මේ ආණ්ඩුවේ ඇමැති නඩයම ව්‍යවස්ථා විරෝධීයි - මන්ත්‍රී ඩලස් කියයි

මේ ආණ්ඩුවේ ඇමැති නඩයම ව්‍යවස්ථා විරෝධීයි - මන්ත්‍රී ඩලස් කියයි

වත්මන් කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් 15ක් සහ රාජ්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන් 15ක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අමු අමුව උල්ලංඝණය කරමින් නීති විරෝධීව රාජ්‍ය දේපළ අවභාවිතා කරන බවත් ඊට මේ ආණ්ඩුවේ සියළුදෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අහහප්පෙරුම සඳහන් කරයි.

එජාප - ශ්‍රීලනිප ගිවිසුම කල් ඉකුත්වෙලා

මේ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ 2015 අගෝස්තු 20 වනදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක අතර අත්සන් තැබුණු ගිවිසුම මේ වන විට බලරහිත බවත් ඒ අනුව මේ වන විට පැවතිය යුත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව කැබිනට් අමාත්‍යවරුන් 30ක් සහ රාජ්‍ය අමාත්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන් 40ක අමාත්‍ය මණ්ඩලයක් බවය.

ගිවිසුම දීර්ඝ කල ලියවිල්ල කෝ?

එසේම 2015 අගෝස්තු 20 වනදා ගිවිසුම 2017 අගෝස්තු 21 වනදායින් අවසන් වූ නමුත් ආණ්ඩුව ඒ අවස්ථාවේ අදාළ ගිවිසුම 2017 දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කල බව දැනුම්දුන් බවත් එහෙත් ඊට අදාළ නිල ගිවිසුම කතානායකවරයාට ලබාදී ඇති බවට කිසිවෙකු දැනුවත් නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ 2017 දෙසැම්බර් මාසය දක්වා අදාළ ගිවිසුම දීර්ඝ කලත් මේ වන විට එම ගිවිසුම් කාලය අවසන්ව ඇති බැවින් තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් 45ක් සහ රාජ්‍ය අමාත්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන් 55ක් තබාගෙන සිටීමද නීති විරෝධී බවය.

FCID 15 ක් හදන්න වෙනවා

එවැනි පසුබිමක ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් 15ක් සහ රාජ්‍ය අමාත්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන් 15ක් නඩත්තු කරමින් ඔවුන්ට එම නිලයන්ට අදාළ සියළු වරප්‍රසාද භුක්ති විඳින්නට අවස්ථාව සැලසීම සම්බන්ධව විමර්ශනය කර නීතිය හමුවට පැමිණවීමට පවතින අමාත්‍ය මණ්ඩලයම FCID 15ක් සාදා ඒ වෙත යොමුකළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය නීති විරෝධී - හිටපු අගවිනිසුරු

මේ අතර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද daily mirror පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබුනේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ථ අමාත්‍ය මණ්ඩලයම නීති විරෝධී වන බවය.

ඒ සඳහා වන නීති පසුබිම සඳහන් කරමින් හිටපු අගවිනිසුරුවරයා පෙන්වාදී ඇත්තේ එජාප- ශ්‍රීලනිප මහා ලේකම්වරුන් අතර ගිවිසුම මේ වන විට අවලංගු බැවින් අමාත්‍ය මණ්ඩලය සහ අනෙක් කැබිනට් නොවන අමාත්‍යධුර ප්‍රමාණය 19 වන ව්‍යවස්ථාවට අනුව පැවතිය යුතු බවය.

ජනාධිපතිත් අමාරුවේ

මේ පිළිබඳව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කර සිටින්නේ එජාප-ශ්‍රීලනිප පාර්ශව අතර අත්සන් තැබුණු ගිවිසුම දීර්ඝ කල බවට කතානායකවරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත්නම් කිසිඳු නෛතික වරදක් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ නොමැති බවය. එසේ දැනුම්දීමක් කර නොමැති නම් නෛතික වරදක් බවට තර්කයක් ගෙන ඒමට හැකියාවක් ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පමණක් නොව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාද ඊට වගකිව යුතු වන බව ඔවුන් සඳහන් කරයි.

19 ව්‍යවස්ථා සංශෝධනය

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව 42 (3) ප්‍රකාරව "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේය" යනුවෙන් සඳහන් වන අතර එහිම 46 (1) (අ ) අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොයික්මවිය යුතුය සහ 46 (1) (ආ ) ප්‍රකාරව "අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතලිහ නොඉක්මවිය යුතුය" යනුවෙන් දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න