කොවිඩ් 19 වෛරස වසංගතය අවසන් වන දින වකවානුවක් දැක්වීමට ලෝකයේ සිටින වෛද්‍ය සහ සෞඛ්‍ය විශේෂඥයන් පවා අසමත් වී සිටියදී, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල 2020 මැයි 04 වැනිදා යළි විවෘත්ත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ කිනම් පදනමක් යටතේ දැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රශ්න කර සිටියි.
ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංග වෙත විශේෂ ලිපියක් යොමු කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඉහත ප්‍රශ්න කිරීම සිදුකර ඇත.
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් රටත්, මුළු ලෝකයත් භීතියෙන් ඇළලී ගොස් සිටියදී රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල හදිසියේම යළි විවෘත්ත කිරීමට තීරණය කළේ කිනම් පදනමක් යටතේ කිනම් අයෙකුගේ උපදෙස් සහ නියෝග මත දැයි යන්න පිළිබඳව වහාම කරුණු පැහැදිළි කරන්නැයි ද එහිදී අවධාරණය කර ඇත.
වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය තව දුරටත් පවත්වා ගනිමින් රජය මුළු රටම වසා තබා තිබෙන තත්ත්වය නොතකා විශ්වවිද්‍යාල යළි විවෘත්ත කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන ඇති තීරණය වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිර්දේශවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව සිය ලිපිය මගින් පෙන්වා දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය එම තීරණය අතිශය භයානක බව ද එහිදී පෙන්වාදී තිබේ.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ ජීවිතවල ආරක්ෂාව ගැන නොතකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන ඇති මේ තීරණය ගැන මුළු රටම මවිතයට පත්ව ඇතැයි ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

