා පැනවීම මීට පෙර කිරීමට තිබූ දෙයක් බවත් හඳුනගත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීම මේ වන විට වෛරසය පැතරයාම පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් එම වෛද්‍ය සංගම් පවසයි.
මේ අදහස් දක්වන වෛද්‍ය සංගම් වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුවය.
ඊට අදාළ ලිපියක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතද යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.



මේ සම්බන්ධව අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කර සිටියේ මෙරට කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීමට සාපේක්ෂව එය වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවය.

