පෝට්සිටී පනත සරල බහුතර සම්මත කිරීමට : කළු චීන්නු කැමති වුනේ සුදු චීන්නුන්ගෙන් අහලද ?

පෝට්සිටී පනත සරල බහුතර සම්මත කිරීමට : කළු චීන්නු කැමති වුනේ  සුදු චීන්නුන්ගෙන් අහලද ?

වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව ‍ජනමත විචාරණයකට ලක් කල යුතු වගන්ති අධිකරණයේ දැනුම් දීම අනුවම සංශෝධනය හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  සඳහන් කරයි.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වුවත් ආණ්ඩුව මේ පනත් කෙටුම්පත නොදැන සකසන්නක් නොවේය. එසේම අදාළ පනත කෙක්කෙන් හෝ කොක්කෙන් සම්මත කරගන්නා ප්‍රවේශයක් මේ සම්බන්ධ පළමු මොහොතේ සිට නිරීක්ෂණය විය. විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය මෙරට තුළ වඩාත් තීව්‍රව ඇති මොහොතක රටේ ඉරණම සම්බන්ධව පවා තීරණාත්මක මෙවැනි පනතක් හදිසියේ විවාදයට ගෙන සම්මත කිරීම අහිතකර බව විපක්ෂයේ දේශපාලන පක්ෂ වල අදහස විය.

එහිදී ඔවුන් අවධාරණය කර සිටියේ මේ පනත සම්බන්ධව සමාජය තුළ පුළුල් සංවාදයක් ඇතිකර ගතයුතු බවය. එහෙත් ආණ්ඩුව ඊට සවන් දුන්නේ නැත.

ඔවුන් දැඩි ස්ථාවරයක සිටියේ මේ පනත සමාජය තුළ සංවාදයක් නැතිවම සම්මත කරගන්නය. කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පෙන්නුම් කරන්නේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් නිවැරැදි සහ තාර්කික බවය.

තුනෙන් දෙකත් නෑ : ජනමතයත් නෑ !  

ආණ්ඩුවට වුනෙත් මාර වැඩේය. ඒ 20 සම්මත කිරීමට සහය ගගනුලැබූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැන් ආණ්ඩුව පැත්ත බලා බත් කන්නේවත් නෑ කියන නිසා තුනෙන් දෙක ගැනීම හීනයක් වී ඇති නිසාය.

ඔවුන් කියන්නේ මුස්ලිම් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් පෙලන ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් පුරවැසි ප්‍රජාව පීඩාවට පත්කරන මේ ආණ්ඩුවට තම සහය නොදෙන බවය. පලමු සහ දෙවැනි කරුණ ඇත්ත නමුත් සහය දෙන නොදෙන කතා අපි දන්නේ නැත.

සහය දෙන්නේ නැත්නම් ආණ්ඩුවේ තුනෙන් දෙක හබක් ය.  ජනමතවිචාරණයටත් ආණ්ඩුව නොයනවා කියන්නේ මේ ආණ්ඩුව ගැන සැබෑ ජනමතය කුමක්ද යන්න ගැන ආණ්ඩුවට තක්සේරුවක් ඇති නිසා විය යුතුය.

කළු චීන්නු කැමති වුණාට සුදු චීන්නු කැමති වෙයිද ? ඒ නිසා දැන් ඉතිං කොහොමටත් සරල බහුතරයට මුවාවීම හැර කරන්න දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වය තුළ නම් කොහොමටත් නැත. අවසානයේ සිදුවූයේ ලංකා දේශපාලන ශබ්ද කෝෂයට අලුත් නමක් ආණ්ඩු හිතවාදීන් ට පටබැඳිමය. ඒ "කළු චීන්නු" කියාය.  ප්‍රශ්නය තියෙන්නේ කලු චීන්නු සරල බහුතරය හරහා පනත් කෙටුම්පත සම්මත කරගන්න කැමති වුණාට චීන්නු කැමතිද දන්නැති වීමය. ඒ චීන්නු කැමති සහ චීන අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන හරහා සීමාවී ඇති නිසාය. ඒ මොනවාද යන්න ගැන සිරස නිව්ස් ෆස්ට් ඇසුරෙන් පහත දක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන !

ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයෙන් දැනුම් දී ඇත්තේ, ඒ අතර ඇති ඇතැම් වගන්ති පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට සම්මත කර ගැනීම සඳහා ජනමත චිචාරණයක් සහ පාර්ලිමේන්තුවේ 2/3 එකඟතාව අවශ්‍ය බවයි.කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ සියලු ප්‍රජා නීති සහ සංවර්ධන නියෝග සකස් කිරීම, ඒවා සංශෝධනය කිරීම, ඒවා කඩවීමේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ලබාදීමට යෝජනා කර ඇති බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා දැනට ක්‍රියාත්මක පනත් 14 කින් නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වන්නේ එම නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් පිරිනැමීම සඳහා අවශ්‍ය විය හැකි වැඩිදුර මාර්ගෝපදේශ සහ නියෝග පැනවීමට කොමිෂන් සභාවට බලය පැවරෙන වගන්ති තුනක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.මේ අතර කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත මගින් වරාය නගර සීමාව තුළ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරවලට දැනට රටෙහි ක්‍රියාත්මක පනත් 7 ක් අදාළ නොවන බවට යෝජනා කර තිබිණ.නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයේ සඳහන් කර ඇත්තේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් නිදහස් වන පනත් නිශ්චිතවම කවරේ දැයි තීරණය කිරීමටත් , වෙනත් දිරි ගැන්වීම් ලබාදීමටත්, වරාය නගරය ආර්ථික කොමිසන් සභාවට බලය පැවරෙන වගන්ති ද ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.ව්‍යවස්ථාවට අනුකූල නොවන ඉහත වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් සහ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් වන අතර අධිකරණය සදහන් කර ඇති සංශෝධන සිදු කරන්නේ නම්, එම අනනුකූලතාවය ඉවත්ව යන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය.

මේ අතර තවත් වගන්ති කිහිපයක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ දැක්වේ.ඒ අනුව අධිකරණය නිගමනය කර ඇත්තේ යම් නියාමන අධිකාරියක්, සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, වරාය නගර ආර්ථික කොමිසන් සභාව යම් කරුණකට අදාළව අනුමැතිය නැතහොත් එකඟතාව ඉල්ලා සිටින අවස්ථාවක එය ප්‍රමුඛ කාර්යක් සේ සලකා ලබාදීමේ අවශ්‍යතාව සඳහන් කරමින් ඇතුළත් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් අවශ්‍ය බවයි.කෙටුම්පතේ සඳහන් නියාමන අධිකාරීය ලෙස හඳුන්වන ආයතනවල නියාමන බලතල නොකතා කොළඹ වරාය නගර සීමාවට බලපැවැත්වෙන ආකාරයට නියෝග සකස් කිරීමට කොමිෂන් සභාවට බලය පැවරෙන වගන්ති ද අනුමත කිරීම සඳහා 2/3 විශේෂ බහුතර එකගතාව අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය

.එහි දැක්වෙන්නේ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ඇති අර්ථ නිරූපණය ද ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. පනත් කෙටුම්පතේ නියාමන අධිකාරිය යටතට ⭕ මහ බැංකුවේ මුදල් මණ්ඩලය,

⭕ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා

⭕ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා

⭕ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ

කෙටුම්පතේ විෂයන්ට අදාළව බලතල ඇති නියාමන අධිකාරියක් හෝ අනුමත කිරීමේ අධිකාරියක් ඇතුළත් කර තිබිණ.

කෙටුම්පතේ සඳහන් වූයේ එම අධිකාරීවලට අදාළ ලිඛිත නීති කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සීමා විය යුතු බවයි.

නමුත් , මෙම කරුණු ව්‍යවස්ථාවට පටහැනි බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය බව සඳහන් කර තිබේ.අධිකරණය නිගමනය කර ඇත්තේ වරාය නගර සීමාව තුළ යම් ලියාපදිංචි කිරීමක් , බලපත්‍රයක්, බලය ලබාදීමක්, වෙනත් අනුමත කිරීමක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නෙකු ලෙස කටයුතු කිරීමට බලය ලැබෙන වගන්ති ද ව්‍යවස්ථාවට පටහැනි බවයි.ශ්‍රී ලාංකික පුරවැසියෙකුට වරාය නගර සීමාවේදී භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමේදී ගෙවීම් කළයුතු බවට සඳහන් වගන්ති ද ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය.

මෙම පනත් කෙටුම්පතින් කොළඹ වරාය නගර සීමාවේ සේවාවන් සැපයීම සඳහා දේපළ කළමනාකරු ලෙස සමාගමක් ආරම්භ කර කළයුතු බව සඳහන් කර තිබේ.වරාය නගර සීමාව තුළ කොමිෂන් සභාව පනවන දේශීය වරිපනම්, අයබදු සහ විවිධ ගාස්තු ඇතුළු අයකිරීම් එක්රැස් කිරීමට එම සමාගමට බලය පැවරෙන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය.ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර කරන අයෙකු ශ්‍රී ලංකා වාසියෙකු සමග වරාය නගරයෙන් පිටත රට තුළ ව්‍යාපාර කිරීමට බලය ලැබෙන වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.

ශ්‍රී ලංකා භූමිය ඇතුළත ව්‍යපාරවලට හානියක් සිදුවන ආකාරයෙන් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් භාවිත කිරීම වළක්වන උපවගන්තියක් කෙටුම්පතට ඇතුළත් කළ හොත්, එම අනනුකූලතාවය ඉවත්වනු ඇති බව ද නිගමනයේ සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න