මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් ව්‍යාජ සමාගම් හරහා බැංකුවල තැන්පත් කර විදේශ රටවලට ප්‍රේෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනා 17දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ප්‍රධාන සැකකරුට සමාගම් 89ක්
විදේශ රටවලට මුදල් ප්‍රේෂණය කිරීමේදී ඇති වූ බාධා සහ රේගු මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙහි ප්‍රධාන සැකකරු ලෙස ජිෆ්රි මොහොමඩ් නමැත්තා හඳුනාගෙන ඇති අතර, ඔහුට සහාය දුන් බවට සැක කෙරෙන පුද්ගලයන් 7 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි ද පැමිණිල්ල පැවසීය. තවත් පුද්ගලයන් 21දෙනකු ගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් පවතින බව ද අධිකරණයට දැනුම් දී ඇත. දින 180ක් ඇතුළත භාණ්ඩ ආනයනය කිරීමේ ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කර නොමැති බවට ද කරුණු අනාවරණය වී ඇතැයි පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේ ය. විමර්ශනවල දී අනාවරණය වී ඇති තොරතුරු අනුව ප්‍රධාන සැකකරු විසින් සමාගම් 89ක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම සමාගම් අතරින් සමාගම් 36ක් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුකරමින් පවතී. මෙලෙස විදේශගත කර ඇති මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත්, එම මුදල් බැංකුවල තැන්පත් කර විදේශගත කිරීම සඳහා බැංකු නිලධාරීන්ගේ ආධාර අනුබල ලැබී තිබේ ද යන්න පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බවත් පැමිණිල්ල පැවසී ය. එක් පෞද්ගලික බැංකුවක 3වන සැකකරු ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රධාන සැකකරුට මෙම ගනුදෙනු සඳහා පහසුකම් සලසා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද අධිකරණයට දැනුම් දී ඇත.
රුපියලේ අගයට බරපතළ බලපෑම්
2025 අප්‍රේල් මාසයේ දී සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් බැංකු කළමනාකාරීත්වයට සැකයක් ඇති වී එම ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබූ බව ද පැමිණිල්ල සඳහන් කළේ ය. කෙසේ වෙතත්, මාස පහක පමණ කාලයක් ගතවීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු සිය සමීපතමයින් ගේ නම්වලින් නැවත ගිණුම් ආරම්භ කර ඇති බවත්, ඇතැම් සබඳතා නිලධාරීන් බැංකු කළමනාකාරීත්වයට වංචා කරමින් එම ගනුදෙනු නැවත සිදු කිරීමට ඉඩ ලබා දී ඇති බවත් පැමිණිල්ල අධිකරණයට පෙන්වා දුන්නේ ය. තව ද ඇතැම් බැංකු නිලධාරීන් එම ව්‍යාජ සමාගම් පවතින ස්ථාන පෞද්ගලිකව පරීක්ෂා කර ඇති බව සඳහන් කරමින්, එම ස්ථාන ඉහළ මට්ටමේ ව්‍යාපාරික ස්ථාන බවට සඳහන් කළ ව්‍යාජ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා බැංකුවට ඉදිරිපත් කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල පැවසී ය. විමර්ශන නිලධාරීන් විසින් සමාගම්වලට අදාළ ස්ථාන 10ක් පරීක්ෂා කර ඇති අතර, එම ස්ථානවල සැබෑ ව්‍යාපාරික කටයුතු සිදු නොවන බව අනාවරණය වී තිබේ. බොහෝ අවස්ථාවල දී සමාගම් ලියාපදිංචි කිරීමේදී භාවිත කර ඇත්තේ අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත්වල සඳහන් පෞද්ගලික ලිපිනයන් වන අතර, ඒවා ඔවුන් පදිංචි නිවාස බව ද විමර්ශනවලදී හෙළිවී ඇතැයි පැමිණිල්ල සඳහන් කළේ ය. මෙවැනි ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වීම, බැංකු සතු විදේශ විනිමය සංචිත අඩුවීම සහ රුපියලේ අගයට බරපතළ බලපෑම් ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වන බවද පැමිණිල්ල පෙන්වා දුන්නේය. එමෙන්ම මෙරට මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පළුදු වීම සහ මූල්‍ය විශුද්ධිකරණය හරහා වෙනත් අපරාධ සඳහා අනුබල ලැබීමද මෙම සිද්ධියේ බරපතළ ප්‍රතිවිපාක ලෙස පැමිණිල්ල පෙන්වී ය.
විමර්ශනවලට බාධා කිරීමට විත්තිකරුවන්ට හැකියාවක් නැහැ
සැකකරුවන්ට ඇප ලබා දුනහොත් බැංකු පද්ධතිවල ඇති දත්ත වෙනස් කිරීමට, මුදල් තැන්පතු සම්බන්ධ තොරතුරු වෙනස් කිරීමට හෝ සාක්ෂි සැඟවීමට හැකියාව පවතින බවත්, එමගින් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවත් පැමිණිල්ල අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ය. ඒ අනුව මූල්‍ය විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකරන වැඩිදුර පරීක්ෂණ අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශණ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මේ අතර, බැංකු නිලධාරීන් වන 2,3,4,5 සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන් බැංකුවේ J1 (Junior 1) ශ්‍රේණියේ පහළම මට්ටමේ නිලධාරීන් බව සඳහන් කළහ. ඔවුන්ට TT වැනි මුදල් ප්‍රේෂණ අනුමත කිරීම සඳහා කිසිදු බලයක් නොමැති බවත්, එවැනි බලතල J2 සහ ඊට ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්ට පමණක් පවතින බවත් විත්තිය පැවසී ය. එම නිලධාරීන්ගේ රාජකාරිය වූයේ Front Sales යටතේ පාරිභෝගිකයන් බැංකුවට හඳුන්වාදීම, Relationship Management කටයුතු සිදුකිරීම සහ බැංකුව විසින් ලබාදී ඇති ඉලක්ක සපුරාලීම පමණක් බවද නීතිඥවරු සඳහන් කළහ. ගිණුම් විවෘත කිරීමේදී පාරිභෝගිකයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය, ලේඛන පරීක්ෂා කිරීම සහ අවශ්‍ය අනුමැතීන් ලබාදීම ශාඛා කළමනාකරුවන් සහ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ වගකීමක් බවද විත්තිය පෙන්වා දුන්නේ ය. තම සේවාදායකයන් මේ වන විට සේවයෙන් අත්හිටුවා ඇති බැවින් බැංකු පද්ධතියට, පරිගණක දත්තවලට හෝ බැංකුවේ ලේඛනවලට ප්‍රවේශ වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බවත්, ඒ හේතුවෙන් විමර්ශනවලට බාධා කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවත් නීතිඥවරු පැවසූහ.
ව්‍යාජ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා සකස් කර නැහැ
තුන්වැනි සැකකරු බැංකුවේ Relationship Manager ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ රාජකාරිය පාරිභෝගිකයා සහ බැංකුව අතර සබඳතාව පවත්වාගෙන යෑම පමණක් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ය. බැංකු කළමනාකාරීත්වයට වංචා කරමින් ගනුදෙනු ඉදිරියට ගෙන යෑමට ඔහුට තාක්ෂණික හෝ පරිපාලනමය බලයක් නොතිබූ බව ද නිතීඥවරයා පැවසී ය. සිව්වැනි සැකකරු ප්‍රධාන වීදිය ශාඛාවේ සේවය කළ නිලධාරියකු වන අතර, ඔහුගේ රාජකාරිය වූයේ පාරිභෝගිකයන් සහ Current Accounts බැංකුවට හඳුන්වාදීම බව නීතිඥවරයා සඳහන් කළේ ය. ප්‍රධාන සැකකරු ඉහළ මට්ටමේ අපනයනකරුවකු ලෙස හඳුන්වා දෙමින් බැංකුවට රැගෙන ඒම රාජකාරිමය කටයුත්තක් මිස වංචා කිරීමේ චේතනාවෙන් සිදුකළ ක්‍රියාවක් නොවන බව ද නිතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. පස්වැනි සැකකරු ව්‍යාජ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා සකස් කළ බවට එල්ල වී ඇති චෝදනාව ද නිතීඥවරයා ප්‍රතික්ෂේප කළේය.
පෞද්ගලික නිවාසවල ලිපින භාවිත කරලා
බැංකු නිලධාරියකු ලෙස සමාගම් පවතින ස්ථාන පරීක්ෂා කර ඒ පිළිබඳ වාර්තා ලබාදීම සාමාන්‍ය රාජකාරි ක්‍රියාවලියක් බවත්, එම රාජකාරියෙන් ඔබ්බට ගිය අපරාධමය මැදිහත්වීමක් තම සේවාදායකයා විසින් සිදුකර නොමැති බවත් නීතිඥවරයා සඳහන් කළේ ය. මෙම පහළ මට්ටමේ බැංකු නිලධාරීන් ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා බිල්ලට දී ඇති බව විත්තියේ නීතිඥවරු දැඩි ලෙස අධිකරණයට පෙන්වා දුන්හ. තම සේවාදායකයන්ට එරෙහි චෝදනා ඇප ලබාදිය හැකි වංචා සම්බන්ධ වැරදි බවත්, විදේශ ගමන් තහනම් පනවා ඔවුන් ඇප මත මුදාහැරීමට හැකි බවත් විත්තිය ඉල්ලා සිටියේ ය.
මහේස්ත්‍රාත්වරයා: සැකකරු විසින් පවත්වාගෙන ගිය බව කියන සමාගම් පිහිටි ස්ථාන 36ටම ගොස් පරීක්ෂා කළා ද?
විමර්ශන නිලධාරින්: ස්ථාන 36ටම මේ වන විට ගොස් පරීක්ෂා කර නැහැ. එහෙත් ස්ථාන 10කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර තිබෙනවා. එම ස්ථානවල ව්‍යාපාර පවත්වාගෙන නොයන බව අනාවරණය වී තිබෙනවා. සමාගම් ලියාපදිංචි කිරීමේ දී අධ්‍යක්ෂවරුන්ගේ ජාතික හැඳුනුම්පත්වල සඳහන් පෞද්ගලික නිවාසවල ලිපින භාවිත කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා: මෙම විමර්ශනයට අදාළ සිද්ධීන් සියල්ල එක ම කරුණකට සම්බන්ධ ඒවා ද, නැතහොත් වෙනස් සිද්ධීන් කිහිපයක් ද?
විමර්ශන නිලධාරින්: මෙය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මූල්‍ය විශුද්ධිකරණය කිරීම සම්බන්ධ සිද්ධියක්. දැනට අධිකරණයට වාර්තා කර ඇත්තේ එහි එක් කොටසක් පමණයි. විදේශ රටවලට සිදුකර ඇති මුදල් ප්‍රේෂණ 500කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිනවා.
මහේස්ත්‍රාත්වරයා: මෙම නඩුවේ 3, 4 සහ 5 වන සැකකරුවන් අපරාධයට දායකත්වය දැක්වූයේ කෙසේද?
විමර්ශන නිලධාරින්: පළමුවන සැකකරු සහ ඔහු ගේ සේවකයින් ලබාදුන් ප්‍රකාශ මත මෙම බැංකු නිලධාරීන් මුදල් තැන්පත් කිරීමට සහ ප්‍රේෂණය කිරීමට සහාය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් නිලධාරීන් ව්‍යාජ සමාගම් පවතින ස්ථාන පෞද්ගලිකව පරීක්ෂා කර ඒවා ඉහළ මට්ටමේ ව්‍යාපාරික ස්ථාන බව සඳහන් කරමින් ව්‍යාජ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා බැංකුවට ලබාදී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා: මෙම සැකකරුවන් බැංකුවල තැන්පත් කළ මුදල් සම්බන්ධයෙන් පමණක් ද විමර්ශනය කරන්නේ?
විමර්ශන නිලධාරින්: නැහැ. ව්‍යාජ ලේඛන සකස් කිරීම, රේගු පනත යටතේ වැරදි සිදුකිරීමෙන් උපයාගත් මුදල් මූල්‍ය විශුද්ධිකරණය කිරීම සහ ඒ සම්බන්ධ තවත් කරුණු රැසක් පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතිනවා.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට මෙම අවස්ථාවේ ඇප ලබාදීමෙන් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවත්, විශේෂයෙන් බැංකු පද්ධතිවල ඇති දත්ත සහ මුදල් තැන්පතු සම්බන්ධ තොරතුරු වෙනස් කිරීමට හෝ සැඟවීමට හැකියාවක් පවතින බවත් සලකා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
