කෝවිඩ් -19 වෛරසය මතු වූයේ 2019 අවසානයේදී නමුත් සමහර රෝගීන් පූර්ණ සෞඛ්‍ය තත්ත්වයට පත්වීමට බොහෝ කාලයක් ගත වනු ඇති බවට දැනටමත් ලකුණු දක්නට තිබේ.
සුව වීමේ කාලය රඳා පවතින්නේ මෙම වෛරසයෙන් ඔබ කෙතරම් දුරට රෝගී වී ඇත් ද යන්න මතය. සමහර පුද්ගලයන් මෙම රෝගී තත්ත්වයෙන් ඉතා ඉක්මනින් මිදෙන නමුත්, අනෙක් අයට එය කල් පවත්නා සෞඛ්‍ය ගැටලු ඇති කරයි.
කෝවිඩ් -19 හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වීමේ අවදානම වැඩි වීමට වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු සියල්ල ම බලපානු ඇත.
ඔබට ලැබෙන ප්‍රතිකාරය වඩාත් බරපතළ වන විට ප්‍රකෘති තත්ත්වයට පත් වීමට වැඩි කාලයක් ගත වනු ඇත.
නව කොරෝනාවෛරසය ආසාදනය වන බොහෝ පුද්ගලයින්ට කැස්ස හෝ උණ වැනි ප්‍රධාන රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරයි. නමුත් ඔවුන්ට ශරීරයේ වේදනාව, තෙහෙට්ටුව, උගුරේ ආසාදන සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ද ඇති විය හැකිය.
ප්‍රථමයෙන් වියළි කැස්සක් ඇතිවන නමුත්, සමහර පුද්ගලයන්ට වෛරසය නිසා මියගිය පෙනහලු සෛල අඩංගු සෙම් සහිත කැස්සක් ඇති විය හැකිය.
විවේකය, හැකි තරම් දියර වර්ග පානය කිරීම සහ පැරසිටමෝල් වැනි වේදනා නාශක ලබා ගැනීම මෙම රෝග ලක්ෂණවලට ප්‍රතිකාරයන්ය.
සුළු රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ඉතා ඉක්මනින් සුවය ලබනු ඇත. කැස්ස දිගු කාලයක් පැවතිය හැකි වුව ද, උණ සතියකට අඩු කාලයක් තුළ සමනය වේ. චීනයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය (පවසන්නේ, කෝවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු යථා තත්ත්වයට පත්වීමට සාමාන්‍යයෙන් සති දෙකක කාලයක් ගත වන බවය.
සමහර පුද්ගලයන්ට බරපතළ රෝග ලක්ෂණ ඇති විය හැකිය. වෛරසය ආසාදනය වී දින හතක් හෝ දහයක් පමණ ගත වන විට මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරනු ඇත.
බරපතළ රෝග ලක්ෂණ පහළ වීම ඉතා ඉක්මනින්, හදිසියේ සිදු විය හැකිය. එහිදී පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත සටන් කිරීමට උත්සහ කිරීමේදී, එය අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රතික්‍රියා කිරීමෙන් ශරීරයට සිදුවන අමතර හානිය මෙම තත්ත්වයට හේතු වේ.
සමහර පුද්ගලයන්ට ඔක්සිජන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමට ද සිදු වේ.
"හුස්ම ගැනීමේ අපහසුතා නැති වීමට සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ශරීර අභ්‍යන්තරයේ කැළැල් හා ප්‍රදාහය නැති වී යන්න ඕනේ" යැයි වෛද්‍ය සාරා ජාවිස් පැවසීය.
සුවය ලැබීමට සති දෙකත් අටත් අතර කාලයක් ගත වන නමුත් නිතර තෙහෙට්ටු ගතියක් දැනෙනු ඇතැයි ඇය පවසයි.
සෑම පුද්ගලයන් විස්සකින් එක් අයෙකුට දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. සිහිසුන් කිරීම මෙන් ම හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රවලට සවි කිරීම ද දැඩි සත්කාර ප්‍රතිකාරවලට ඇතුළත් වේ.
රෝගී තත්ත්වය කුමක් වුව ද දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කරන බරපතළ තත්ත්වයෙන් සුවය ලැබීමට වැඩි කාලයක් ගත වනු ඇත. එවැනි රෝගීන් යළි නිවෙස් කරා යාමට පෙර සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබේ.
දැඩි සත්කාර වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇලිසන් පිටාර්ඩ් පවසන්නේ දැඩි සත්කාර ප්‍රතිකාරවලින් පසු යථා තත්ත්වයට පත්වීමට මාස 12 සිට 18 දක්වා කාලයක් ගත විය හැකි බවය.
රෝහල් ඇඳක දීර්ඝ කාලයක් ගත කිරීම අධික ලෙස මාංශ පේශීන් අහිමි වීමට හේතු වේ. එමගින් රෝගීන් දුර්වල වන අතර මාංශ පේශි නැවත ගොඩනැගීමට කාලය ගත වනු ඇත. සමහර පුද්ගලයන්ට නැවත ඇවිදීමට කායික චිකිත්සාව ද අවශ්‍ය වේ.
දැඩි සත්කාර ඒකකය තුළ ශරීරය අත්විඳින විවිධ තත්වයන් නිසා, ව්‍යාකූලතා සහ මානසික ආබාධ ඇතිවීමේ හැකියාව ද ඇත.
"මේ රෝගයේ අමතර අංගයක් ඇති බව පෙනෙනවා. ඒ තමයි වෛරසය හේතුවෙන් ඇති වන තෙහෙට්ටුව. එය අනිවාර්යයෙන් ම ප්‍රබල සාධකයක්," යැයි කාඩිෆ් සහ වේල් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මණ්ඩලයේ දැඩි සත්කාර භෞත චිකිත්සක පෝල් ට්වෝස් කියා සිටියේය.
ශරීරය දුර්වල වීම, ඕනෑ ම මට්ටමක වෙහෙස වීමකින් පසු හුස්ම ගැනීමේ අපහසුතා, දිගින් දිගට ම පවතින කැස්ස සහ අක්‍රමවත් හුස්ම ගැනීම් පිළිබඳව චීනය සහ ඉතාලියේ රෝගීන් පිළිබඳ වාර්තාවල සඳහන් වේ. එමෙන් ම, දීර්ඝ නින්දක අවශ්‍යතාව ද ඇති විය හැකිය.
"රෝගීන් සුවය ලැබීමට සැලකිය යුතු කාලයක්, සමහර විට මාස ගණනක් ගත වන බව අපි දන්නවා. නමුත් එය පොදු සාධකයක් ලෙස පැවසීම අපහසුය. සමහර රෝගීන් දැඩි සත්කාර ඒකකයේ සාපේක්ෂව කෙටි කාලයක් ගත කරන අතර, අනෙක් අය සති ගණනක් හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රවල රඳවා තැබිය යුතුය."
දිගු කාලීන දත්ත නොමැති බැවින් මේ පිළිබඳ නිශ්චිතව ම නොදන්නා නමුත්, මෙයින් ඇති වන වෙනත් සංකූලතා දෙස බැලිය හැකිය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් ක්‍රියාත්මක වී පෙනහලුවලට හානි සිදු වීමත් සමග උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමයrඇති විය හැකිය.
"වසර පහක් ගත වුව ද, රෝගී වූවන්ට අඛණ්ඩ ශාරීරික හා මානසික දුෂ්කරතා ඇති විය හැකි බවට ඇත්ත වශයෙන් ම හොඳ දත්ත තිබෙනවා," පෝල් ට්වෝස් පවසයි.
වොරික් වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය ජේම්ස් ගිල් පවසන්නේ සම්පූර්ණයෙන් සුව වීම සඳහා පුද්ගලයන්ට මානසික සෞඛ්‍ය සහය ද අවශ්‍ය බවය.
"ඔබට හුස්ම ගැනීම අපහසුයි. එවිට වෛද්‍යවරයා පවසන්නේ අපිට ඔබව හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රයකට (වෙන්ටිලේටර්) සවි කරන්න වෙනවා. නැත්නම් අපිට ඔබව සිහිසුන් කිරීමට සිදුවෙනවා. ඔබේ පවුලෙන් සමු ගැනීමට ඔබට අවශ්‍ය ද?" යනුවෙනි.
"මෙවැනි බරපතළ රෝගීන් තුළ පශ්චාත් කම්පන ආතතිය ඇති වීම පුදුමයට කරුණක් නොවේ. බොහෝ දෙනෙකුට මෙමගින් සැලකිය යුතු මානසික කැළැල් ඇති වෙනවා."
ඇතැම් විට සුළු රෝග ලක්ෂණ පමණක් තිබූ රෝගීන්ට පවා දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. විශේෂයෙන් ම තෙහෙට්ටුව වැනි තත්වයන් ඇතිවීමේ හැකියාව පවතී.
නිවැරදි සංඛ්‍යාව ලබා ගැනීම ඉතා දුෂ්කර ය. අප්‍රේල් 22 වන විට, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කළේ ආසාදිතයන් මිලියන 2.5කට වැඩි පිරිසෙන් 700,000 ක් පමණ සුවය ලබා ඇති බවය.
නමුත් රටවල් රෝගීන් ගැන වාර්තා කිරීමේ විවිධ ක්‍රම භාවිත කරයි. සමහර රටවල් සුවය ලැබූ සංඛ්‍යා ප්‍රකාශයට පත් නොකරන අතර, බොහෝ විට සුළු රෝගී ලක්ෂණ මතු වූ රෝගීන් ද මග හැරෙනු ඇත.
ගණිතමය ඇස්තමේන්තුවලට අනුව පෙනී යන්නේ රෝගීන් 99-99.5% අතර ප්‍රමාණයක් සුවය ලබා ඇති බවය.
කෝවිඩ් -19 මට නැවත ආසාදනය වේ ද?
ප්‍රතිශක්තිය කෙතරම් කාලයක් පවත්න්නේ ද යන්න පිළිබඳ සාක්ෂි අවම වුවත් බොහෝ අනුමාන පවතී. රෝගීන් වෛරසයට එරෙහිව සාර්ථක ලෙස සටන් කර ඇත්නම්, ඔවුන් තුළ ප්‍රතිශක්තියක් ගොඩනැගී තිබිය යුතුය.
සමහර පුද්ගලයන්ට මෙම වෛරසය දෙවරක් ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇත්තේ ඔවුන් වෛරසයෙන් සුව වූ බවට වැරදි පරීක්ෂණ ප්‍රතිඑල නිකුත් වීමෙන් ද විය හැකිය.
පුද්ගලයන්ට රෝගය නැවත වැළඳේ ද යන්න සහ ඕනෑ ම එන්නතක් කෙතරම් ඵලදායී ද යන්න තේරුම් ගැනීම සඳහා ප්‍රතිශක්තීකරණ පිළිබඳ කරුණු ඉතා වැදගත් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
