ආණ්ඩුවට ණය කළමනාකරණය කිරිමට ඇති නොහැකියාව සහ පලපුරුද්දක් නොමැතිකම හේතුවෙන් රටේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩාගෙන වැටෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන...
මාසයක් තුළ ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය සියයට 3.5 කින් අඩු වෙලා
‘‘ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැවැන්ත අර්බුදයකට පත්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තිබෙන සංචිත දිනෙන් දින අඩුවෙමින් තිබෙනවා. මාසයක් තුළ ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය සියයට 3.5 කින් අඩු වී තිබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවේ තිබෙන නොහැකියාව සහ වංචාව හේතුවෙන් ඩොලර් මිලියන 2.5 ක මුදල් රටට අහිමි වෙලා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ණය හිමියාට තවත් ඩොලර් මිලියන 2.5 ක මුදලක් ලබාදෙන්න සිදුවී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරි යටතේ පැවැති ආයතනවලට දෙවතාවක් රුපියල් මිලියන 380 ක් ආණ්ඩුව ගෙවා තිබෙනවා. වර්තමාන ආණ්ඩුවට මුල්‍ය කළමනාකරණය පිළිබඳව තිබෙන නොහැකියාව සහ පලපුරුද්දක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයේ පළමු වතාවට තෙල් බැරලයක් ඩොලර් 280 කට මිලදී ගෙන තිබෙනවා. ඉන්ධන ගෙන්වීමේ දී ඩොලර් මිලියන 600 ක් පමණ වැය කරන්න ආණ්ඩුවට සිදුවෙනවා.
රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බුදයකට යමින් තිබෙනවා
ඉදිරි මාසවලිදීත් ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය අඩු වුණහොත් රටේ සංචිත ප්‍රමාණය අවසන් වෙනවා. චීනයෙන් ලබාදුන්න ඩොලර් බිලියන 1.5 ක සංචිත ප්‍රමාණයක් තිබෙනවා. නමුත් එම මුදල භාවිතා කරන්න හැකියාවක් නැහැ. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් මැද පෙරදිග ශ්‍රමිකයින් ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයත් අඩු වෙලා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණයත් අඩු වෙලා තිබෙනවා. මේ හේතුවෙන් රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බුදයකට යමින් තිබෙනවා. ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 2.7 කින් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල් 320 කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර ඩොලරයට සාපෙක්ෂව රුපියල පැවැතුණේ 280කට. නමුත් ආණ්ඩුවට ණය කළමනාකරණය කිරිමට ඇති නොහැකියාව සහ පලපුරුද්දක් නොමැතිකම තුළ රටේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩාගෙන තිබෙනවා.
ඉදිරි මාස දෙක තුන තුළ රටේ දැඩි ආර්ථික අර්බුදයක්
ආණ්ඩුවේ මුල්‍ය කළමනාකරණය අසාර්ථක වීම හේතුවෙන් ආණ්ඩුව මාසයකට වතාවක් ඉන්ධන මිල වැඩි කිරීමට, විදුලි බිල ඉහළ දැමීමට, ගෑස් මිල ඉහළ දැමීමට, වැට් බද්ද සියයට 20ක් දක්වා වැඩිකිරිමට කටයුතු කරනවා. රටේ අහිසංක ජනතාව ගෙවන සෑම මුදලකට ම දැවැන්ත බද්දක් අය කර, එම බදු මුදල් මහා භාණ්ඩාගාරයට ගෙන, මහා භාණ්ඩාගාරයේ තිබෙන මුදල් හොරකම් කිරිම හේතුවෙන් එම බදු මුදල් ලංකාවට අහිමිවෙමින් තිබෙනවා. මේ ආකාරයේ විශාල විනාශයක් ආණ්ඩුව රටට සිදුකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය මොනයම් හෝ වේලාවක පුපුරායාමට ඉඩ තිබෙනවා. ඉදිරි මාස දෙක තුන තුළ රටේ ජනතාවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. රටේ පොහොර හිඟයක් තිබෙනවා. රටට පොහොර පැමිණෙන ප්‍රමාණය අඩුවී තිබෙනවා. ඉදිරියේදී පැමිණෙන පොහොර නැවේ පොහොර මිල අධික බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් පොහොර මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන පිරිවැය වැඩිවෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් අස්වනුවල මිල ඉහළ යනවා. අස්වැන්න වෙළඳපොළට පැමිණෙද්දි ඒවායේ මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඉදිරියේ දී ආහාර පිළිබද අනාරක්ෂිතභාවයක් ඇතිවිමේ ප්‍රවණතාවයක් තිබෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
