දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණ සේවා සභාවේ හිටපු සභාපති, නීතීඥ ලලිත් පියුම් පෙරේරා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (28) නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
එමෙන්ම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද නියෝග කෙරිණි.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද කරුණු දැක්වීමෙන් පසු මෙලෙස නියෝග කරනු ලැබීය.
රජයේ ඉඩමක් නියමිත ක්රමවේදයකින් තොරව ලබාගෙන රජයට රුපියල් ලක්ෂ පනහකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්යක්ෂ (නීති) අනුෂා සම්බන්ධප්පෙරුම පවසා සිටියේ, අම්පාර ප්රදේශයේ මෙම ඉඩමට අදාළව අතුරු බදු ගෙවීමක් කර රජයට පාඩුවක් සිදු කර ඇති බවයි.
"ස්වාමීනි, අම්පාර දිස්ත්රික්කයේ සාපුර ගමේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන, ඒ සඳහා තුන්වන පාර්ශ්වයක් වෙත අයුතු සහගත හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රු. ලක්ෂ 38ක් ගෙවීම සිදු කර තිබෙනවා. තවද අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා තරුණ සේවා සභාවේ මුදලින් ලක්ෂ 13ක් අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මගින් රජයට රු. 5,100,000ක මුදලක් පාඩුවක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඇප ලබා දීමට විරුද්ධතාව පළ කරනවා."
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු දක්වමින්, සැකකරු ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
