Image

ඩයනා ගමගේට එරෙහි ආගමන විගමන නඩුව 19 වැනිදාට කල් යයි!

ඩයනා ගමගේට එරෙහි ආගමන විගමන නඩුව 19 වැනිදාට කල් යයි!

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි 19 වැනිදා දක්වා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඇයට එරෙහිව චෝදනා හතක් ගොනු කර ඇති අතර, ඉන් චෝදනා දෙකකට අදාළ නඩු විභාගයේ සාක්ෂි විභාගය අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එල්ල වී ඇති ප්‍රධාන චෝදනා

වලංගු වීසා නොමැතිව රැඳී සිටීම: 2016 ජූලි 14 සිට 2017 ජූලි 16 දක්වා, 2018 ජූලි 17 සිට 2019 ජූලි 16 දක්වා සහ 2020 ජූලි 16 සිට නොවැම්බර් 01 දක්වා කාල සීමාවන් තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම.

අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම: 2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඇයට එරෙහි චෝදනා අතර වේ.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඩයනා ගමගේගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබුණි.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න