කොරෝනා අස්සේ දේශපාලනය : මැකෝට තුති පිදූ සජිත් ආණ්ඩුවට දෙහි කපයි !

 කොරෝනා අස්සේ  දේශපාලනය : මැකෝට තුති පිදූ සජිත් ආණ්ඩුවට දෙහි කපයි !
රුපියල් 5000 ක් එක්තරා කොටසකට විතරක් දේශපාලනීකරණය කර  බෙදා දීම තුලින් කොරෝනා  ප්‍රශ්නය විසඳන්න නොහැකි බවත් කොරෝනා  කියන්නේ රටේ ජනතාවට ජාති, ආගම්, කුළමල, පන්ති භේදයකින්, පක්ෂභේදයකින් තොරව නිර්මාණය වුණු මහා ව්‍යසනයක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
 
මේ ව්‍යසනය තුළ විවිධ ආහාර නිෂ්පාදන පැකැට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කිරීම ඇතුළුව  සහන වැඩසටහන සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබෙන බවත් ඔහු පවසයි.
 
එසේම  බොහෝ දෙනා සිතුවේ මැතිවරණය සහ තුනෙන් දෙක ගැන පමණක් බවත් මැතිවරණ කොමිසමට පින් සිදු වෙන්න මිනිස් ජීවිත ගැන සිතා තීන්දුවක් ගැනීමට හැකි වූ බවත් ඔහු පවසයි.
 
මාධ්‍ය වෙත අද (07) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු විපක්ෂ නායකවරයා මේ අදහස් පල කර ඇති අතර එය පහත දැක්වේ.
ජනජීවිතය අකර්මණ්‍යයි !
 
අද වන විට කොරෝනා ව්‍යසනය නිසා මේ රටේ ජනතාව මුහුණ දී සිටින බරපතල ප්‍රශ්න රැසක් පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය ව්‍යප්ත වීම තුළ අපේ රටේ ඉමහත් කඩා වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. හැම අංශයකම හැම ක්ෂේත්‍රයකම සෑම දෙයක්ම කඩා වැටිලා. ජන ජීවිතය අකර්මන්‍ය වෙලා. මේ රටේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍ර තුල ගොවිතැන්වල නියැලී ඉන්න ජන ප්‍රජාවට තමන්ගේ  නිෂ්පාදනයන් අලෙවි කර ගන්නට බැරුව අසහනයෙන් සිටිනවා. මේ රටේ පාරිභෝගික ජනතාවට තමන්ගේ ආහාර පාන හරියාකාරව ලබා ගැනීමට බැරිව අසරණ වෙලා සිටිනවා. ඉදිරියේදී බරපතල ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා. ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්නට බැහැ ජීවන උපායක් නැහැ. ආදායමක් නැහැ අතේ මුදල් නැහැ.
 
හුඟක් අය උකස්  මධ්‍යස්ථාන වල !
 
 අද බොහෝ දෙනා උකස් ආයතනවලට තමන්‌ගේ කනකර උකස් කරලා අමාරුවෙන් ජීවත්වෙන තත්වයකට ඇද වැටී තිබෙනවා. මෙවන් තත්වයක් තුළ අපි යෝජනා කරනවා වර්තමාන රජයට ජනතාව ගැන හිතලා ජනතාව ජීවත්කරවන වැඩ පිළිවෙලක් ගැන හිතන්න කියලා. පුංචි මුදලක් ජනතාව අතට ලබා දීලා එයින් සෑහීමකට පත් වන්නට බැහැ. මනුස්සයෙකුට දින 30 ක්  ජීවත් වෙන්නට  දිනපතාම කිලෝ කැලරි  2030 ක් අවශ්‍යයි. ඒ අනුව එක් පුද්ගලයෙකුට දින 30 කට සෑහෙන්නේ අඩුම ගාන රුපියල් 5000 වත්, එතකොට හතර දෙනෙක් ඉන්න පවුලක් දිහා බලන්න. මාසෙකට නොමැරී ජීවත්වීම සඳහා ආහාරවලට පමණක් රුපියල් 20,000 ක් අවශ්‍ය වෙනවා. 
 
අද විසිදාහක් තියා රුපියලක්වත් අතේ නැති අවස්ථාවක්. මෙවැනි තත්වයක් තුළ මේ රටේ දෛනික වැටුප් ලබන, ස්වයං රැකියා කරන. කුලී සේවයේ නියැලී සිටින කොහොම හරි තමන්ගේ ජීවිතේ ගැට ගසා ගන්නා ලංකාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දුප්පත් නාගරික සහ ග්‍රාමීය ජනතාවට, වතු ක්ෂේත්‍රයේ ජනතාවට මීට වඩා ප්‍රමාණවත් සහනයක් ලබා දිය යුතුමයි. ඒක රටක වගකීමක්. රටක් පාලනය කිරීමේ වගකීම බාරගත්තාම  මේ අභියෝගවලින් පැනලා යන්නට බැහැ. විවිධ මාධ්‍ය සංදර්ශන දමලා ජනතාවගේ ප්‍රශ්න හංගලා කවදාවත් මිනිස්සු ජීවත් කරවන්නට බැහැ. මහපොළවේ යථාර්ථයට මුහුණ දෙන්නට ඕනේ, මහපොළවේ සත්‍යය හඳුනාගන්නට ඕනේ. අද මහපොළවේ සත්‍යය මොකක්ද අද මිනිසුන්ට කර කියා ගන්නට දෙයක් නැහැ. තමන්ට ආදායමක් නැහැ. ජීවනෝපාය කඩා වැටිලා කර්මාන්ත ශාලා වැහිලා, තමන්‌ගේ අතේ තිබුණු කණකර උකස්කරලා තමන්ගේ පුද්ගලික සම්පත් උකස්කරලා ජීවත්වෙන යුගයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි මේ මොහොතේ තියෙන සත්‍යය. 
 
දේශපාලන වාසිවලට වැඩ එපා !
 
ඒ වගේ තත්වයක් තුළ රුපියල් 5000 ක් එක්තරා කොටසකට විතරක් දේශපාලනීකරණය කරලා බෙදා දීම තුලින් මෙම ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද. කොරෝනාව කියන්නේ රටේ ජනතාවට ජාති, ආගම්, කුළමල, පන්ති භේදයකින්, පක්ෂභේදයකින් තොරව නිර්මාණය වුණු මහා ව්‍යසනයක්. මේ ව්‍යසනය තුළ විවිධ ආහාර නිෂ්පාදන පැකැට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කරන එක හරිද? අද සහන වැඩසටහන සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා. බලයට සම්බන්ධ, රජයට සම්බන්ධ පළාත්පාලන නියෝජිතයින් සුදුස්සා කවුද නුසුදුස්සා කවුද කියලා තීන්දුව ගැනීමේදී මහා බලවත් තැනකට ඒ පුද්ගලයින්ව පත් කරලා. අද සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන් දේශපාලනීකරණය කරලා. අපි ස්තූතිවන්න වෙනවා මැතිවරණ‌ කොමසාරිස් තුමාට මේ සහන වැඩසටහන නිර්දේශපාලනීකරණය කරන්න ගන්න උත්සාහයට. මම එතුමාට ඉල්ලීමක් කරනවා කරුණා කරලා රජයට බලපෑමක් කරන්න කියලා මේ ක්‍රමවේදය නිර්දේශපාලනීකරණයට ලක් කරලා ක්‍රියා කරන්න කියලා. ඒ යෝජනාව අපි රජයට ඉදිරිපත් කරා නමුත් මේ වෙනතුරු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
 
ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන්න එපා  !
 
 ඒ විතරක් නොවෙයි අද වැදගත්ම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙ ජීවත්වීමේ ප්‍රශ්නය, ආහාර ලබාගැනීමේ ප්‍රශ්නය, ඖෂධ ප්‍රශ්නය මේක තමයි රටේ ප්‍රධානතම ගැටලුව. කොහොමද රට ගොඩනගන්නේ, මොකක්ද රට ඉදිරියට ගෙන යෑමේ ඉදිරි දැක්ම, මොකක්ද වැඩ පිළිවෙල. මේ කරුණු කෙරෙහි තමයි මුළු රටේම රාජ්‍ය යාන්ත්‍රණයම අවධානය යොමු වෙලා රජයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ ඉලක්ක සම්පූර්ණය කරගන්න. නමුත් අපිට පේනවා වෙනත් බාහිර ඒවගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීව අපේ රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කරන, ප්‍රජාතන්ත්‍රවාදය පරාජය කරන යම් යම් සැලසුම් පිඹුරුපත් සැකසෙමින් පවතිනවා. එහෙම කරන්නට එපා. මේ ව්‍යසනය තුලින් මේ රට ඒකාධිපතිත්වයකට ගෙන යන්නට එපා.  
 
මේ මහා ජාතික හානිය තුළින් තමන්ගෙ පුද්ගලික න්‍යායපත්‍ර ඉෂ්ට සිද්ධ කරගන්නට පෙළඹෙන්නට එපා. මෙතන පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ. තියෙන්නේ රටේ න්‍යාය පත්‍රය. රටේ න්‍යාය පත්‍රය කොරෝනාව විනාස කිරීමයි. කොරෝනාව විනාස කරන්නට අපිට සිද්ධ වෙනවා දසදහස් ගණනින් බීසීආර් පරීක්ෂනය ක්‍රියාත්මක කරන්න. ලක්ෂ ගණන් බඩගින්නේ ඉන්න  ජනතාවට ඒ අදාල ආහාර පාන ලබාදීමේ ඒ වැඩසටහන්, ඒ වගේම ඒ අයට අහිමිවූ ජීවනෝපාය වෙනුවට ඒ අයට අතට මුදලක් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. මේ කොරෝනා ව්‍යසනය තුළ කොරෝනාවට ඇති විසඳුම මැතිවරණ කොමසාරිස්ට පහර ගැසීමවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පහර ගැසීමවත් නොවෙයි. එය මේ ප්‍රශ්නය වෙන අතකට හරවලා විවිධ මාධ්‍ය සන්දර්ශන හරහා රටේ ජනතාව මංමුලාකරවීමේ ව්‍යාපෘතියක් හැටියටයි මම දකින්නේ. කරුණාකරලා වගකිවයුතු බලධාරීන්ගෙන් රජයෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ කුසගින්නට විසඳුමක් සපයන්න. ගොවියට තමාගේ එළවළු පළතුරු විකුණා ගන්න බැරුව අකර්මන්‍යවෙලා තියෙනවා. දඹුල්ලේ සිට කැප්පෙටිපොළ ඉඳලම ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම කඩා වැටෙමින් පවතිනවා. ගොවියට තමාගේ ආහාරපාන නිෂ්පාදන අලෙවි කරගන්නට බැහැ. 
 
මැකෝට පිං !
 
 මිනිස්සුන්ට තමන්ගේ ආහාර පාන සපයා ගන්නට බැහැ. සපයන ආහාරපාන පැකැට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කරලා. මොන විලි ලැජ්ජා නැති ක්‍රියාවක්ද? මිත්‍රවරුණි අපි සමත් රටක් බවට පත් වන්නට ඕනේ. සමතුන් හැටියට මේ මහා අභියෝගයට මුහුණ දෙන්නට ඕනේ. මේ අභියෝගයට මුහුණ දීමේදී අපේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ මිනිස්සු ජීවත්කරවීමයි. මැතිවරණ පැවැත්වීම නොවෙයි. අපි අරගල කරලා  මැතිවරණ‌ කොමසාරිස් තුමාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට පින්සිද්ධ වෙන්න බොහොම අමාරුවෙන් මේ මැතිවරණය තාවකාලිව නතර කර ගත්තේ. බොහෝ දෙනා හිතුවේ මිනිස් ජීවිත ගැන නෙවෙයි බොහෝ දෙනා හිතුවේ තුනෙන් දෙක ගැන. ඒ නිසා නැවන නැවතත් මැතිවරණ‌ කොමිසමට ස්තූතිවන්ත වෙනවා මිනිස් ජීවිත ගැන හිතලා ඒ ගත්තා වූ දැවැන්ත තීන්දුව ගැන. කරුණාකරලා මිනිස්සුන්ට සහන ලබා දෙනකොට ආහාර පාන ලබා දෙනකොට දේශපාලනයක් ගාවගන්නට එපා. දේශපාලකයො ලංකරගන්නටවත් එපා අපිට සමත් රාජ්‍ය ක්ෂේත්‍රයක් තිබෙනවා. සමත් ආරක්ෂක අංශයක් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂක අංශවලට පමණක් ශක්තිය ලබා දීලා, ආහාර පාන රජයට බදු ගෙවන්නන්ගේ සල්ලි බෙදලා දෙන්න කියලා මම යෝජනා කරනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාව ජීවත් කරවන යුගයක් මේ අවස්ථාවේ. කරුණාකරලා ජනවරම ලබාගත්තා නම් ඒ යුගය බිහි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න