පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා වන ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර වාද විවාද මතු වෙමින් ඇත.
මෙහිදී ව්‍යවස්ථා නීතිය සම්බන්ධව ජේෂ්ඨ නීතිඥයකු වන ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සිදු කළ අභියෝගයක් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සහායට පවත්වාගෙන යන ලීඩ් නිවුස් වෙබ් අඩවිය දක්වා ඇත.
එහි සඳහන් ව ඇත්තේ " පාර්ලිමේන්තු ව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගෝඨාභය රජපක්ෂ විසින් මාර්තු 2 වන දා නිකුත් කරන ලද නියෝගය කුමන හෝ අවස්ථාවක අවලංගු නොවන බවත්, එසේ අවලංගු වනවා නම් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද කියා හැකි නම් පවසන ලෙසට තමා දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාට අභියෝග කරන බවය".
එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(1), 70(5) වගන්තිවලත් පාර්ලිමේන්තු පනතෙහි 10 වෙනි වගන්තියේත් පැහැදිළිව සඳහන් වන බවත් නීතිඥ මනෝහරද සිල්වා පවසා ඇත.
මැයි 2 ගැසට් පත්‍රය වලංගු නෑ - ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මෙසේ පවසා තිබිණ.
"ජුනි 02 වැනිදාට කලින් ඡන්දය පවත්වන්න බැහැ. දැන් පවතින තත්වය අනුව මගේ ස්ථාවරය තමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාර්තු 02 වැනිදා පළකළ ගැසට් පත්‍රය වලංගු නොවන බව.
මොකද 70 වැනි ව්‍යවස්ථාවේ, ජනාධිපතිවරයාට වසර 4කුත් මාස 6කට පසුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා බලය ලැබෙන වගන්තියේම සඳහන් වෙන්නේ නැවත මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්වෙන්න ඕනෑ කියලයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරියේ මාර්තු 02 වැනිදා. ඔහු එදින නිකුත් කළ ගැසට් නිවේදනය වලංගු වෙන්නේ ජුනි 02 වැනිදාට පෙර ඡන්දය පවත්වන්න පුළුවන් වුණොත්."
නීතිඥ සුමන්තිරන් මේ අදහස් දක්වා තිබුණේ අනිද්දා පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
මැතිවරණය ජුනි 2 නොවේ නම් කරූ ජයසූරිය කතානායකට පාර්ලිමේන්තුව කැඳවීමට පුළුවන් - මහාචාර්ය නිහාල් ජයවික්‍රම
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 02 වැනිදාට පෙරාතුව නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/5 වන වගන්තිය ප්‍රකාරව කතානායක කරු ජයසූරියට පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකි බව හිටපු අධිකරණ අමාත්‍ය ලේකම්වරයෙකු වන මහාචාර්ය නිහාල් ජයවික්‍රම 'මව්බිම' පුවත්පතට පවසා ඇත.
එහෙත් ජනාධිපතිවරයාට එම වගන්තිය යටතේම තවත් මාස දෙකකට පාර්ලිමේන්තු මැතිවරණ නොපවත්වා කල් දැමීමට අණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව බලය හිමි බවද ඔහු කියා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන සැපැත්ම්බර් 01 වැනිදා පාර්ලිමේන්තු කාලසීමාව නිල වශයෙන් අවසන් වන බවද නිහාල් ජයවික්‍රම පෙන්වා දෙයි.
කොරෝනා (කොවිඩ් 19) වැනි මාරාන්තික වසංගතයක් පැතිර යන අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් 01 වැනිදාට පෙරාතුව පැවැත්වීමට නොහැකි වන්නේ නම් ඊට ගත යුතුය පියවර සම්බන්ධව ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන දක්වා නැතැයි ද ඔහු පවසයි.
යම් කිසි මැතිවරණ කොට්ඨාසයක ජල ගැලීමක් වැනි හේතුවක් මත යම් ප්‍රදේශයක මැතිවරණයක් පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වූ විට මැතිවරණ කොමිසමට එම ප්‍රදේශයේ මැතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් බලය ලබා දී තිබෙන බවද හෙතෙම කියා සිටියි.
මෙම වසංගත තත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් ගියහොත් ඒ සම්බන්ධයෙන් ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නීතියමය ප්‍රතිපාදන ඇතැයි ද හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම් නිහාල් ජයවික්‍රම වැඩි දුරටත් පවසයි.
විධායකය පාර්ලිමේන්තුවට වගවිය යුතුයි - ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න
"දැනටත් ලොකු ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා. මාස 03කින් පසුව තමයි මහ මැතිවරණයෙන් තේරී පත්වෙන නව පාර්ලිමේන්තුවට රැස්වෙන්න පුළුවන්. මෙම තත්වය අප බලාපොරොත්තු නොවූ තත්වයක්. නිශ්චිතවම මේ වගේ තත්වයක් ඇතිවේවි කියලා 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන විට බලාපොරොත්තු නොවන්නට ඇති. එහෙත් දැන් අපි මේ තත්වයට මුහුණදෙනවා." යනුවෙන් අදහස් දක්වා ඇත්තේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධව ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ය.
සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
"මේ මොහොතේ පාර්ලිමේන්තුව නැතිව යමු කියලා නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙන බවත් පේනවා. එවැනි කුමන අදහස් තිබුණත් පාර්ලිමේන්තුව කියන්නේ අත්‍යවශ්‍ය ආයතනයක්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට තමයි විධායකය වගවෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) ව්‍යවස්ථාවට අනුව හදිසි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව රැස්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. දැන් ජනාධිපතිවරයා විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව රැස් කළ යුතුයි.
එහෙත් විධායකය පාර්ලිමේන්තුවට වගවීමට කැමති නැති නිසා තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව ඉන්න උත්සාහ කරන්නේ. මෙය හිතුවක්කාර තීන්දුවක්. එහෙත් ජනාධිපතිවරයා හිතුවක්කාර නොවී පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි."

