නිශ්ශංක නිදොස්කොට නිදහස් !

නිශ්ශංක නිදොස්කොට නිදහස් !

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (21) නියෝග කළහ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව එම තීන්දුව ලබාදී ඇත.

නිදොස් කොට නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදාල නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අයයි.

එම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටි පී.බී.ප්‍රේමචන්ද්‍රන් නමැත්තා නඩු විභාගය අතරවාරයේ මියගොස් තිබුණි. 

තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ , එම නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි  ඇවන්ගාඩ් සමාගමට සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබු රක්නා ලංකා සමාගමට රතු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදී තිබු බව පැවසුවේ යැයි සඳහන් කළේය.

ඒ අනුව ඇවන්ගාඩ් නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් තබා ගැනීමට අවසර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දුන් සාක්ෂිවල සඳහන් කර තිබූ බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ  කෙසේ වෙතත් පරිපාලන පහසුව සඳහා එම ගිනිඅවි සහ පතොරම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ලිපියක් නිකුත් කර තිබූ බවද පැවසුවේය.

එම නෞකාව තුළ ගිනිඅවි සහ පතුරම් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළේ යැයි සඳහන් කරමින් විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය නීත්‍යානුකූල ලියවිල්ලක් බවත් එය ව්‍යාජ ලිපියක් නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය සාක්ෂි මඟින් පිළිගෙන තිබූ බව ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගැනීමට වලංගු බලපත්‍රයක් තිබූ බව පෙනී යන බවත් එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

2015 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203,395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 19 යටතේ එම නඩුව විභාගය පැවැත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න