පොලිස් මුර සංචාරයේ යෙදෙන නිලධාරියකු ගේ රාජකාරිය වන්නේ පොදු ස්ථානවල දී පුරවැසියන් සමඟ නිරන්තරයෙන් කටයුතු කිරීම බව මම දනිමි. එහි දී සාධාරණ සැකයක් මත පදනම්ව පදිකයකු නවතා ප්‍රශ්න කිරීමට නීතියෙන් ඔවුන්ට ඉඩතිබෙන බවත් මම දනිමි. කේසේ වෙතත් මෙහි දී වැදගත් වන්නේ "සාධාරණ" යන වචනය යි.
මේවන විට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙන මම ජාතික දියපිමි ක්‍රීඩාවේ දියුණුව සඳහා කටයුතු කරමින් සිටිමි.
2026 ජූලි 30 වන දින පස්වරු 4:50ට පමණ 'මැජෙස්ටික් සිටි' වෙළඳ සංකීර්ණය ඉදිරිපිට දී, සිවිල් ඇඳුමින් සැරසී ත්‍රිරෝද රථයක් තුළ සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් මාව නවත්වන ලදී. වීදිය අයිනේ රථය නතරකරගෙන "මෙහෙ එනවා" කියමින් අගෞරවනීය ආඥාදායක ස්වරයකින් මාව රථය වෙත කැඳවනු ලැබුවේ එහි රියදුරාය. "කොහෙද යන්නේ?", "ගන්නවා id එක" යැයි ඔවුහු බලහත්කාරයෙන් පැවසූහ.
සාමාන්‍ය පරික්ෂාව
හතර දෙනා ම සිවිල් ඇඳුමින් සැරසී සිටි නිසා, මම රථය වෙත ගොස් ඔවුන් කවුරුන්දැයි විමසීමි. "මේක පොලිස් වාහනයක් කියලා පේන්නේ නැද්ද?" යැයි ඔවුහු ඇසූහ. එය එසේ විය හැකි වුවත්, ඔබ පොලිස් නිලධාරීන් බව තහවුරු නොවන බව මම පැවසූවෙමි. එබැවින් මම ඔවුන්ගේ හැඳුනුම්පත් පෙන්වන ලෙස ඉල්ලා සිටියෙමි. ඉන් එක් අයෙක් අකමැත්තෙන් වුවද තම මුදල් පසුම්බිය එළියට ගෙන, හැඳුනුම්පත සම්පූර්ණයෙන් පිටතට නොගෙන, යන්තම් දැකගත හැකි වන පරිද්දෙන් එය පෙන්වූයේය. තත්ත්වය තවත් උණුසුම් කර ගැනීමට මට අවශ්‍ය නොවූ නිසා, එය ප්‍රමාණවත් යැයි මම අඟවමින් ඊට එකඟ වීමි. ඒ අතරතුර, එම ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය (AE 1679) සටහන් කර ගැනීමට මම ඉතා කාරුණිකව අවසර ඉල්ලා සිටි අතර, ඔව්හු ඊට එකඟ වූහ.
ඉන්පසු, මාව නැවැත්වූයේ කුමන හේතුවක් නිසාදැයි මම විමසිමි. ඔවුන්ගේ පිළිතුර වූයේ එය සාමාන්‍ය පරීක්ෂාවක් බවයි. එවිට මම කියා සිටියේ, ඒ අවට ගමන් කරමින් සිටි බොහෝ පදිකයින් අතරින් විශේෂයෙන්ම මාව තෝරා ගැනීමට යම් හේතුවක් තිබිය යුතුය කියා ය. එහෙත් ඊට සෘජු පිළිතුරක් නොලැබුණි.
ඒ වනවිට ළඟට නොපැමිණි දහදෙනෙකු පමණ පිරිසක් සිද්ධිය නරඹමින් සිටි බව මට පෙනුණි. එහි අවට සිටි පුද්ගලයින් දස දෙනකු අතරින් මාව තෝරා ගත්තා නම්, ඔවුන්ගේ අවධානයට වඩාත් ලක්විය යුතු පුද්ගලයකු අනෙක් නව දෙනා අතර සිටිය හැකි බව මම ඔවුන්ට පැහැදිලි කළෙමි. එනිසා, මාව ඉලක්ක කර ගැනීම සඳහා ඔවුන් යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඇතැයි මා සිතන බව ඔවුන්ට කීවෙමි.
පදික පුරවැසියකු නැවැත්වීමට ඔවුන් භාවිතා කළ "සාධාරණ" ක්‍රමය සහ පොලිස් කටයුතු සඳහා එම ක්‍රියාවලිය ඵලදායී වන්නේ කෙසේ ද යන්න සොයා ගැනීමේ කුතුහලය මට ඇති විය. නමුත්, කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් වූවේ නැත. දකින්නට ලැබුණේ, හුදු අහංකාර ප්‍රතික්ෂේප කිරීමේ හැසිරීමක් පමණි. ඔවුන් සියල්ලන්ට ම පොලිසිය පිළිබඳ උඩගු හැඟීමක් තිබුණි බව මට පෙනුණි. එය පුරවැසියන් විසින් ප්‍රශ්න නොකළ යුතු වහල්භාවයක් ලෙස අපේක්ෂා කරන බ දව පෙනුණි.
උපකාරයක් ලෙස පසුබැසීම
මා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ බව පැවසූ විට, ඔවුන්ගේ ආකල්ප හා හැසිරීම තරමක් වෙනස් විය. කෙසේනමුත්, මා ඉලක්ක කළේ කුමන පදනමකින් ද යන්න පැහැදිලි කිරීමට ඔවුන් කිසිවකුට නොහැකි විය. මේ අතර, පිටුපස අසුනේ සිටි නිලධාරීන් තිදෙනා තමන්ගේ බලය හා ශක්තිය පෙන්වන්නට දෝ ත්‍රිරෝද රථයෙන් එළියට බැස්සාහ.
මම මගේ හැඳුනුම්පත එක් නිලධාරියෙකුට ලබා දුන් පසු, ඔහු හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ඇමතුමක් ගත් බවක් පෙනුණි. නිලධාරියා හැඳුනුම්පත මට ආපසු ලබා දුන්නත් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද කළේ ය.
සාමාන්‍යයෙන් නිලධාරීන්ට පුද්ගලයකු සැක කිරීමට පැහැදිලි, 'සාධාරණ' හේතු තිබිය යුතුය. සරල උපකල්පනයක් කිසි විටෙකත් නීත්‍යනුකූලව ප්‍රමාණවත් නොවේ. පුරවැසියන් පරීක්ෂා කිරීම සඳහා ඔවුන් පුහුණුවක් ලබා තිබේ ද යන්න මම ඔවුන් ගෙන් ඇසුවෙමි. එයට පිළිතුරක් ලැබුණේ නැත. එවිට මා යෝජනා කළේ වඩාත් ඵලදායී වීමට නම් එවැනි පුහුණුවක් ඔවුන් ඉල්ලා සිටිය යුතු බවයි. එසැණෙන්, ත්‍රිරෝද රථයෙන් බැසගත් නිලධාරීන් තිදෙනා ආපසු රථයට නැග, 'හරි හරි යනවා යන්න' කියා මට අණ දුන්හ. එහි තිබුණේ ඔවුන් මට උදව්වක් කරනවා බඳු ස්වරයකි. පිටව යන අතරතුර එක් නිලධාරියෙක් මට උපහාසහාත්මකව "ඔයා ඇවිත් දේශනයක් දෙන්නේ නැත්තේ ඇයි" කියමින් සමච්චල් කළේ ය.
අඩපණ කර ගත් 'රහසිගත මෙහෙයුම'
සමාජ විද්‍යාඥයෙකු ලෙස, විශේෂයෙන් සිංහල-බෞද්ධ ජනවාර්ගික-ජාතිකවාදී රාජ්‍යයක් යටතේ ජීවත් වන කෙනෙකු ලෙස, දැඩි ලෙස මිලිටරීකරණය වී ඇති පොලිස් ප්‍රචණ්ඩත්වය සහ දූෂණය ගැන මම හොඳින් දනිමි. වධහිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම සහ පොලිස් භාරයේ දී සැකසහිත මරණ පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් නොයෙකුත් සමාලෝචන ඉදිරිපත් කර ඇත.
මට හැඟුණේ මොවුන් පොලිසිය සහ ප්‍රජාව අතර සම්බන්ධතාවය පිළිබඳ අවම අවබෝධයක් සහිත, දුර්වල පුහුණුවක් ලැබූ, තරුණ නිලධාරීන් සිව්දෙනකු බවයි. අවට සිටි පදිකයෝ මෙම සිදුවීම මුළුමනින් ම දැක බලාගනිමින් සිටියහ. එතන යම් අපරාධකරුවකු සිටියා නම්, රහසිගතව රාජකාරියේ යෙදෙමින් සිටි මෙම නිලධාරීන්ව පහසුවෙන්ම දැන හඳුනා ගැනීමට ඒ තතැත්තාට පුළුවන්වනු ඇත. මෙම නිලධාරීන් තම 'රහසිගත' මෙහෙයුමේ ස්වභාවය ම අඩපණ කර ගත් අතර, එමගින් ප්‍රජාවේ ආරක්ෂාවද අවදානමට ලක් කළහ.
අත්තනෝමතික බලහත්කාරය
සිංහලෙන් කතා කිරීම නිසා මට යම් වාසිදායක තත්ත්වයක් හිමි වී තිබෙන්නට ඇත. එසේම, මා ඔවුන්ව ඇමතූ ආකාරය සහ ප්‍රශ්න කිරීමේ දී මා දැක්වූ විනීත ස්වභාවය මගින් පෙන්නුම් කළ මගේ සමාජ පන්ති පසුබිම ද ඊට බලපාන්නට ඇත. මා ඉංග්‍රීසියෙන් කතා කළේ නම්, එම තත්ත්වය තුළ මට යම් බලයක් ද හිමිවන්නට ඉඩ තිබුණි. මෙම නිලධාරීන් බොහෝ දුරට සිංහල භාෂාව කතා කරන්නන් වූ අතර ඔවුන් බහුභාෂා හැකියාව ඇති අය ලෙස මට නොපෙනුණි.
අනෙක් අතට, මා දෙමළ භාෂාව කතා කරන්නෙකු වූයේ නම් එම හමුවීම වඩාත් අශීලාචාර හෝ අපහාසාත්මක හෝ ස්වභාවයක් ගන්නට හොඳටම ඉඩ තිබුණි. අනෙක් අතට මා ආන්තිකකරණයට ලක්වූ ශ්‍රමික පන්ති ප්‍රජාවකට අයත් අයෙකු, ශ්‍රමික පන්තියේ ස්ත්‍රියක, විකල්ප ලිංගික ප්‍රජාවේ සාමාජිකයකු හෝ වූයේ නම්, මෙම අත්දැකීම වඩාත් අප්‍රසන්න එකක් වන්නට ඉඩ තිබුණි.
මෙම නිලධාරීන් "සාධාරණ සැකය" සහ "සහේතුක පදනම" යනාදි මූලික අවශ්‍යතා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ අයුරින් දුරස්ව සිටියහ. අනෙක් අතට මෙය නීතිය හා සාමය පවත්වාගෙන යෑම පිළිබඳ කාරණයක් ද නොවීය. මේ වනාහි දුර්වල පුහුණුවක් ලැබූ, අධික පුරුෂාධිපති මානසිකත්වයකින් යුත්, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන ලද අත්තනෝමතික බලහත්කාරයකි.
දඬුවම් නොලැබීමේ සංස්කෘතිය
පෙනුමෙන් ඉතා හානියකර නොවන "සාමාන්‍ය සිදුවීමක්" ලෙස පෙනී යන මෙම සිදුවීමෙන් නිරූපණය වූයේ ශ්‍රී ලංකාවේ පොලිස් ක්‍රියාකාරකම්වල එක්තරා පැතිකඩකි. එහි දී ශ්‍රී ලංකාවේ පොලිස් ක්‍රියාකාරකම් පුරවැසියන් ගේ අයිතිවාසිකම් වැඩි වැඩියෙන් උල්ලංඝනය කරන අන්දමත් යටපත් කරන අන්දමත් මනාව දැක ගත හැකි ය. පොලිසිය විසින් නවත්වනු ලැබීම යනු අවිනිශ්චිත කාලයක් සඳහා පුද්ගලයකු නීත්‍යානුකූලව රඳවා තබා ගැනීමකි.
"නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ දී අන්තර්ආයතන සහයෝගීතාව" අරබයා ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, පොලිස් දෙපාර්තමේන්තුව යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කටයුතු කරති. ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තවදුරටත් කියා සිටින්නේ "මෙවැනි ක්‍රියාමාර්ග (පුද්ගලයින් අහඹු ලෙස පරීක්ෂා කිරීම බඳු) මහජනතාවට සිදුවන බාධා අවම වන පරිදි වෘත්තීයභාවයෙන් සහ විනයගරුකව සිදු කරන ලදී" යනුවෙනි.
නමුත්, මගේ අත්දැකීමට අනුව රාජ්‍ය බලහත්කාර හස්තය යහසාධක ‘සන්නාමය’ බොහෝ දුරස් විය. අවම වෘත්තීයභාවයකින් හෝ තොර මෙම නිලධාරීන්ගේ හැසිරීම ඇත්තෙන් ම පොලිසියේ නීත්‍යානුකූලභාවයට මහත් හානියකි. මෙම නිලධාරීන් නීතියට අභිභවා ගොස්, දඬුවම් නොලැබීමේ සංස්කෘතියකින් පෝෂණය වී තිබෙන බව පෙනේ.
නගරය තුළ ගමන් කිරීම අධෛර්යමත් කරන බිය ජනක බලපෑම
මෙම සිද්ධිය නිසා පුරවැසියකුට නිදහසේ ගමන් කිරීමට තිබෙන අයිතිය පිළිබඳ අදහස මගේ සිත තුළ තදින් තැන්පත් විය. එසේ සිද්ධ වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙවරයක් ළෙස ප්‍රකාශයට පත් කර තිබෙන "පුරවැසියන් සඳහා ආරක්ෂිත පරිසරයක්" යන සංකල්පය යටපත්කර දමමිනි. මහජනයා සමග කටයුතු කරන පොලිස් බලකායක් තුළ මෙවැනි අදක්ෂ නිලධාරීන් ගේ හැසිරීම නිසා පුරවැසියන් ආරක්ෂා වන්නේ කෙසේදැයි යන්න මට නම් නොතෙරේ? මෙවැනි නිලධාරීන්ට අපරාධ වැළැක්වීමට කිසියම් හෝ හැකියාවක් තිබේ ද?
මා මූහුණ දුන් මෙම සිදුවීම නගරයක සිදුවූ වැදගත් එකකි. මට තෙරුම්ගි යේ මෙවැනි පොලිස් නිලධාරීන් වරප්‍රසාද ලත් පංති ආරක්ෂා කරන අතරතුරේ ශ්‍රමික පංතික නිර්ප්‍රභූ දුප්පතූන් නගරෙන් අවතැන් කිරීම ඔවුන්ගේ අභිලාෂය බවයි. ජීවන වියදම ඉහළ යෑම නිසා මගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන්ට පවා බම්බලපිටිය ප්‍රදේශයේ ජීවත් වීමට නොහැකි ය. නමුත් මේ සිද්ධිය, පුළුල් වන සෝදිසි රාජ්‍යය ගැන සම්භන්ධයෙන් ද අපව දැනුවත් කරන අතර, නිදහසේ නගරය තුළ ගමන් කිරීම අධෛර්යමත් කරන බිය ජනක බලපෑමක් ද ජනනය කරයි.
මානව හිමිකම් පදනම් කරගත් පොලිස් ප්‍රතිසංස්කරණ ප්‍රවේශයක්
"ජාතික ආරක්ෂාව" සහ "අපරාධ වැළැක්වීම" නම් කතිකාවක් ඔස්සේ නීත්‍යානුකූල කරන ලද පොලිස් ප්‍රතිසංස්කරණ මිලිටරිකරණය වූ සොදිසි රාජ්‍යය සමග බද්ධව පවතී. මෙම සිදුවීමෙන් පෙන්නුම් වන්නේ රාජ්‍යය විසින් පුරවැසියන් සෝදිසි කිරීම හෝ පාලනය කිරීම සඳහා වැඩි බලයක් පොලිසියට ලබා දීමෙන් අපයෝජනයෙන් පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ නීතිමය ආපේක්ෂා අහෝසි වෙන ආකාරය යි.
මෙම ඒකාධිපති රාජ්‍ය ප්‍රවණතා විපරිවර්තනය කිරීම සඳහා එක් ප්‍රයෝජනවත් උපාය මාර්ගයක් යෝජනාකළ හැකි ය. එනම් දේවල් වඩ වඩාත් ඇතුළත් කර ගන්නා තිරසර නාගරීකරණ ක්‍රියාවලියක් සහතික වශයෙන්ම ගොඩනගා ගැනීම ය. ඊට අනිවාර්යෙන්ම මානව හිමිකම් පදනම් කරගත් පොලිස් ප්‍රතිසංස්කරණ ප්‍රවේශයක් ගොඩනැගීමත් නැතුම බැරිය.
"නගරයට ඇති අයිතිය" යනු නාගරික අවකාශ වලට සාධාරණ ලෙස ප්‍රවේශ වීම, ඒවා භාවිතා කිරීම සහ පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන සාමූහික මානව අයිතියකි. ඒ නිසාම ‘නගරයට ඇති අයිතිය’ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණයෙන් මෙන්ම හමුදාකරණයෙන් නිදහස් කරගැනීමට අත්‍යවශ්‍ය කාරණයකි. එවැනි කියමනක පරමාර්ථය වන්නේ වෙන කිසිවක් නොව නාගරික බලධාරීන් ජනතාව ගේ ඉල්ලීම්වලට සවන්දීම සහ ඒවාට විසඳුම් සෙවීමයි.
පුරවැසියන් පුද්ගලිකව සහ සාමූහික වශයෙන් මැදිහත් වීමේ අවශ්‍යතාව
කෙසේවෙතත්, ජනතාවගේ "මානව ආරක්ෂාව" පිළිබඳ ඉල්ලීම් බොහෝ විට "ජාතික ආරක්ෂාව" පිළිබඳ කතිකාව මගින් යටපත් කරනු ලැබේ. "ජාතික ආරක්ෂාව" පිළිබඳ කතිකාව ගොඩනැගී ඇත්තේ ම, තම පුරවැසියන්ට එරෙහිව - විශේෂයෙන් ම සමාජයේ කොන්වූවන්ට සහ වෘත්තීය සමිති බඳු සාමූහික කණ්ඩායම්වලට එරෙහිව - ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීමට නැඹුරුවක් දක්වන, මිලිටරිකරණය වූ, අධික පුරුෂාධිපතිවාදී සංස්කෘතියක් විසින් මෙහෙයවන රාජ්‍යයක් පවත්වාගෙන යෑම සඳහා ය.
"වාර්ගික ජාතිකවාදය" වෙනුවට "මානව ආරක්ෂාව" පිළිබඳ කතිකාව මගින් මුල් තැන දෙන්නේ පුරවැසිභාවය සහ "සිවිල් ජාතිකවාදය" පිළිබඳ සංවාදයකට ය. මීට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කෙරෙන, "ජනවාර්ගික ජාතිකවාදය" පදනම් වී ඇත්තේ ඒකාධිපති අධික පුරුෂාධිපතිවාදී සංස්කෘති පෝෂණය කරන, විෂම ලිංගික ධුරාවලියක් සාමාන්‍යකරණයට භාජනය කරන පීතෘමූලිකත්වය මත ය.
පොලිස් බළකායේ වැටුප් ගෙවීම සඳහා දායකවන බදු ගෙවන පුරවැසියෝ, පොලිසිය විසින් තමන්ව හිරිහැරයට හෝ බිය ගැන්වීමට ලක් කරනු ඇතැයි අපේක්ෂා නොකරති. එම බදු ගෙවන්නන් අපේක්ෂා කරන්නේ "නගරයට ඇති ස්වකීය අයිතිය" සහ නගරය තුළ ගමන් කිරීමේ නිදහස පොලීසිය විසින් ආරක්ෂා කරනු ඇතැයි කියා ය.
පොලිස් ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ පොලිසිය සහ ප්‍රජාව අතර සබඳතා වැඩිදියුණු කිරීමයි, සිවිල් නිදහස ආරක්ෂා කිරීමයි. "නගරයට ඇති අයිතිය" යන සංකල්පයට පුද්ගලික මෙන්ම සාමූහික වශයෙන් ගමන් කිරීමට පුරවැසියාට නිදහස බුක්තිවි`දීට තිබෙන අයිතිය ද ඇතුළත් වේ. 2022වසරේ පැවති "අරගලය" අතරතුර, "ගෝඨා-ගෝ-ගම" ක්‍රියාකාරීන් විසින් ප්‍රජා-කේන්ද්‍රීය "මානව ආරක්ෂාව" අපේක්ෂා කරන සේවාවක් දිරිමත් කිරීම නිසා පොලිසියේ "ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරීත්වය" වෙනස් මගකට යොමු විය.
පදිකයින් නවතා පරීක්ෂා කිරීම් සිදුකිරීමේ දී පවා පොලිසිය සහ ප්‍රජාව අතර පවතින සබඳතා ආරක්ෂාවන ආකාරයෙන් හෝ තවදුරටත් වැඩිදියුණුවන ආකාරයකට එම කටයුතු සිදු කළ හැකි බව බම්බලපිටිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් වටහා ගැනීම වැදගත්ය. ඒ අතරම, "අපරාධ වැළැක්වීම" සහ "ජාතික ආරක්ෂාව" යන මුවාවෙන් සිදුවන පොලිස් හිරිහැර වැළැක්වීමටත්, තම "නගරයට ඇති අයිතිය" තහවුරු කරගැනීමටත් පුරවැසියන් පුද්ගලිකව සහ සාමූහික වශයෙන් මැදිහත් වීම ද ඉතා වැදගත්ය.

ජනක බියන්විල
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
