මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමේ දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් අගමැති කාර්යාලය හරහා මේවනවිට දියත්වෙමින් තිබේ.
ඒ, මැයි මස අවසන් සතියේදී මහ මැතිවරණයක් පැවැත්වීමට කොමිසම හරහා දින නියම කරවා ගැනීම සඳහා ය.
කොරෝනා වෛරසයේ වසංගතකාරී තත්වය නිමාවී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් ගෙන් හා ආරක්ෂා ප්‍රධානි ගෙන් ප්‍රකාශන ලබාගනිමින් ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් දෙන්නයි අගමැති කාර්යාල ගෙන් ආණ්ඩුවේ හා ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය ආයතනවලට උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.
ඇතැම් ජාතික පුවත්වල පුවතේ අන්තර්ගතයට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ආණ්ඩුවට වාසිදායක ප්‍රචාරක සිරස්තල පලවන්නේ එ අනුව බවද පැවසේ.
මහමැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම අප්‍රේල් 20 වැනිදා රැස්වීමට නියමිත අතර අගමැති කාර්යාලයේ මෙහෙයුම දියත් වන්නේ එහිදී ආණ්ඩුවට වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහාය.
අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (18) වෙත නිකුත්කල මාධ්‍ය නිවේදනය ද මැතිවරණ කොමිසමට බලපෑම් කිරීම සඳහාම නිකුත් කරනු ලැබුවක් බව පෙනේ.
තීරණය ගැනීම කොමිසම මතම පවරා අත් සෝදා ගැනීම !
එසේ මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් සිටින අරලියගහ මන්දිර කණ්ඩායම, තමන්ට හිතවත් සමාජ මාධ්‍ය ඔස්සේ පවසන්නේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන තීරණය අනුව කටයුතු කරනවා මිස ආණ්ඩුවට කැමති ආකාරයකට තීන්දු තීරණ ගත නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ ගේ අදහස බවයි.
කවුරුන් කෙසේ කීවද මැතිවරණ නීතියට පිටින් කටයුතු කළ නොහැකි නිසා මැතිවරණ කොමිසම ගන්නා තීන්දු තීරණ අනුව රජය කටයුතු කරනවා යැයි අගමැතිවරයා පවසන බව 'ලංකා සී නිව්ස්' වාර්තා කර ඇත.
ඇතිවන භයානක විපාකවලට තනිවම මුහුණ දිය යුත්තේ කොමිසමයි
අප්‍රේල් 1 වැනිදාටත් වඩා අද වසංගතය තීව්‍රරය. ව්‍යාප්තය. අවසානයක් නොපෙනෙනසුලූය.
'අනිද්දා' පුවත්පතේ කර්තෘ, නීතිඥ කේ ඩබ්ලිව් ජනරන්ජන anidda.lk හි සඳහන් කර ඇති පරිදි, මේ මොහොතේ, මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කිරීම බෙහෙවින් අසීරු දෙයකි.
ඒ සම්බන්ධයෙන් ඔහු විසින් පළකර ඇති සටහනේ මෙසේ සඳහන් වේ.
''ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපන්නාහේ ජනාධිපතිරයාත් ආණ්ඩුවත් හදන්නේ, ඒ අසීරු තීරණය ගැනීම කොමිසම මතම පවරා අත් සෝදා ගැනීමටය. එවිට, ඉන් ඇතිවන භයානක විපාකවලට තනිවම මුහුණ දිය යුත්තේ කොමිසමයි. වගකිව යුත්තේ කොමිසමයි. කොමිසමේ සාමාජිකයන් තිදෙනායි.
20 වැනිදා කොමිසම ගන්නා තීරණය, ඒ පසුබිම මත සලකා බලා ගතයුත්තකි.
අප්‍රේල් 1 වැනිදා, ජනාධිපතිවරයාට යැවූ ලියුම පරිදිම, මැයි මස අවසන් සතිය වනතුරු මහමැතිවරණය පැවැත්විය නොහැකි බවට වූ සිය පූර්ව නිරීක්‍ෂණයේ නොසිටීමට හේතුවිය හැකි කාරණා කිසිවක්, මේ වන තෙක් කොමිසමට ඇතිවී නැත.
අප්‍රේල් 1 වැනිදාටත් වඩා අද වසංගතය තීව්‍රරය. ව්‍යාප්තය. අවසානයක් නොපෙනෙනසුලූය.
''අප්‍රේල් 1 වැනිදා, ජනාධිපතිවරයාට යැවූ ලියුම පරිදිම, මැයි මස අවසන් සතිය වනතුරු මහමැතිවරණය පැවැත්විය නොහැකි බවට වූ සිය පූර්ව නිරීක්‍ෂණයේ නොසිටීමට හේතුවිය හැකි කාරණා කිසිවක්, මේ වන තෙක් කොමිසමට ඇතිවී නැත. ''
එවැනි පසුබිමක, මහමැතිවරණයක් පැවැත්විය නොහැකි බව ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය ගැන සුළු හෝ අදහසක් තිබෙන ඕනෑම කෙනකුට පැහැදිලිවනු ඇත.
එය නිදහස් හෝ සාධාරණ මැතිවරණයක් නොවනු ඇතිවා පමණක් නොව, ජනතාවට අත්‍යන්තයෙන්ම මාරාන්තිකද විය හැකිය.
‘උදාහරණයක් හැටියට, ඡන්ද සහ මනාප ගණන් කිරීම ගැන විතරක් ගන්න. එක පන්ති කාමරයක, කී දෙනෙක් දවස් ගාණක් පොරකනවාද? මනාපවලට පක්‍ෂ අතරේ විතරක් නෙවෙයි පක්‍ෂ ඇතුළේත් තියෙන පොරය දන්නවා නේද? පක්‍ෂ නියෝජිතයෝ එක එකාගෙ ඇඟ උඩ නැගගෙනයි ඒ පන්ති කාමර ඇතුළේ ගණන් කිරීමට ඔළුව දාගන්නේ. ඒ වගේ දෙයක් මේ වසංගතය ඇතුළේ කරන්න කියලාද මේ කියන්නේ?’ පක්‍ෂ නියෝජිතයකු හැටියට ඡන්දවලට සහභාගිවී ඇති නීතිඥ මහතෙක් ලියුම්කරුගෙන් ප්‍රශ්න කෙළේය.
දකුණු කොරියාවේ මහමැතිවරණය:
ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩු ගැති පෞද්ගලික මාධ්‍ය මේ දිනවල මවා පෙන්වන්නට හදන්නේ, ඉතා දියුණු දකුණු කොරියාවේ මහමැතිවරණය වසංගතය මැද පැවැත්වුණ ආකාරයයි. ඒ ගැන කදිම තොරතුරු රූපසටහනක් අප්‍රේල් 18 වැනිදා ඬේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළකර තිබුනි.
# ඒ අනුව, ඡන්දපොළට ඇතුළු වීමට පෙර ඡන්දදායකයා විෂබීජ නාශකවලින් අත් සෝදාගත යුතුය. අත්වැසුම් යුගලක් පළඳාගත යුතුය. මුහුණු ආවරණයක් පළඳාගත යුතුය. ඒවා ඡන්දපොළ ප්‍රවේශයේ තබා තිබේ. ඡන්ද පොළට ඇතුළු වන සෑම ඡන්දදායකයකුගේම ශරීර උෂ්ණත්වය, ඉලෙක්ට්‍රොනික මානයක් මගින් මනියි.
# උෂ්ණත්වය අංශක 37.5ට අඩු නම්, ඡන්දදායකයාට පොදු ඡන්ද ශාලාවට එකතු විය හැකිය. එහිදී මීටරයක පරතරය ඇතිව ඡන්දාදායකයන් පෙළ ගැසී සිටිය යුතුය. අනන්‍යතාව තහවුරු කරගැනීමට මුඛාවරණය තාවකාලිකව ඉවත් කෙරේ. තමාගේ ඡන්දය ලකුණු කර පෙට්ටියට දැමීමට හැකිය.
# උෂ්ණත්වය 37.5ට වැඩි නම්, ඡන්දදායකයා විශේෂ කාමරයකට යායුතුය. ඡන්දදායකයා හැඳුනුම්පත ඡන්ද ලිපිකරුට ඉදිරිපත්කර තහවුරු කරගැනීමේ පෝරමයක් පිරවිය යුතු වේ. හැඳුනුම්පත හා පෝරමය ඡන්ද ලිපිකරු විසින් ඡන්ද නිලදාරියකුට දෙනු ලබයි. හැඳුනුම්පත තහවුරු කරගන්නා ඡන්ද නිලධාරියා, ඡන්ද පත්‍රිකාව සහිත කඩදාසි කවරයක් ඡන්ද ලිපිකරුට දෙයි. ඡන්ද ලිපිකරු, නිරීක්‍ෂකයකු ඉදිරියේදී, ඡන්ද පත්‍රිකාව සහිත එම කවරය ඡන්දදායකයාට දෙයි. ඡන්දදායකයා ලකුණු කළ පසු, ඡන්ද ලිපිකරු ඡන්ද පත්‍රිකාව සහිත කවරය නිරීක්‍ෂකයකු ඉදිරියේදී ඡන්ද නිලධාරියාට දෙයි. නිලධාරියා, නිරීක්‍ෂකයකු ඉදිරියේ කවරය ඡන්ද පෙට්ටියට දමයි.
දකුණු කොරියාව වැනි දියුණු, පාරදෘශ්‍ය හා සංවිධිත රාජ්‍ය පාලන ක්‍රියාවලියක් සහිත රටක් ඒ තරම් ආරක්‍ෂා සහිත වන විට, වසංගත කාලයක ලංකාවේ මහමැතිවරණයක් ගැන ඇඳෙන අඳුරු චිත්‍රය කුමක් වැනිද? නිසැකවම එය මේ වන විටත් වසංගතයෙන් පැත්ත වැටී සිටින ජනතාවට එල්ල කරන මරු පහරක් වනු ඇත්තේය.
හදිසි මහමැතිවරණයෙන් පසුව අපට ඉතිරිවන්නේ,
1- ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩි බලය සහිත පාර්ලිමේන්තුවක් සමග රට පුරා පැතිර ගිය ලෝකයේ දරුණුම වසංගතයක්, ගුණනය වන මරණ අනුපාතිකයක්, රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආසාදිතයන් සංඛ්‍යාවක්,
2 - දින නියමයක් නැතිව වසා දැමෙන රටක්,
3 - යළි ගොඩනගා ගත නොහැකි ආර්ථිකයක්, නම්.....
ඒ මහා විනාශයට වගකීම මැතිවරණ කොමිසම භාරගන්නට සූදානම්ද?
හැරත්, කිසිම අවුලක්, ව්‍යවස්ථා උල්ලංඝනයක් නැතිව, මහමැතිවරණය කල් දමා, රටේ මිනිස් සම්පත ආරක්‍ෂා කරගෙන මේ අසීරු අවස්ථාව පියමං කළ හැකිව තිබියදීත්, අහංකාර පාලකයන්ගේ බල තණ්හාව වෙනුවෙන් මහජනතාව බිලිදීමේ වගකීම කොමිසම තනිව භාරගත යුතුද?
''කිසිම අවුලක්, ව්‍යවස්ථා උල්ලංඝනයක් නැතිව, මහමැතිවරණය කල් දමා, රටේ මිනිස් සම්පත ආරක්‍ෂා කරගෙන මේ අසීරු අවස්ථාව පියමං කළ හැකිව තිබියදීත්, අහංකාර පාලකයන්ගේ බල තණ්හාව වෙනුවෙන් මහජනතාව බිලිදීමේ වගකීම කොමිසම තනිව භාරගත යුතුද?''
තමන්ගේ නම් ඉදිරියෙන්, රට විනාශයට ගෙනගිය පුද්ගලයන් තිදෙනා හැටියට සටහන් වන අනාගතය ජීවිතයක් බාරගැනීමට කොමිසමේ සාමාජිකයන් සූදානම්ද? දැන දැන රටේ මහජනතාව මරණයට පත්කිරීම සඳහා හේතු වන තීරණ ගත්තේයැයි කියන අපරාධ චෝදනාවන්ට අනාගතයේ ලක්වී, ජීවිතයම උසාවිවල ගතකරන්නට ඔවුන් සූදානම්ද?
(උපුටා ගැනීම : ද ලීඩර් )

