අප්‍රේල් 19 ශ්‍රී ලංකාව කොරෝනාවෙන් තොර රටක් : ප්‍රකාශයට පත් කිරීම 26දා මහ ඉහළින් ! මහ මැතිවරණය ජුනි 02කට පෙර : ආණ්ඩුව දැඩි තින්දුවක !

අප්‍රේල් 19 ශ්‍රී ලංකාව කොරෝනාවෙන් තොර රටක් : ප්‍රකාශයට පත් කිරීම 26දා මහ ඉහළින් !  මහ මැතිවරණය ජුනි 02කට පෙර : ආණ්ඩුව දැඩි තින්දුවක !
Image copyright lankacnews.com

ලබන අප්‍රේල් 26 දා ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා රජය දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරමින් සිටියි.

''සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග්‍රහණයට.. අප්‍රේල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..'' යන ශීර්ෂයෙන් යුතුව ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය දැනටමත් වාර්තා පළකර ඇත.

එසේම, කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානය මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දෙවි වන්නිආරච්චි පැවසුයේ, එළැඹෙන අප්‍රේල් 19 දින වන විට මෙරට කොරෝනා ආසාදිත සියලු රෝගීන් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවයි.

අප්‍රේල් 19 වනදා වන විට රටපුරා ඇදිරි නීතිය පනවා මාසයක කාලයක් ගතවන අතර විදේශගතව සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන්ට මාසයක කාලයක් සම්පූර්ණ වන බව ඇය එහිදී සඳහන් කර සිටියාය.

එම මාසයක කාලයෙදි කොරෝනා වෛරසය කිසිවෙකුට වැලඳුණේ නම් හඳුනා ගැනීමට හොඳටම හැකියාව ඇති බවත් රෝග ලක්ෂණ නොමැති රෝගීන් සිටියේ නම් ඔවුන් සුව වීමටද එම කාලය ප්‍රමාණවත් නිසා බවද සෞඛ්‍ය ඇමතිනිය පැවසුවාය.

මෙතෙක් රජයට ලබා දුන් සියලු සහයෝගය එළඹෙන 19 වන දා තෙක් ලබා දුනහොත් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයට ගිලගැනීමට ඇති සියලු ඉඩකඩ අවසන් වනු ඇති බවද ඇය දැඩි විශ්වාසයකින් යුතුව සඳහන් කළාය.

දැන් තත්වය යහපත් - වෛද්‍ය අනිල් ජාසිංහ 

ඉතාලියෙන් පැමිණි පිරිස් නිසා මෙරට තුළ ඇතිවූ කොරෝනා අවදානම දැන් අවසන් භාගයට පැමිණ ඇති බවත්, මේ වන විට වාර්තා වන්නේ ඉන්දුනීසියාව, ඩුබායි සහ ඉන්දියාවේ සිට පැමිණි රෝගීන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උපුටා දක්වමින් ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය පුවත් පළකර තිබේ.

කොරෝනා වෛරස් මර්ධනය කිරීම බාරව සිටින සෞඛ්‍ය අංශයේ ඉහලම බලධාරියා කළා යයි කියන එවැනි ප්‍රකාශ ආණ්ඩුවේ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරමින් සිටින්නේ, කොරෝනා ආසාදනයෙන් මුදා ගන්නා දිස්ත්‍රීක්කයන් හි කඩින් කඩ හෝ මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙමින් තිබිය දිය.

මහ මැතිවරණය ජුනි 02කට පෙර : කොමිසමට බලපෑම් !!

meco pb 1000px

 'ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අවශ්‍ය නැහැ' -  ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිසමට කියයි 


ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තා වන පරිදි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ගැසට් නිවේදනයක් නිකුත්කළ මාර්තු මස 02 දින සිට  මාස තුනක් සපිරෙන ජුනි මස 02ට පෙර කෙසේහෝ මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට රාජපක්ෂ පවුල විසින් තීන්දු කර ඇත.

ඒ අනුව, දිස්ත්‍රීක්ක වශයෙන් කොරෝනා වෛරසයෙන් මුදාගැනීමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මේවනවිටත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද පැවසේ.

ඒ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඊයේ (අප්‍රේල් 09) මැතිවරණ කොමිසමේ සභාපති වෙත ලිපියක් යොමුකරමින්, ''මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය කල්දමා ඇත්තේ අප්‍රේල් 30 වනදා සිට දින 14කට එපිට දිනයක් දක්වා බැවින් 15 වන දිනයේ හෝ මැතිවරණය පැවැත්විය හැකි බව පෙන්වා දී ඇත.

මැතිවරණය කල්දමා ඇත්තේ කොමිසම විසින් බැවින් ඊට අලුතින් දිනයක් නියම කිරීම කොමිසමේ වගකීමක් බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් එම දැනුම්දීම සිදුකර තිබුනේ, මැතිවරණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අප්‍රේල් 01දා ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර තිබු ලිපියකට ප්‍රතිචාරයක් ලෙසය.

පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 දින සිට මාස තුනක් ඉකුත්වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය හෙයින්, ඒ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත අප්‍රේල් 01දා ලිඛිතව දැනුම් දී තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අනවශ්‍ය බවයි.

 'කොරෝනා දෙවන රැල්ලට' අත වැනීමක්! - දෙවන රැල්ලේ දී වෛරසය තව දරුණුයි!

spanish flu pandemic of 1918 1

 1918 දී ස්පාඤ්ඤ උණෙන්, වැඩිපුර පිරිසක් ජිවිතක්ෂයට පත්වුයේ දෙවන රැල්ල නිසා 

කොරෝනා වෛරසයේ බලපෑම මුළුමනින්ම මර්ධනය කර ඇති බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විශේෂඥ සහතිකයක් ලැබෙන තෙක් කඩිමුඩියේ මහ මැතිවරණයක් පැවැත්වීමට සුදානම් වීම 'කොරෝනා දෙවන රැල්ලට' අත වැනීමක් බව කොරෝනා මර්ධන ව්‍යාපෘතියට සක්‍රියව මැදිහත්ව සිටින විශේෂඥ වෛද්‍යවරයෙක් theleader.lk වත පැවසිය. 

සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් එම කාරණය අවධාරණය කල එම වෛද්‍ය විශේෂඥයා තවදුරටත් කියා සිටියේ, දෙවන රැල්ලේ දී වෛරසය තව දරුණුවිය හැකි බවයි.

1918 දී මිලියන ගණනාවක් ජිවිතක්ෂයට පත්වූ ස්පාඤ්ඤ උණෙන්, වැඩිපුර පිරිසක් ජිවිතක්ෂයට පත්වුයේ දෙවන රැල්ල නිසා බවට හොංකොං හි පළවූ පරියේෂණ වාර්තාවට මේවනවිට ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ස්පාඤ්ඤ උණ ගැන History channel හි පළවු පුවත මෙන්න 

 Why the Second Wave of the 1918 Spanish Flu Was So Deadly

1918 දී පැතිර ගිය 'ස්පාඤ්ඤ උණෙන්' මිලියන 20-50 අතර පිරිසක් මියගිය අතර මිලියන 500 කට වැඩි පිරිසකට රෝගය වැළදුණි. එයින් අති විශාල බහුතරය මිය ගියේ 'දෙවන රැල්ලේ' දී බවත්, එම දෙවන රැල්ලේදී වෛරසය නව හැඩගැසීමකට ලක්ව, ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කර ගනිමින්, වඩා දරුණු වෛරසයක් ලෙස හැඩ ගැසී රෝගය පතුරුවන බවත්, ස්පාඤ්ඤ උණ සම්බන්ධ පරියේෂකයින් පෙන්වා දෙයි.

කොරෝනා ප්‍රතිජීවක එන්නත සොයා ගන්නා තුරු අවධානම පහ නොවේ !

කොරෝනා ප්‍රතිජීවක එන්නත සොයා ගන්නා තුරු මහජන ගැවසීම් සිදුවුවහොත්, කොරෝනා දෙවන රැල්ල ඇතිවීම වැළක්වීමට නොහැකි බව හොංකොං විශ්ව විද්‍යාලය කළ පරීක්ෂණ ප්‍රතිපල වලින් ඔප්පුවේ යැයි සී.එන්.එන්., ද ගාර්ඩියන් වැනි ජාත්‍යන්ත්තර මාධ්‍ය ඊයේ (අප්‍රේල් 09) ලෝකයේ අවධානයට යොමු කර ඇත.

''කොරෝනා වලට එන්නතක් සොයා ගන්නා තුරු ගෙදරට වෙලා ඉන්න. තත්ත්වය අවදානම්, අධ්‍යයනයකින් හෙළිවේ.'' යයි ලොව පුරා මාධ්‍ය රාශියක් එම පුවත වාර්තා කර තිබිණ.

Lockdowns can't end until Covid-19 vaccine found, study says 

Lockdowns shouldn't be fully lifted until coronavirus vaccine found, new study warns

එම පරියේෂණ වාර්තාව සී.එන්.එන්. වැනි ජාත්‍යන්ත්තර මාධ්‍ය ආයතනය හෙළි කිරීමටත් පෙර,  ''කොරෝනා එන්නත සොයා ගන්නා තුරු 'සමාජ දුරස්ථභාවය' අයින් කරන්න බැහැ'' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk එම පුවත පළකරමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය. 
 theleader.lk ''කොරෝනා එන්නත සොයා ගන්නා තුරු 'සමාජ දුරස්ථභාවය' අයින් කරන්න බැහැ''

ජීවිත දහස් ගණනක් අවදානමට හෙළන වැඩක් - මංගල කියයි 

මේ අතර මහ මැතිවරණය සඳහා වූ නාමයෝජනා අවසන්වීමට පෙර දිනයේ (මාර්තු 18) සමාජ මාධ්‍ය වෙත සෙල්ෆි වීඩියෝවක් මුදා හරිමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දුන්නේ, කොරෝනා රෝගය ව්‍යාප්ත වන පරිසරයක් මැද මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් එමගින් ජීවිත දහස් ගණනක් අවදානමට හෙළන බවයි. 

විශේෂයෙන් මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරීන් අති විශාල අවදානමකට මෙමගින් නිරාවරණය වන බවත්, එසේම ඡන්ද කටයුතු සදහා ජනතාව සහභාගීවීමේදීද, ඡන්ද පොළේදී ඇගිල්ලේ තීන්ත ආලේප කරන අවස්ථාවේදී පවා ජනතාව කොරෝනා වැළදීමේ අවදානමට විවෘත වන බවත් හිටපු මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබුණි.

එහෙත්, ජනාධිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් එම අවස්ථාවේදී දිගින් දිගටම කියා සිටියේ මහ මැතිවරණය පැවැත්වීමට කොරෝන වෛරසය බාධාවක් නොවන බවයි.

එහෙත් මාර්තු 18 සහ 19 දෙදින සමාජ දුරස්ථභාවය ඇති කරන වැඩපිළිවෙළකට වහාම යා යුතු බවට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය හා සමාජ මාධ්‍ය විසින් රජය වෙත දැඩි බලපෑමක් එල්ල කළේය.

එම තත්වය යට‍තේ මාර්තු 19 නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව ඡන්දය විමසීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය මැතිවරණ කොමිසම වෙත ලැබුණු අතර, මාර්තු 21 නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් එය කල් දැමීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළේය.

කෙසේවුවද ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය අනුවද මහ මැතිවරණයේ ඡන්ද විමසීම පවත්වන දිනය තීන්දු කිරීමේ බලය හා වගකීම පැවරී ඇත්තේ මැතිවරණ කොමිසම වෙතය.

චීනය 'සමාජ දුරස්ථභාවය' තරමක් ලිහිල් කර ඇතත් අවදානම පහවී නැහැ ! -ඈත නගරයක් වසා දමයි

219897930

චීනයේ වූහාන් සහ හුබෙයි ප්‍රාන්ත වල දින 76 ක් තිස්සේ දැඩි පාලනයකින් යුක්තව පවත්වාගෙන ගිය 'සමාජ දුරස්ථභාවය' (ලොක් ඩවුන්) පිළිබඳ වැඩ පිළිවෙල, කොරෝනා තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ඉකුත් බදාදා ලිහිල් කරන ලදී.

එහෙත්, යළි මහජන ගැවසීම් සිදුවුවහොත් එම ප්‍රාන්ත වලත්, සමස්ත චීනයේත් 'කොරෝනා දෙවන රැල්ල' ඇති වීම වැළක්විය නොහැකි බව අදාළ පරියේෂණ කණ්ඩායම අනතුරු අගවයි. 

මේ අනුව, කොරෝනා ප්‍රතිජීවක එන්නත සොයා ගන්නා තුරු ලෝකය ඉතා අසීරු අවස්ථාවකට මුහුණ දී ඇති බව ජාත්‍යන්ත්තර මාධ්‍ය පෙන්වා දෙයි.

ලොව පුරා නව කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.5 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණයට පත් වී ඇති පිරිස 90,000කට ආසන්න බව ද එම දත්ත වාර්තාවේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න