පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධ බව කියමින් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කර ඇත.
මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපති ය.
නීතීඥ සනත් විජේවර්ධන සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම් මඟින් අත් අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීලසිටින ක්‍රියාධරයෙකු බවත් , විශේෂයෙන්ම සුළුතර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නෙකුද බව ,
එසේම පසුගියදා කොරෝනා වයිරස් තත්ත්වය හසුවේ මියගිය මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමට බලධාරීන් ගත් තීරණ දැඩිව විවේචනය කල අයෙක්වූ බැවින් එම තත්ත්වය මෙම අගතිදායක අත්අඩංගුවට ගැනීමට තවත් හේතුවක් වන්නට ඇතැයි කියා සිටී.
එසේ ම මෙසේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් සඳහන් කර ඇතැයි කියවේ.
එබැවින් මෙම නීතීඥවරයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වගඋත්තරකරුවන්ට හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ,නීතීඥවරයා පොලිස් අත්අඩංගුවෙන් මුදා හරින ලෙසට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටි.

