සමාජ සංචරණ ලිහිල් කළ නිර්දේශ කාගේද ? ප්‍රධාන සෞඛ්‍ය බලධාරියාට ප්‍රශ්නයක් !

සමාජ සංචරණ ලිහිල් කළ නිර්දේශ කාගේද ? ප්‍රධාන සෞඛ්‍ය බලධාරියාට ප්‍රශ්නයක් !

කොවිඩ් 19 වසංගතය මැඩීමට  ක්‍රියාත්මක කළ සමාජ සංචරණය සීමා කිරීමට අදාල ක්‍රියාමාර්ග ලිහිල් කිරීම පිටුපස ඉතා අවිද්‍යාත්මක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීමට අපහසු නැති බවත් එබැවින් මේ තාක් ගත් සුභවාදී ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ආපස්සට ගැනීම යනු පටු දේශපාලන අරමුණු සදහා සමස්ත රටේ ජනතාවත් සෞඛ්‍යය සේවකයනුත් අනතුරේ හෙලීමක් බවත් අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමුකර ඇත.

මෙම ලිපිය ඊයේ (21) යොමුකර ඇති අතර ඒ නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වන මධ්‍යස්ථානය විසින්ය.
"මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීම සදහා එම විෂයට අදාල ප්‍රවීනයන්ගේ හා තාක්ෂණික කමිටු වලින් නිසි අනුමැතියක් ලැබී ඇත්ද ? එසේනම් මේ කියාවලිය සිදුවන්නේ එම තාක්ෂණික කමිටු හා විෂය ප්‍රවීනයන්ගේ නිර්දේශ මතද ? නැතිනම්, ව්‍යාජ තක්සේරුවක් ගොඩ නැගීමට මාධ්‍ය මෙහෙයුමක් සහ ඊට අදාලව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයකන් භාවිතා කිරීමද යන බරපතල විවේචනය මතුවන බවත් අවධාරණය කර ඇති එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
 
නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වන මධ්‍යස්ථානය විසින් යොමුකළ ලිපිය !

2020.04.21

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් 

සෞඛ්‍යය , දේශීය වෛද්‍ය හා පෝෂණ අමාත්‍යාංශය 

සෙත්සිරිපාය 

කොළඹ 10.

මහත්මයාණෙනි ,

කොරෝනා  ( COVID19) ගෝලීය වසංගත තත්වය හමුවේ ඇති ඉදිරි අභියෝගාත්මක අනතුර පිලිබදවයි !

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටක් ලෙස එයට මුහුණ දීමේදී සැලකිය යුතු  අඩුපාඩු රාශියක්  සහිතව උවද  මේ‍ මොහත වන විට යම් සාර්ථකත්වයක් අත් කර ‍ගෙන සිටින බව දකිමු.  සමාජ සංචරණය සීමා කිරීම, පුද්ගල දුරස්ථ භාවය ආරක්ෂා කිරීම, පුද්ගලික සනීපාරක්ෂක වගකීම පිලිබදව පුද්ගල මට්ටමින් සහ සමස්ත සමාජයම එකවිට ආමන්ත්‍රණය කිරීමට ගත් ක්‍රියාමාර්ග මෙහිදී වැදගත් වී ඇති බව පෙනේ. නමුත් එම ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට ගත් තීරණය ගැටළු සහිතය. දැනට වාර්තා වන කොරෝනා රෝගීන් පිලිබදව දත්ත සහ වාර්තා හරහා එම ප්‍රශ්නය බරපත ලෙස මතුකෙරේ. නිකුත් කර ඇති ඊට අදාල වාර්තා වලින් මේ පවතින ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට අවශ්‍ය තොරතුරු විශ්වාසනීය ලෙස තහවුරු නොවේ. එනම් රෝගය ප්‍රශස්ත මට්ටමක් දක්වා පාලනය වී ඇති බව එම සංඛ්‍යාලේඛන මගින් ප්‍රමාණවත් විස්වාසයක් ගොඩ නැගීමට අසමත් බව අපෙග් විශ්වාසයයි.

රෝගී සංඛ්‍යාව වෙනත් රටවලට සාපේක්ෂව අඩු අගයක් උවද දිගින් දිගටම රෝගීන් වාර්තා වීම සිදු වේ. ඒ තුල අවදානම අඩු වීමක් හෝ අවධානම පහව යාමක් හෝ හදුනාගත නොහැක. ඒ නිසා සමස්ත සමාජයටම බිය සහ සැක සහිත වටපිටාවක ජීවත්වීමට සිදුව ඇත. මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීම සදහා එම විෂයට අදාල ප්‍රවීනයන්ගේ හා තාක්ෂණික කමිටු වලින් නිසි අනුමැතියක් ලැබී ඇත්ද ? එසේනම් මේ කියාවලිය සිදුවන්නේ එම තාක්ෂණික කමිටු හා විෂය ප්‍රවීනයන්ගේ නිර්දේශ මතද ? නැතිනම්, ව්‍යාජ තක්සේරුවක් ගොඩ නැගීමට මාධ්‍ය මෙහෙයුමක් සහ ඊට අදාලව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයකන් භාවිතා කිරීමද යන බරපතල විවේචනය මතුවේ. මෙම වසංගත තත්ත්වය තුල අනිසි බිය  සේම අනිසි ආරක්ෂිත හැගීමද එකසේ හානි කරය. මෙවැනි ප්‍රවේශයක් තුල කොරෝනා රෝගය පැතිරීම සීඝ්‍ර  වැඩි වීමක් ඇති වීමේ අනතුරක් ඇත. එසේ උවහොත් විශාල භයංකර ප්‍රතිඵල ගණනාවකට රටක් ලෙස මුහුණ දීමට සිදු වන අතර මේ දක්වා රෝග පාලනය වෙනුවෙන් සියලු දෙනා කල කැප කිරීම අපතේ යනු ඇත. එමෙන්ම මේ ක්‍රියාත්මක කළ සමාජ සංචරණය සීමා කිරීමට අදාල ක්‍රියාමාර්ග ලිහිල් කිරීම පිටුපස ඉතා අවිද්‍යාත්මක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීමට අපහසු නැත. එබැවින් මේ තාක් ගත් සුභවාදී ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ආපස්සට ගැනීම යනු පටු දේශපාලන අරමුණු සදහා සමස්ත රටේ ජනතාවත් සෞඛ්‍යය සේවකයනුත් අනතුරේ හෙලීමකි. එබැවින් මේ පිලිබදව වඩා වගකීම් සහගත වෛද්‍ය සංවිධානයක් ලෙස මේ සිදුකරන වගකීම් විරහිත ක්‍රියාමාර්ග පිළිබද අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරසිටිමු. තවද මේ දක්වා ගෙන ගිය වැඩ පිලිවලේ දුබලතා හැකිතාක් අවම කර ගනිමින් කොරෝනා රෝගය මර්ධනය කිරීමට අදාල ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම සදහා පහත යෝජනා ඉදිරිපත් කරමු. 

1. කොවිඩ් - 19 මර්ධනය සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංයුතිය සහ එහි මුලික වගකීම් සෞඛ්‍යය සහ පරිපාලනය පිළිබද අත්දැකීම් බහුල වි‍ශේෂඥ පිරිසකගේ නායකත්වයෙන් සැදුම්ලත් කමිටුවක් බවට පත් කිරීම.

2. PCR පරීක්ෂණය, රෝගය හඳුනාගැනීම සදහා බහුල ලෙස සිදු කළයුතු බවට ලෝක සෞඛ්‍යය සංවිධානය අවධාරණය කර ඇත. එමෙන්ම රටපුරා  හඳුනා  ගත් අවධානම් සහගත විශාල පිරිසක් සිටින බවට මෙහෙයුම්

කමිටුවට සම්බන්ධ පාර්ශවවලින්ම ප්‍රකාශ වී ඇත. මේ වන විට නව ව්‍යාප්ත ස්ථාන පවා හමු වෙමින් තිබේ. ලෝකය පුරා සක්‍රිය ලෙස රෝගීන් සොයාගැනීම සදහා විශාල ප්‍රමාණයෙන් පරීක්ෂණ කරන අතර අප රට තුල  තවමත් 5000කට වැඩි පමාණයක් පරීක්ෂණ සිදුකර නැත. මෙම පරීක්ෂණය ප්‍රමාණය තවදුරටත් වැඩිකළ යුතු බවත් එය සක්‍රිය කර සමාජය තුල සිටින රෝග වාහකයන් සොයා ගැනීමට කටයුතු කල යුතු බවට යෝජනා කෙරේ

3. අප රට තුළ සිදුකෙරෙන කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ ප්‍රමුඛ කාර්යභාරයක් කරන සෞඛ්‍යය, ආරක්ෂක, රාජ්‍ය පරිපාලනයට අදාල සියලු රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු කාර්යමණ්ඩල වලට මෙම වසංගතය නිසා අධික  අවදානමක් ඇත. එබැවින් එම කාර්ය මණ්ඩල වල ආරක්ෂාව සදහා විද්‍යාත්මක වශයෙන් තහවුරු කරන ලද පුද්ගලික ශරීර ආරක්ෂක මෙවලම් ඇතුළු ආරක්ෂක ක්‍රම වේදයන් ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ. එබැවින් එම කාර්ය මණ්ඩල වලට අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදීමට කඩිනම් පියවර ගැනීම.

4. කොරෝනා වසංගතය අප රට තුල ව්‍යාප්ත වූ දින සිට ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සහ මාධ්‍ය මැදිහත්වීම් මගින් වෛරසය ආසාධනය වුවන් හා තර්ජනයට ලක්වූවන් කෙරෙහි සමාජය තුල භීතිකාවත්, අප්‍රසාදය සහ විරෝධයක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශ සහ මාධ්‍ය වාර්තා ඉදිරිපත් විය. එය වෛද්‍ය ආචාරධර්මවලට පවා පටහැනි ක්‍රියාවකි. මේ හේතුවෙන් එම පිරිස් විශාල පීඩාවකට ලක් වන අතර ඔවුන් රෝගය වසන් කිරීමකට පවා පෙලබේ. ඒ හේතුවෙන් රෝග අවධානම සහිත පිරිස් විධිමත් සෞඛ්‍යය ආරක්ෂක වැඩපිළිවෙලට ඇතුලත් කිරීම දුෂ්කරවේ. එය රෝගය ව්‍යාප්ත වීමේ අවධානම වැඩි කරයි. එබැවින් එවැනි වගකීම් විරහිත ක්‍රියාමාර්ග සිදු නොවීමට වග බලා ගැනීම.

5. එසේම විධිමත් සහ වගකීම් සහගත සෞඛ්‍යය කලමනකරණයකට හෝ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකට ලක් නොවූ අවිධිමත් ප්‍රතිකර්ම පිළිවෙත් පිළිබද වගකිව යුතු  පුද්ගලියින් නිකුත් කරන ප්‍රකාශ මගින් ජනතාව නොසන්සුන්තාවයට පත් වීම නිසා, එමගින් මෙතෙක් ක්‍රියාත්මක වු වැඩපිළිවල පිළිබදජනතා විස්වාසය බිද වැටේ. එබැවින් ජනතාවට සෞඛ්‍යය අමාත්‍යාංශය  හරහා විද්‍යාත්මක සහ වගකීම් සහගත බවකින් යුත් තොරතුරු සහ මග පෙන්වීම් කිරීමට වගබලා ගත යුතුය.

6. මෙම වසංගතය හේතුවෙන් වෙනත් රෝගාබාධ වලට ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඩාල වීමෙන් එම ජනතාවගේ රෝග අවදානම  ඉහල ගොස් ඇත . දියවැඩියා, අධි රුධිර පීඩනය හෘදයාබාධ සහ පිළිකා ආදී බෝ නොවෙන රෝග වලට ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් දැඩි අවධානමකට ලක්ව ඇත. ඒ හේතුවෙන් එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සහ ඖෂධ ලබා දීමට ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා දිවෙන ඵලදායි යාන්ත්‍රණයක් සෞඛ්‍යය අංශවල සෘජු අධීක්ෂණය  යටතේ ඇති කිරීමට කටයුතු කිරීම.

මේ කරුණු සම්බන්ධයෙන් ඔබගේ කඩිනම් අවධානය යොමුකර ඉතා වගකීම සහගතව කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ දැඩි අවශ්‍යතාවයක්ව පවතී.

ස්තූතියි

කැඳවුම්කරු

වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු

පිටපත් - 1. සෞඛ්‍යය ඇමති

              2. සෞඛ්‍යය ලේකම්

              3. සියලු මාධ්‍ය ආයතන    
 
--

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න