සමාජ මාධ්‍යකරුවන් අනීතික ලෙස අත්අඩංගුවට : පොලිසියට චෝදනා !

සමාජ මාධ්‍යකරුවන් අනීතික ලෙස අත්අඩංගුවට : පොලිසියට චෝදනා !

කොරෝනා වසංගතය ගැන සාවද්‍ය පුවත් පළ කළ බවට චෝදනා නගමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින පොලීසිය රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු නොකරන බවට අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් චෝදනා කරයි.

අත්අඩංගුවට ගන්නා  සැකකරුවන් බන්ධනාගාරගත කිරීමේ 'පරම චේතනාවෙන්ම' කටයුතු කරන පොලීසිය ඒ සදහා  'සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත' භාවිතා කරමින් අධිකරණයට කරුණු ගොනු කරන බවයි 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' පවසන්නේ.

එම සංවිධානයේ කැදවුම්කරු සම්පත් සමරකෝන්ගේ අත්සනින් යුතුව අප්‍රේල් 15 බදාදා නිකුත් කර තිබෙන නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ෆේස්බුක් හී 'සිය මතයක්' ප්‍රකාශ කළ රම්සි රසීක්  අප්‍රේල් 9 දා, රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම එහි ආසන්නතම උදාහරණය බවයි.

"රම්සි මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කරමින් පොලීසිය පවසා ඇත්තේ ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත’ යටතේ ඔහුට චෝදනා ගොනු කරන බවය. මෙය පොලීසිය විසින් අදාල සැකකරු බන්ධනාගාර ගත කිරීමේ ‘පරම චේතනාවෙන්ම’ සිදුකරන ලද්දක් බව අපගේ හැගීමය." එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 

Ramzi textකෙසේ නමුත්, රම්සි රසීක් , ජාතීන් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හෝ එවැනි කිසිදු ආකාරයක, අදාල පනත හි කිසිදු වගන්තියක් උල්ලංඝනය වන, කිසිදු ආකාරයක ප්‍රකාශයක්, සිදු කර නොමැති තත්ත්වයක් තුළ 'සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත' පනත භාවිතා කරමින් පොලීසිය විසින් කරුණු ගොනු කිරීමට ගන්නා උත්සාහය අදහස් ප්‍රකාශනයේ සහ භාෂනයේ නිදහසට පොලීසිය විසින් හිතාමතාම එල්ල කරනු ලබන ප්‍රබල පහරක් බව සම්පත් සමරකෝන් සිය නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දී තිබේ.

එසේම භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස වැනි මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඇති නීතිමය ප්‍රතිපාදනයක් වන 'සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත' පොලීසිය විසින් එසේ අවභාවිත කිරීම ද   'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය'  දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ අවධානය:

අප්‍රේල් මස 9 දින පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කවුන්සිලයේ,  නොනිල සැසිවාරය අමතා කළ සිය අදහස් දැක්වීමෙහි දී, එහි මහ කොමසාරිස්වරිය විසින් ප්‍රකාශ කරන ලද පරිදි  "මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා සීමාවන් පැනවීමට ගත් පියවර ගැන ද මම සැලකිලිමත් වෙමි.  'වැරදි තොරතුරු' යැයි චෝදනා කැරෙන ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි ලෙස සකස් කරන ලද ක්‍රියාමාර්ග ඕනෑම විවේචනයක් මර්දනය කිරීම සඳහා යොදා ගත හැකිය." යන්න ශ්‍රී ලංකාවෙහි දී ක්‍රියාවට නැගෙමින් තිබීම ගැන 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' සිය නිවේදනය මගින්  කණස්සල්ල පල කර තිබේ.

පවතින අතිදුෂ්කර වසංගත තත්ත්වයක් හමුවේ වුව ද,  ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශණයේ  නිදහස ඇතුලු මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, දේශීය සහ අන්තර් ජාතික වශයෙන් බැදී සිටින ආණ්ඩුවක් නම් මේ පිළිබද සිය දැඩි අවධානය යොමුකර, එම සියලු සිදුවීම් වලට 'සාධාරණය සහ යුක්තිය' ලබා දිම සදහා නොපමාව මැදිහත් වී, නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුලු ආයතන ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැදී සිටින ආයතන බවට ප්‍රායෝගිකව පෙන්වන ලෙස එම සංවිධානය තව දුරටත් රජයෙන් ඉල්ලා තිබේ.

සාවද්‍ය පුවත්, වෛරී ප්‍රකාශන ඇතුලු අගතිගාමී අන්තර්ගතයන් වලට එරෙහි මෙන්ම ඒවාට ප්‍රතිවිරුද්ධව, සත්‍ය තොරතුරු සහ දත්තයන්, සමාජ වගකීමකින් යුතුව ප්‍රකාශ කිරීමට හා බෙදාගැනීමට උනන්දුවන සහ සමාජ වගකීමකින් යුතු සත්‍ය තොරතුරු බෙදාගැනීමට සිය පරිශිලකයින් උනන්දු  විය යුතුය යන සථාවරය දරන  'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' සිය නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ.

රුපවාහිනී වෛරය:

රූපවාහීනි මාධ්‍ය තුළ එසේ සිදුකරන වෛරී, අසත්‍ය සහ ජනතාව නොමගයවන ප්‍රකාශයන්ට විරුද්ධව, පොලීසිය ඇතුලු ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගනිමින්,  'නිහඩ' පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබදවත් සිය සංවිධානය  දැඩි අවධානයක් යොමු කර තිබෙන බවයි.

පවතින තත්ත්වය තුළ,  කිසියම් පුරවැසියෙක් විසින්, ශ්‍රී ලංකාවේ මූළික නීතිය උල්ලංඝනය කරමින් කිසියම් හෝ නීත්‍යානුකූල නොවන ක්‍රියාවක්, අදහසක් ක්‍රියාත්මක කර ඇත්නම් ඔහුට හෝ ඇයට විරුද්ධව පවතින 'සාමාන්‍ය නීතිය' යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබද අපගේ විරෝධයක් නොමැති අතර, එම අත්අඩංගුවට ගැනීම් තුළින් ‘අදහස් ප්‍රකාශ කරන පරිශීලකයන්’ බියවැද්දීමේ හැගවුම් සහ ප්‍රවණාතාවයන් පෙන්නුම් නොකළ යුතු බව  'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ'  අදහසයි.

එහිදී, අත්අඩංගුවට ගැනීම් තුළින් අදහස් ප්‍රකාශ කරන පරිශිලිකයන් බියවැද්දීමට උත්සහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට එල්ලකරන ප්‍රභල පහරක් වනු ඇති බව 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

සාවද්‍ය පුවත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමේ ප්‍රකාශ, සමාජ ජාල තුළට අන්තර්ගතයන් ලෙස එකතු කිරීම වැනි චෝදනා යටතේ  කොරෝනා වසංගත සමය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 17 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පසුගියදා පවසා තිබුනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න