රිෂාඩ්ගේ සොයුරා ගැන දෙරණ අරුණ සහ ලංකාදීප බොරු ලියලා : මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

රිෂාඩ්ගේ සොයුරා ගැන දෙරණ අරුණ සහ ලංකාදීප බොරු ලියලා : මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්  !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරු රියාජ් බදුර්දීන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කරමින් අත්අඩංගුවට ගැනීම ගැන  'ඉරිදා අරුණ' පුවත්පතේ සහ 'ලංකාදීප ඉරිදා' පුවත්පත්  පල කර ඇති පුවත් වාර්තා මුළුමනින්ම සාවද්‍ය සහ ද්වේශ සහගත බව රියාජ් බදුර්දීන්ගේ බිරිඳ පාතිමා ඉෂ්රත් රියාජ් බදුරුදීන් පවසන්නීය.

ඇය ඒ බව  සඳහන් ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමිනි.

මෙසේ එම පුවත් වාර්තා පළකර ඇත්තේ, රහස් පොලිසියෙන් හෝ පොලිසියෙන් කිසිදු විටෙකත් සහරාන් සහ රියාජ් බදුර්දීන් අතර සම්බන්ධයක් හෝ කිසිදු ආකාරයක ගණුදෙනුවක් තිබූ බවට සඳහන් කර නොමැති තත්වයක් තුළ බව ඇය එම පෙත්සම මගින් කියා සිටියි.

 රහස් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එම ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ දෙමටගොඩ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ නිවසේ පදිංචිව සිටි, කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය සභාපති මොහොමඩ්  ඉබ්‍රාහිම්  යන අයගේ පුත්‍රයා වන බෝම්බ ප්‍රහාරයේ එල්ල කළ සැකකරුවකු වන ඉන්ශාෆ් ඉබ්‍රාහිම්  යන අය හා දුරකථනයෙන්  කථා කල නිසා යයි පවසන පාතිමා මහත්මිය, එම ඉන්ශාෆ්  බ්‍රාහීම්  යන අය ව්‍යාපාරිකයෙකු වන අතර  ඔහු විවාහ වී  සිටියේ තම ස්වාමී පුරුෂයාගේ උපන් ගම් ප්‍රදේශය වන මන්නාරමේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන අලාවුදීන් යන අයගේ දියනිය සමග බවද කියා සිටියි.

Lankadeepa 2020.04.19ඇය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර ඇති එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

''අද ඉරිදා අරුණ පුවත්පතේ සහ ලංකාදීප ඉරිදා පුවත්පතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාගේ ස්වාමී පුරුෂයා වන රියාජ්  බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ කරගෙන ඉතාම වැරදි සහ ද්වේශ සහගත ලෙස ප්‍රවෘත්ති පළකර ඇත.

 එම ප්‍රවෘත්ති ලියා ඇති ආකාරයෙන්ම පෙනී යන්නේ මෙම අත්අඩංගුවට ගැනීම හෝ ඒ හා සම්බන්ධ කිසිදු කරුණු සොයාබැලීමකින් තොරව මෙම ලිපිය ලියා ඇති බවයි. විශේෂයෙන්ම මාගේ ස්වාමී පුරුෂයා  සහ මෙම පාස්කු ම්ලේච්ඡ ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සලකන සහරාන් සම්බන්ධ කර ගනිමින් පළ කළ ඇති ප්‍රවෘත්තිය ඉතාම සාවද්‍යය.

විශේෂයෙන්ම රහස් පොලිසියෙන් හෝ පොලිසියෙන් කිසිදු විටෙකත් සහරාන් සහ රියාජ් බදුර්දීන් අතර සම්බන්ධයක් හෝ කිසිදු ආකාරයක ගණුදෙනුවක් තිබූ බවට සඳහන් කර නොමැත.

රහස් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ දෙමටගොඩ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ නිවසේ පදිංචිව සිටි, කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය සභාපති මොහොමඩ්  ඉබ්‍රාහිම්  යන අයගේ පුත්‍රයා වන බෝම්බ ප්‍රහාරයේ එල්ල කළ සැකකරුවකු වන ඉන්ශාෆ් ඉබ්‍රාහිම්  යන අය හා දුරකථනයෙන කථා කල බවටය. 

එම ඉන්ශාෆ්  බ්‍රාහීම්  යන අය ව්‍යාපාරිකයෙකු වන අතර  ඔහු විවාහ වී  සිටියේ මාගේ ස්වාමී පුරුෂයාගේ උපන් ගම් ප්‍රදේශය වන මන්නාරමේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන අලාවුදීන් යන අයගේ දියනිය සමගය.

එමෙන්ම  අත්අඩංගුවට ගත් මගේ ස්වාමීයාද  රජයට ආදායම් බදුගෙවන ව්‍යාපාරිකයෙක්. එමෙන්ම ඔහු එම ව්‍යාපාර කටයුතු නිවැරදි ආකාරයට රජයට ගෙවීමට ඇති සියලුම බදු මුදල් ගෙවා පවත්වාගෙන යන අයෙකි.  

ශ්‍රී  ලංකාවේ නීතිය අනුව ඕනෑම අයෙකුට නිත්‍යානුකූලව ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට අයිතියක් ඇත. එමෙන්ම ‍ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ ඉන්ශාෆ් ඉබ්‍රාහිම්  යන අය එම ක්‍රියාව සිදු කරන තුරු ඔහුගේ පියා හෝ බිරිඳ හෝ කිසිවක් නොදැන සිටි බව එම පාස්කු ප්‍රහාරය සිදුවූ දිනවලදී මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.

 මෙම ඉරිදා පුවත්පත්වල කරුණු සාවද්‍ය හා විකෘති කොට පළ කර තිබේ එහි සඳහන් එක් කරුණක් නම් පාස්කු ප්‍රහාරය සිදුකර දින කීපයක් ඇතුළත උතුරු පළාත භාර හමුදා විසින් මන්නාරම් ප්‍රදේශයේ දී රියාජ්  බදුර්දීන් අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේදී ඔහුව මුදා හැර ඇති බවත්ය.  මෙය ඉතාම සාවද්‍ය ප්‍රවෘත්තියකි.

 එම කිසිදු අවස්ථාවකදී දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන මාගේ ස්වාමී පුරුෂයා  අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්නකර නොමැත. 

විශේෂයෙන්ම මෙම පුවත්පත්වල සඳහන් කරුණු අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ ප්‍රධාන වශයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවෘත්ති පළකර ඇති බවය. 

මෙය හුදෙක් මහජනතාව සහ පාඨකයා නොමඟ යැවීමකි කරුණු නිසියාකාරව සොයා නොබලා මෙවැනි අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රවෘත්ති පළ කිරීම තුළින් මෙරට පාඨකයන් නොමඟ යවනවා පමණක් නොව සමාජයට ඉතාම වැරදි තොරතුරු  ලබාදීමයි.

 මෙම ප්‍රවෘත්ති තුළින් ඔවුන් උත්සාහ කරන්නේ හිටපු අමාත්‍ය රිෂාඩ්බදුර්දීන් මහතා මෙම ම්ලේච්ඡ ත්‍රස්ත කියාවට සම්බන්ධ බවට ඒත්තු ගැන්වීමටය. පාස්කු ප්‍රහාරයෙන් පසුව දිගින් දිගටම මාධ්‍ය මගින් සහ විවිධ පුද්ගලයන් දේශපාලඥයන් සහ විවිධ ආගමික නායකයන් ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වූයේ බදුර්දීන් මහතාය.

 ඔවුන් කරුණු විකෘති කරමින් සහ සාමාන්‍ය ජනතාව නොමඟ හරිමින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීමට නින්දිත ආකාරයට ක්‍රියාකරමින් සිටිති. විශේෂයෙන්ම මෙම පුවත්පත් මගින් පෙන්වාදී ඇති කරුණු මහජනතාව නොමඟ යවන බවට සිතිය හැකිය.

මාගේ සැමියා තමන්ගෙ ‍ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා යම් යම් පුද්ගලයන් අතර දුරකථන සංවාද සිදුවීම සාමාන්‍ය ‍සිද්දියකි. එවැනි වූ දුරකථන ඇමතුම් වල නිර්වද්‍යතාවය පිළිබඳව සොයාබැලීමේ සියලුම අයිතීන් ආරක්ෂක අංශවලට තිබෙන බවට සැකයක් නැත. නමුත් නිත්‍යානුකූලව යම්කිසි තීරණයකට එළඹීමට පෙර මාධ්‍ය යම් යම් වැරදි තොරතුරු පළ කිරීම ඉතාම බරපතළ ගැටලුවක් වී ඇත. 

මෙය අධිකරණය හෑල්ලුවට ලක්කිරීමකි යම්කිසි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීම ඔහු නීතියෙන් වරදකරුවකු කරනතුරු නිවැරදිකරුවෙකු වේ.

මේ පිළිබඳව පූර්ව නිගමනයන් වලට එළැඹ වැරදි ප්‍රවෘත්ති පළ කිරීම මාධ්‍ය සදාචාරයට ද පටහැනියි. මෙම සිද්ධියේදී රියාජ්  බදුර්දීන් වන මාගේ ස්වාමී පුරුෂයා  සමග පුද්ගලයන් හත්දෙනෙකු එදිනම අත්අඩංගුවට පත්ව ඇති නමුත් මාධ්‍ය මගින් පුන පුනා රියාජ්  බදුර්දීන් ගේ නම පමණක් හුවාදැක්වීම තුළින් පැහැදිලිවම පෙනී යන්නේ එහි දේශපාලන වශයෙන් ක්‍රියාත්මක  බලවේගයන් බවය.  

විශේෂයෙන්ම ඔහුගේ සොයුරු විරුද්ධ මත දරන දේශපාලන පක්ෂයක නායකයෙකු වීම මෙම ප්‍රචාරයන්ට හේතුවූ බව පෙනී යන ප්‍රධාන කරුණු වේ.  මෙම පරීක්ෂණ පිළිබඳව තවමත් කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක මෙම වැරදි පුවත් පළ කිරීම එම පරීක්ෂණ නොමඟ යැවීමට හේතු විය හැක. 

විශේෂයෙන්ම මෙම ලිපි පලකල මාධ්‍ය ආයතන මෙන්ම එම සාවද්‍ය තොරතුර ලියූ මාධ්‍ය වේදීන් ද ප්‍රශ්න කළ යුතුව ඇත. 

මෙවැනි ඉතාම වැරදි තොරතුරු පළ කිරීම තුළින් මට සහ මගේ දස හැවිරිදි දරුවාට මහත් පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත විශේෂයෙන්ම මාගේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි.

 මේ පිළිබඳව ඔබ කොමිෂමේ විශේෂ අවධානය යොමු කර මගේ සහ මගේ පවුලේ මානව අයිතිවාසිකම් රැක දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

මෙයට විශ්වාසී 
පාතිමා ඉෂ්රත්  රියාජ් බදුරුදීන්


Human Rights Commision 850x460 acf cropped
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොකියන කතාව  ! - මොහොමඩ් අලාවුදීන් පසුගිය ඡන්දයට වැඩ කලේ කාට ද ?

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු බදුර්දීන් මොහොමඩ් රියාජ් නැමැත්තා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ ඍජු සබඳතා පැවැත්වූ බව හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පසුගිය 15 දා  මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

theleader.lk  වාර්තා කරන පරිදි සැකකාර රියාජ් බදියුදීන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන මියගිය ඉන්ශාෆ් ඉබ්‍රාහිම් සමග දුරකථන කතාබහක් සිදුකර තිබීමයි.

මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන මියගිය ඉන්ශාෆ් ඉබ්‍රාහිම් ගේ මාමණ්ඩිය වන 'අලව්දීන් ජුවලර්ස්'හි හිමිකාර, මොහොමඩ් අලාවුදීන්,  රිෂාඩ් බද්දුර්දින් ගේ පක්ෂයේ හිටපු ප්‍රධානියකු වන අතර පසුව ඔහු ඉන් ඉවත්ව පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේම කටයුතු කර තිබිණ.

අලව්දීන්ගේ එකම දියණිය වන ෆාතිමා ඉල්හාම් විවාහව සිටියේ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සමගය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුන බෝම්බකරුගේ මාමණ්ඩිය වන කෝටිපති ව්‍යාපාරික අලව්දීන් අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් ගේ පක්ෂයේ සාමාජිකයකු බව කියමින්, එකී බෝම්බ ප්‍රහාරයෙන් පසුව විමල් විරවංශ මන්ත්‍රීවරයා එකල මහත් ඝෝෂාවක් සිදු කළ  අතර එය අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින්ට එරෙහිව ඉදිරිපත් කර තිබු විශ්වාස භංගයේ එක් චෝදනාවක් ද විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න