නිවැරදි කළ නොහැකි වරදක් ගැන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය මැකෝට ලියයි !

නිවැරදි කළ නොහැකි වරදක් ගැන  සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය මැකෝට ලියයි !

පවතින කොරෝනා වසංගත තත්වය පාලනය කර ඇතැයි වැරදියට අර්ථකතනය කර එයට අනුව ප‍්‍රතිපත්ති තීරණ ගැනීම නැවත නිවැරදි කළ නොහැකි වරදක් වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය මැතිවරණ කොමිසමේ සභාපති  වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

 මේ වනවිට රට තුළ ඇතිවෙතැයි සාකච්ඡා වෙන ව්‍යස්ථා ගැටලුව හා covid-19 වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සිදුකරන ලද සමාලෝචනය මත පදනම්ව මෙම ලිපිය එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාරගේ අත්සන සහිතව මැතිවරණ කොමිසමේ සභාපති  වෙත යොමු කර ඇත.

එහිදී මෙම ලිපිය මගින් කියා ඇත්තේ විශාල වශයෙන් ආසාදනයට පත්වන හා මරණයට පත්වන රෝගීන් සිටින රටවලට සාපේක්‍ෂව අප රට සතුටුදායක තත්වයක පවතින බවත් නමුත් ඉදිරි මැතිවරණයකට සූදානම් වන්නේ නම් එවැනි තත්වයක් තුළ මෙතෙක් කලක් සියලු ජනතාව දැඩි පීඩනයක් සහිතව කැපවීමෙන් පාලනය කරගත් covid-19 වෛරසයේ ව්‍යාප්තිය කිසිසේත් නතර කළ නොහැකි බවත් ය. 

එබැවින් දැනට ව්‍යවස්ථාවේ තිබෙන නියමයන්ට අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවා නැවත සැප්තැම්බර් මාසයෙන් පසු මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කටයුතු කරන ලෙස මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සම්පූර්ණ ලෙස පහතින් පලකර ඇත.

  1. 04. 14

මහින්ද දේශප‍්‍රිය මහතා

සභාපති,

මැතිවරණ කොමිසම,

මැතිවරණ මහලේකම් කාර්යාලය,

නො. 02 සරණ මාවත,

රාජගිරිය.

සභාපතිතුමනි,

#කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය සහ ව්‍යවස්ථා ගැටළුව සබුද්ධිකව විසඳා ගැනීම.

උක්ත මාතෘකාව සම්බන්ධව අප සංගමය විසින් කරන ලද සමාලෝචනය මත පදනම්ව සකස් කරන ලද අදහස් සහ යෝජනා මේ සමග අමුණා ඇත. මැතිවරණය පිළිබඳව තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සළකා බලන මෙන් කාරුණිකව ඉල්ලමු.

ස්තුතියි.

මෙයට,

වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ලේකම්,

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

පිටපත් – ( කා දැ පි)

  1. ලේකම් – ජනාධිපති ලේකම් කාර්යාලය
  2. ලේකම් – අග‍්‍රාමාත්‍ය කාර්යාලය
  3. සෞඛ්‍ය අමාත්‍යතුමිය
  4. ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය
  5. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
  6. රජයේ වසංගත රෝග විද්‍යායතනය
  7. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ක්‍ෂුදා ජීවවිද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
  8. මැතිවරණ කොමිසමේ සියළුම සාමාජිකයන්
  9. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකයන්
  10. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
  11. සෞඛ්‍ය සේවයේ සියළු වෘත්තීය සමිති
  12. ජනමාධ්‍ය

********************************************

  1. 04. 14

කොවිඩ් – 19 වසංගතය සහ දේශපාලන ගැටළුව සබුද්ධිකව විසඳා ගැනීම

  1. වත්මන් දේශපාලන ගැටළුව

* 2015 සැප්තැම්බර් 01 දින ස්ථාපිත කල ශ‍්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 15වන පාර්ලිමේන්තුව ව්‍යාවස්ථානුකූලව සිය වසර 5 අවසානයේ 2020 සැප්තැම්බර් 01 දින අහෝසි වීමට නියමිත විය.

* 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල භාවිතාකර ඔහු විසින් 2020 මාර්තු මස 2 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි (හෙවත් ව්‍යවස්ථානුකූලව අහෝසිවන දිනට මාස හයකට පෙර) පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

* ඉන්පසු ජනාධිපතිවරයා විසින් 2020 අප්‍රේල් 25 මහ මැතිවරනය පැවැත්වීමට සහ 16වන පාර්ලිමේන්තුව 2020 මැයි 14 රැස්විය යුතු බවට දින නියම කරන ලදී.

* මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ඇති වගකීම අනුව එම කොමිසම විසින් 2020 මාර්තු 11-19 අතර කාලය තුල නාමයෝජනා කැඳවීය. ව්‍යවස්ථානුකූලව, පාර්ලිමේන්තුව විසිරුවා දින 45ක් සහ මාස තුනක් අතර නව පාර්ලිමේන්තුව රැස්කල යුතු බැවින් මහ මැතිවරණය ඊට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටී.

* ඒ අනුව 2020 මැයි අගවනවිට මහ මැතිවරණය පැවැත්විය යුතුය. එහෙත් රටේ පවතින සුවිශේෂි තත්වය හේතුවෙන් මහ මැතිවරණයකට සූදානම් වීම අපහසු බව තීරණය කල මැතිවරණ කොමිසම යෝජිත අප්‍රේල් 25 දින මහ මැතිවරණය නොපැවැත්විය හැකි බවත් ඉන්පසු එළඹෙන දින 14කින් පසු දිනයක් මහ මැතිවරණය පවත්වන දිනය ලෙස ප්‍රකාශයට පත්කරන බවත් 2020 මාර්තු 21 දින ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කලේය.

* වසංගත තත්වය තුල මැතිවරණයකට නිසි පරිදි සූදානම් වීමේ හැකියාවක් නොමැති බවත් ඒ අනුව මැයි අග මැතිවරණය පැවැත්වීමේ වාතාවරනයක් නොමැති බවත් එබැවින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් තුල නව පාර්ලිමේන්තුව පිහිටුවීමට නොහැකිවනු ඇතිබවත් ඒ හේතුවෙන් මතුවන ව්‍යවස්ථා ගැටළුව නිරාකරණය කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසත් 2020 මාර්තු 31 සහ 2020 අප්‍රේල් 01 දාතමින් යුත් ලිපි දෙකකින් මැතිවරන කොමිසම ජනාධිපතිවරයාට දැන්වීය.

* ජනාධිපති ලේකම් විසින් මැතිවරන කොමිසමට පිළිතුරු ලිපියක් එවමින් 2020 මැයි 28 දින හෝ ඊට පෙර මැතිවරණය නොපැවැත්විය හැකි බවට ප්‍රකාශ කිරීමට දැනට පවතින තත්වය අනුව නොහැකි බවත් මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමේ වගකීම මැතිවරණ කොමිසමට පැවරී ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් කලේය.

* මැතිවරණය පැවැත්වීම සහ පාර්ලිමේන්තුව රැස් කිරීම කල්ගතවන විට මතුවන ගැටළු අතර ප්‍රජාතන්ත්‍රදී මූලධර්මවලට අනුව ව්‍යවස්ථානුකූලව රාජ්‍යය පවත්වාගෙන යාමට ජනතාවට ඇති අයිතියට බාධාවීම, රාජ්‍ය වියදම් අනුමතකර ගැනීමට නොහැකි වීම සහ අත්‍යවශ්‍ය අනපනත් සම්මතකර ගැනීමට නොහැකිවීම ප්‍රධාන වේ. පසුගිය පාර්ලිමේන්තුව මගින් අනුමත කල අයවැය වලංගුවන්නේ මෙම අප්‍රේල් 30 දක්වා පමණි. ඒ අනුව පාර්ලිමේන්තුවක් පිහිටුවීම අත්‍යවශ්‍යය.

මෙම ව්‍යවස්ථා සහ මූල්‍ය අර්බුදයන් වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග දෙකක් ඇත.

  1. i. එළඹෙන මැයි මස මහමැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුවක් ජුනි 02 හෝ ඊට පෙර පිහිටුවීම.
  2. ii. පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීම.

උචිතම ක්‍රියාමාර්ගය තෝරා ගැනීමේදී ලෝකයත් අප රටත් වෙලාගත් වසංගතයේ ස්වභාවය අවබෝධකර ගැනීම අත්‍යවශ්‍යය.

  1. ශ්‍රී ලංකාවේ #කොවිඩ් – 19 ව්‍යාප්තිය – වර්ථමානය සහ අනාගතය

ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයින්ට අනුව #කොවිඩ් – 19 වෛරසය ලෝක ප්‍රජාව තුල අවම වශයෙන් තවත් වසර ගණනාවක් හෝ ඇතැම්විට දශක ගණනාවක් පවතිනු ඇත. ගතවූ සියවස් කීපයේ මේ ආකාරයට සමාජයට එක්වූ වෛරස් ඇතුළු ක්ෂුද්‍ර ජීව වසංගතවලින් මුලිනුපුටා දැමීමට හැකිවූයේ වසූරිය පමණි. ඒ අනුව අප රටින්ද මෙම වසංගතය මුලිනුපුටා දැමීමක් අවම වශයෙන් තවත් වසර ගණනාවක් ගතවන තෙක් බලාපොරොත්තුවිය නොහැක. අපට කල හැක්කේ එහි සෞඛ්‍ය, සමාජ-දේශපාලනික සහ ආර්ථික බලපෑම් අවමකර ගැනීමය. ඒ සඳහා, විද්‍යාත්මකව පිලිගත් උපායමාර්ග සමූහයෙන් සබුද්ධිකව තෝරාගත් උපායමාර්ග එකතුවක් අවස්ථානුකූලව හා ඵලදායීව යොදාගැනීම කල යුතුවේ.

අප රටින් 2020 ජනවාරි 27 සොයාගත් චීන ජාතිකයකු වූ පළමු ආසාධිතයා මගින් රෝග ව්‍යාප්තියක් සිදුවූ බවට තවම සාක්ෂි සොයාගත නොහැකි වූ අතර රටතුලදී ආසාදිත වූ පළමු රෝගියා වාර්ථාවූයේ මාර්තු 11ය. එතැන් සිට අප්‍රේල් 13 දක්වා රෝගීන් 217ක් සොයා ගැනුනු අතර ඉන් 7 දෙනෙකු මරණයට පත්විය. රෝගීන් විශාල වශයෙන් වාර්තාවන සහ මරණයට පත්වන රටවල් කීපය සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ මෙම තත්වය ප්‍රශංසනීය වේ. මෙය සතුටුදායක වුවද ශ්‍රී ලංකාව වසංගතය හොඳින් පාලනය කර ඇතැයි යනුවෙන් වැරදියට අර්ථකතනයකර ඒ අනුව ප්‍රතිපත්ති තීරණ ගැනීම, නැවත නිවැරදිකල නොහැකි බරපතල ව්‍යසනයකට මග පාදනු ඇත.

* වසංගතයක අවධි කීපයකි. පළමුවෙන්ම කිසිදු ආසාදිතයකු නොමැති අවස්ථාවය (none). එවැනි ජනසමාජයකට ආසාදිතයකු හෝ කීප දෙනෙකු ඇතුළුවීම දෙවනි අවස්ථාව වේ (sporadic). තෙවනුව එම ආසාදිතයින් ලගින් සිටි පුද්ගලයින්ට රෝගය බෝවේ (clusters). සිව් වෙනුව එය සමස්ථ සමාජය පුරා පැතිරීම සිදුවේ (community). තෙවන අවධියේ සිට සිව්වන අවධියට එළඹ ඇතැයි සැක කෙරන්නේ යම් රෝගියකුට ආසාදනය වැලදුනේ කාගෙන්දැයි නිශ්චිතව හඳුනා ගැනීමට අපහසු වූ විටය. ශ්‍රී ලංකාවේ සාමාජය පුරා පැතිර යාමක් නොපෙන්වුද රෝග වාහකයා කවුරුන්දැයි නිශ්චයකර ගැනීමට නොහැකි වූ රෝගීන් කීප දෙනෙකු හමු වී ඇත.

* ඉහත සඳහන් අනුපිලිවෙලට යම් රෝගයක් ව්‍යාප්තවන්නේ ඒ ඒ අවධියේ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ විශේෂිත පියවර ප්‍රමාණවත් පරිදි නොගෙන සිටියහොත් සහ සමාජය සුපුරුදු සංයුතියෙන්, ඝනත්වයෙන් සහ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුවහොත්ය. පසුගිය කාලය තුල ශ්‍රී ලංකාව යම් ප්‍රමාදයන් සහ අඩුපාඩු සහිතව හෝ ඒ ඒ අවධියට අදාල නිශ්චිත පියවර ගනු ලැබීය. න්‍යායාත්මකව, අදාල උපායමාර්ග ඵලදායී වුවද ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් පලමු, දෙවන, තෙවන අවධීන් පසුකර සිව්වන අවධියේ මුලට ක්‍රමිකව පැමින ඇත. මේ දක්වා අනුගමනය කල උපායමාර්ග අතර කැපී පෙනන පියවරයන් වන්නේ යම් ආසාදිතයින් පිිරිසක් ඇතුළු වූ පසු දේශ සීමාව වසා දමා ගෝලීය ප්‍රජාවෙන් (global community) ලාංකික ප්‍රජාව වෙන්කර නව ආසාදිතයින් රටට ඇතුළු වීම නවතා දැමීමත් රටතුල සිටි ප්‍රජාව තුලට මහා පරිමානයෙන් රෝගය ව්‍යාප්තවීමට පෙර ඇඳිරි නීතිය පනවා ජනප්‍රජාව එහි සුපුරුදු ඝනත්වයෙන් සහ සංචරණයෙන් ඉවත්කර පවුල් ඒකක ලෙස එකිනෙකා ඈත්කර තැබීමය (disintegration and distancing of community). මෙම උපායමාර්ග හේතුවෙන්, රටට ඇතුළු වූ ආසාදිතයින්ගෙන් තවත් රාශියකට පැතිරීම අවම කිරීමටත් ආසාදිතයින් හඳුනා ගැනීමත් ආසාදිතවීමේ ඉඩ ඇති පුද්ගලයින් වෙන්කර නිරීක්ෂනය කිරීමත් අවශ්‍ය පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමත් මිය ගිය පුද්ගලයින් නිසි පරිදි ආදාහනය කිරීමත් සාපේක්ෂව පහසු කාර්යයක් බවට පත් කරගත්තේය.

* මෙහිදී විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කරුන වන්නේ නිතර ඒකරාශීවන සහ සංචරනය වන සුපුරුදු ලාංකික ‘සමාජය’ ඇඳිරි නීතිය හේතුවෙන් දැනට නොමැතිබව සහ උග්‍ර සමාජ ව්‍යාප්තියක් දක්නට නොලැබෙන්නේ ඒ හේතුවෙන් බවත්ය. අප රටේ සමාජයට #කොවිඩ් – 19 වෛරසය කුමක් කරනු ඇතිදැයි නිශ්චිතව දැන ගත හැක්කේ ඇඳිරි නීතිය හා ඒ ආශ්‍රිත නියාමයන් මුළුමනින් ඉවත්කර සාමාන්‍ය සමාජය නැවත ස්ථාපිත කර එය ගෝලීය සමාජයටද විවෘත කලහොත් පමනි. නිසි සූදානමකින් තොරව එවැන්නක් සිදු කිරීම මාරාන්තික අත්හදා බැලීමක් වනු ඇත.

* මුල් කාලයේ රෝග නීර්නයට යොදාගත් පටු සායනික උපමානවලට හසු නොවූ ආසාදිතයින් විශේෂයෙන්ම රෝග ලක්ෂන නොපෙන්වන හෝ සුළු ලක්ෂණ සහිත වූවන් සමාජය තුල මුල් කාලයේ සැරි සරන්නට ඇත. සෙම පරික්ෂාවන්ද සිදුවූයේ ඉතා සීමිත පිරිසකගේ පමනි. එමෙන්ම හඳුනාගත් රෝගීන් ලගින් සිටි පුද්ගලයින් සියල්ල නිවැරදිව හඳුනාගැනීම ප්‍රායෝගිව දුෂ්කර බැවින් නිසි ආසාදිතයින් සියල්ල නිරෝධායනට ලක් නොවුනු බවට සැකකල හැක. #කොවිඩ් – 19 රෝගීන්ට එරෙහිව පැතිරවූ චෝදනාත්මක සහ අපහාසාත්මක මනෝභාවය සහ ඇඳිරි නීතිය මගින් රෝහල්වලට පැමිනීමට සිදුවූ අපහසුකම් මත රෝග ලක්ෂණ උග්‍ර නොවූ රෝගීන් රෝහල් වලට නොපැමිනෙන්නට ඇත. මේ කරුනු අනුව පෙනී යන්නේ ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් නිරීක්ෂණයට ලක් නොවී රටතුල සිටිය හැකි බවය.

* එබැවින් සාමාන්‍ය සමාජය නැවත ස්ථාපිතවන සහ ක්‍රියාත්මකවන තත්වයක් ඉදිරි මාස කීපය තුල ඇතිවුවහොත් රෝග ව්‍යාප්තිය අනිවාර්යයෙන්ම උග්‍රවන බව පුරෝකතනය කල හැක.

* සමාජය සාමාන්‍ය පරිදි නැවත ස්ථාපිතකර ක්‍රියාත්මක වනවිට ඇතිවිය හැකි කොවිඩ් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා සුදුසු ශක්තිමත් වැඩපිලිවෙලක්ද තවම සංවිධානය වී නැත. ක්ෂේත්‍රය තුල රෝග නිවාරනයේ යෙදෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (මිලියන 21.4 වූ ජනගහනයට සාපෙක්ෂව සිටින) සුළු පිරිසට පසුගිය කාලයේ #කොවිඩ් – 19 නිවාරන කටයුතු හොදින් කිරීමට හැකිවූයේ ඇදිරි නීතිය මගින් මහජනතාව නිවාස ඒකකවල රඳවා තැබූ හෙයිනි. ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව වෛරස පීසීආර් පරික්ෂාව සිදුවන්නේද ඉතා අවම මට්ටමකය. උදාහරණයක් ලෙස, අද වනවිට දකුණු කොරියාවේ ජනගහනයෙන් 100 කින් එක් අයකු පරික්ෂාවට ලක් කෙරුනද මෙරට එම අගය 4740 කට එක් අයකු වේ. සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ආරක්ෂාවට ඇති ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උපකරණ සහ ඇඳුම් පවතින්නේ ඉතා සුළු ප්‍රමාණයකි. උග්‍ර ව්‍යාප්තියක් ඇති #කොවිඩ් – 19 වැනි රෝගයකින් පෙලෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් සකස්කර ඇති එකම රෝහල වන්නේ අයිඩීඑච් රෝහල පමණි. මේ අතර තවත් රෝහල් කිහිපයක් සාමාන්‍ය සේවා වලින් ඉවත්කර #කොවිඩ් – 19 ප්‍රතිකාර සඳහා යොදවා ගනු ලැබූවද ඒවා වෛරස ව්‍යාප්තිය සඳහාම විධිමත්ව සකස්කළ ඒවා නොවන බවද කිව යුතුය . වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් #කොවිඩ් – 19 රෝගීන් බහුල වුවහොත් මෙරට #කොවිඩ් – 19 නිවාරන සහ ප්‍රතිකාර සේවාවල පවතින දුර්වලතාවය වඩාත් පැහැදිලිව ඉස්මතු වනු ඇත.

* මෙවැනි තත්වයක් තුල ඉදිරි මාස කීපය තුල මැතිවරනයක් පැවැත්වුවහොත් මෙතෙක් කාලයක් දැඩි පීඩනයකට ලක්වෙමින් කැපවීමකින් සමස්ත සමාජය බලාපොරොත්තු වූ #කොවිඩ් – 19 වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම කිසිසේත්ම කළ නොහැකි වනු ඇත.

එසේ වන්නේ මැතිවරණ සමය තුළ,

* සමාජ දුරස්ථකරණය ප්‍රායෝගික නොවීම, ආසාදිතයින් සහ සැක සහිත පුද්ගලයින් හඳුනා ගැනීම සහ සමාජයෙන් වෙන්කිරීම දුෂ්කර වීම

* සමාජය වගකීම් විරහිත මෙන්ම එකිනෙකා අතර මතවාදී බෙදීම්වලට සහ ඇතැම් විට කායික ගැටුම්වලට යොමුවීමෙන් සමාජයේ හා ප්‍රතිපත්ති තීරකයින්ගේ අවධානය #කොවිඩ් – 19 පාලනයෙන් ගිලිහීම

* මැතිවරණ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සේවාවන් ආරම්භ කිරීමට සිදුවීම හා එ්වා #කොවිඩ් – 19 වසංගත මර්දනයට ඉලක්ක ගත නොවීමට ඇති ඉඩ සහ

* රජය විසින් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අනිවාර්යෙන් වෙන්කළ යුතු මුදල් මැතිවරණයට වියදම් කිරීමට සිදු වීම වැනි කරුණු මතය.

  1. #කොවිඩ් – 19 පාලනයට බාධා නොකර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීමට ශ්‍රී ලංකාවට ගතහැකි සාර්ථකම පියවර.

* ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 / 7 , 148 , සහ 150 / 3 යන වගන්තීන්ට, අනුකූලව ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව අත්හිටවූ පාර්ලිමේන්තුව නැවත කැඳවීම හා එය කොවිඞ් පාලන මූලධර්මවලට අනුකූලව රැස්වීම.

* එම පාර්ලිමේන්තුව එහි නිල කාලයවන 2020 සැප්තැම්බර් 01 දක්වා පවත්වාගෙන ගොස් ඉන්පසු එළඹෙන මාස තුන තුල හෙවත් 2020 නොවැම්බර් අග මහමැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව පිහිටුවීම.

* මෙතැන් සිට ගතවන කාලය තුල මැතිවරන කොමිසම, දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂක සංවිධාන සහ වෙනත් වෘතිකයින් විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මෙතෙක් පැවති යල්පැනගිය මැතිවරණ ක්‍රමය වෙනුවට ලෝකයේ දියුණු මැතිවරණ ක්‍රම සැලකිල්ලට ගත්, වසංගත වැනි ඕනෑම දුෂ්කර අවස්ථාවන්හිදී ක්‍රියාවේ යෙදවිය හැකි, 21වන සියවසට ගැලපෙන, වියදම් අවම, පුද්ගල ගැටුම් අවම, පුද්ගල ප්‍රතිරූප වෙනුවට ප්‍රතිපත්තිමය ප්‍රවේශයන්ට ඉඩලැබෙන, ඵලදායි නව මැතිවරණ ක්‍රමයක් සැලසුම් කිරීම. එවැනි දියුණු ක්‍රමයක් කඩිනමින් සැලසුම් කිරීමට හැකි වුවහොත් ඒ අවස්ථාවේ පවතින #කොවිඩ් – 19 වසංගතයේ ගතිකත්වය සහ පාලන උපායමාර්ගවල ශක්තිමත් බවද සැලකිල්ලට ගෙන නොවැම්බර් මාසයට පෙර වුවද මහ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න