බැරි කම වහගන්න ආණ්ඩුව දරුණු උපක්‍රමවල : සමගි බල වේගයෙන් බරපතළ චෝදනාවක් !

බැරි කම වහගන්න ආණ්ඩුව දරුණු උපක්‍රමවල  : සමගි බල වේගයෙන් බරපතළ චෝදනාවක්  !

මේ වන විට ආණ්ඩුව කොරෝනා  වසංගතයට මුවා වී ජනතාවගේ සියලු ම මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.

සිය අසමත් භාවය වසා ගැනීමට දැන් අනුගමනය කරන උපාය අතිශය දරුණු වූවක් බවත් ඒ තමන්  විසින් පාලනය කරනු ලබන ජන මාධ්‍ය සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කොරෝනාව ට වර්ග වාදය ආරෝපණය කිරීම බවත් සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක්  නිකුත් කරමින් සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙසේ චෝදනා කර සිටී.

පාර්ලිමේන්තු ව යළි රැස් කරන ලෙස කරනු ලබන ඉල්ලීමට ඉඩක් ලබා නොදෙමින් එයට එරෙහි ව කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සැබෑ තත්ත්වය හෙළි වීමට ඇති අවස්ථාවන් විවර කිරීමට අකමැති බව යැයිද  එම නිවේදනයේ  සඳහන් අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ආණ්ඩුව සිය නොහැකියාවන් වසා ගැනීමට උත්සහ දරනුයේ කොරෝනා වසංගතය ට මුවා වෙමිනි .

රටේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසන් ය .ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ලීමට ආණ්ඩුව ගත් සියලු වැඩ පිළිවෙල ඉතාමත් අප්‍රසන්න ලෙස දේශපාලනීකරණය කොට ඇත .ලබා දෙන ආහාර මල්ලේ  පක්ෂ ලාංඡනයක් යෙදීමට තරම් පහළට ඇද වැටීම ඛේදජනක ය .එම ලාංඡනය යොදා ඇත්තේ රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ය .

කොරෝනා වසංගතය ට මුවා වී ආණ්ඩුව ජනතාවගේ සියලුම මූලික අයිතීන් උල්ලංඝනය කොට තිබේ .අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම් ජාලය අකර්මණ්‍යව පවතී .විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිඳ වැටීම තුළින් එය පැහැදිලි වේ .ජනාධිපති වරයා පත් කළ කාර්ය සාධක බලකාය දේශපාලන වැඩ පිළිවෙලකට අර අඳින බව පැහැදිලි ය .වසංගතය ආරම්භයේ දී ම කළ යුතු දේ නො කළ ආණ්ඩුව වර්තමානයේත් සිදු කරමින් සිතින් නේ ඉබාගාතේ යන ගමනකි .

සිය අසමත් භාවය වසා ගැනීමට දැන් අනුගමනය කරන උපාය අතිශය දරුණු වූවකි .තමා විසින් පාලනය කරනු ලබන ජන මාධ්‍ය සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කොරෝනාව ට වර්ග වාදය ආරෝපණය කිරීමයි .පාර්ලිමේන්තු ව යළි රැස් කරන ලෙස කරනු ලබන ඉල්ලීමට ඉඩක් ලබා නොදෙමින් එයට එරෙහි ව කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සැබෑ තත්ත්වය හෙළි වීමට ඇති අවස්ථාවන් විවර කිරීමට අකමැති බවයි .මැතිවරණ කොමිසමට කරනු ලබන තර්ජන පාර්ලිමේන්තු ව රැස් කරන ලෙස ඉල්ලීම් කරන්නන්ට නගන අවලාද තුළින් දිස් වන චිත්‍රය රටේ අනාගතය පිළිබඳ ව බිය කරු සිත්තමක් බව  අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතාමත් අත්‍යවශ්‍ය වේ .

සමාජ දුරස්ථ භාවය රටේ ප්‍රජාතන්ත්‍ර වාදය දුරස්ථ කිරීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කරමු .සියලු ම ප්‍රජාතන්ත්‍රවාදින්ගෙන් මේ මොහොතේ යළි යළිත් ඉල්ලා සිටින්නේ මෙයට එරෙහිව පෙළ ගැසෙන ලෙසයි.

අතිශය සංවේදී මොහොතක සැඟවුණු දේශපාලනය හඳුනා ගැනීමටත් එය ට එරෙහි වීමත් දේශප්‍රේමය නමින් සළු පිළි හඳින ආත්මාර්ථකාමී දේශපාලනය නිරුවත් කිරීමටත් බිය  නොවිය යුතු ය . සැබෑ ප්‍රශ්නය විසඳන්න ට හැකියාවක් නොමැති ව ආණ්ඩුව කරනු  ලබන ප්‍රෝඩාව හෙළි කිරීම  කොරෝනා වෛරසය ජය ගැනීමට වැදගත් බව තේරුම් ගනිමු .

රන්ජිත් මද්දුමබණ්ඩාර මහලේකම් 

සමගි ජන බලවේගය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න