Image

හේගල් ගේ ඛේදවාචකය ප්‍රහසනයක් ලෙස නැවත සිදුවීමේ අවසාන ප්‍රතිමූර්තිය

හේගල් ගේ ඛේදවාචකය ප්‍රහසනයක් ලෙස නැවත සිදුවීමේ අවසාන ප්‍රතිමූර්තිය

මාක්ස්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව, ලෝක ඉතිහාසයේ සියලු ම ශ්‍රේෂ්ඨ සිදුවීම් සහ පුද්ගලයින්, යම් හෙයකින්, දෙවතාවක් කරළියට එන බව හේගල් කොහේ හෝ තැනක සඳහන් කර ඇත. නමුත් ඔහු වැදගත් දෙයක් එකට එකතු කිරීමට අමතක කළේ ය. එනම්, එම ශ්‍රේෂ්ඨ සිදුවීම් සහ පුද්ගලයින් පළමු වතාවට ඛේදවාචකයක් ලෙසත්, දෙවන වතාවට විකට රංගනයක් (ප්‍රහසනයක්) ලෙසත් කරළියට එන බව ය.

හෙගල් ගේ නොපිට පෙරළුණ නිවුන් ප්‍රතිරූපය

මෙම සුප්‍රසිද්ධ උපහාසාත්මක කියමන මඳක් වෙනස් කරමින් අපට මෙසේ ඇසිය හැකි ය. දේශපාලනය, දර්ශනය සහ සාහිත්‍ය තුළ සිටින පුද්ගලයින් සහ සිදුවීම් සම්බන්ධයෙන් ද මෙය එලෙසම වලංගු වේ ද…? කෙනෙකුට හේගල් ගේ දර්ශනය ම පළමු, එනම් ඛේදවාචකමය සිදුවීමක්‌ ලෙස කියවිය හැකි ද…? එවැනි කියවීමක්, හේගල් ගේ චින්තනය පොදුවේ පිළිගැනීමට ලක්වූ එක්තරා අවධියකට යම් දුරකට ආගන්තුක නොවනු ඇත. ඔහු ගේ පාඨකයින් බොහොමයක් කියා සිටියේ ඔහු අත්‍යවශ්‍යයෙන්ම ඛේදවාචකමය චින්තකයෙකු ලෙස සැලකිය හැකි සහ සැලකිය යුතුම අයකු බවයි. මෙහි දී, නැවත නැවතත් විවාදයට ලක් වුව ද, ග්‍රීක වැසියන් ගේ පමණක් නොව නූතන දේශපාලන ජීවිතයේ සහ සදාචාරාත්මක ප්‍රජාව ගේ ද ව්‍යුහය පිළිබඳ පරමාදර්ශී ප්‍රකාශනයක් සපයන බවට නිතර සැලකෙන, ප්‍රසිද්ධ "සදාචාරාත්මක ජීවිතයේ ඛේදවාචකය" පිළිබඳව අපට නිකමට මෙන් සඳන් කළ හැකිය. කෙසේ වෙතත් මෙම උපකල්පනය අනුගමනය කිරීම සඳහා හේගල් යනු සදාචාරාත්මක ජීවිතයේ පමණක් නොව, පොදුවේ නූතන දර්ශනවාදයේ ම ඛේදවාචකමය සිදුවීම නිරූපණය කරන්නේ නම්, එහි විකට රංගන (ප්‍රහසන) ස්වරූපයේ පුනරාවර්තනය අප හඳුනා ගන්නේ කොතැනින්ද සහ කෙසේ ද…? හේගල්ගේ අනෙක් පැත්ත පෙරළුණු නිවුන් ප්‍රතිරූපය අපට හමුවන්නේ කොතැනින්ද?

 

හේගල් ගේ අසාර්ථකත්ව පිළිබඳව සුවිශේෂී අරගලය

හේගල් ගේ චින්තනයෙන් පසු වහාම උදාවූ කාල පරිච්ඡේදය තුළ යම් ප්‍රහසන (විකට) ස්වභාවයක් තිබූ බව නිසැක ය. එය එසේ වීමට දැනටමත් හේතුවක් වූයේ, ඔහුගේ සමහර ශිෂ්‍යයන් විසින් ඔහුගේ කෘති එකතුවක් සකස් කර ප්‍රකාශයට පත් කිරීමයි. මෙය ඔහු ගේ පසුකාලීන පාඨකයින් බහුතරයකට දැඩි ලෙස බලපෑ අතර, ප්‍රතිඵලයක් ලෙස හේගල්ගේ දාර්ශනික පද්ධතියේ සැබෑ හරය සහ එහි මූලික අරමුණ පිළිබඳව යම් දුරකට ගැඹුරු ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ද එය හේතු විය. එමෙන්ම, ඔවුන් විසින් හේගල් ගේ ම වදන් ලෙස සලකා එකතු කරන ලද අදහස් දැක්වීම් සහ සටහන් නිසා, හේගල් ගේ අසාර්ථකත්ව පිළිබඳව සුවිශේෂී අරගලයක් ද නිර්මාණය විය. පුදුමයට කරුණක් නම්, මෙම සංස්කරණයේ අඩංගු කරුණු දිගු කලක් තිස්සේ හේගල්ව කියවීමේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත්වීමට සමත් වීමයි. මෙය හේගල් ගේ අවසාන දාර්ශනික පද්ධතිය ලෙස කෙනෙකු දකින දෙය යටපත් කර දමන, එක්තරා ආකාරයක මුවාවීමේ මතකයක් බඳු විය.

කෙසේ වෙතත්, හේගල්ගෙන් පසු වහාම ඇති වූ බලපෑම, වෙනත් දේ අතර, තරුණ සහ මහලු හේගල්වාදීන් අතර කුප්‍රකට බෙදීමකට ද මුල පිරීය. එයින් ප්‍රායෝගිකව සහ ප්‍රහසනාත්මක ලෙස නිරූපණය වූයේ, ඕනෑම ක්ෂණික ඒකාබද්ධතාවක් (එනම් හේගල්වාදය සහ හේගල්ගේම ඒකාබද්ධතාවය ද) නැවත පරාවර්තිත ස්වරූපයකින් මුල් එකමුතුව ස්ථාපිත කර ගැනීම සඳහා, අවම වශයෙන් විරසක වීමේ සහ බෙදීමේ ක්‍රියාවලිවලට භාජනය විය යුතු බවට වූ හේගල්ගේ ම ප්‍රකාශය යි.

මාක්ස් ගේ අවසාන හේගල්වාදී උරුමය නැවත වරක්

Hegel Marx

හේගල් ගේ අවසාන ඛේදවාචකය එම වචනයේ අර්ථ දෙකෙන් ම පවතින්නේ ඔහු ගේ මරණයෙන් පසු වහාම ඔහු ගේ දර්ශනය විච්ඡේදනය කර ප්‍රතික්ෂේප කිරීම තුළ පමණක් නොව, විවේචකයින්ට එරෙහිව හේගල්ව ආරක්ෂා කිරීමේ දී ඔහු කිසිදා ලියූ නැති වචනවලින් ඔහුව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීමේ ප්‍රහසනාත්මක ස්වභාවය තුළ නොවේ ද…? එසේ නම්, එම ප්‍රහසනය විසින් හුදෙක්ම ඔප්පු කරනු ලැබුවේ එම ඛේදවාචකය සැබෑ ඛේදවාචකයක් බව නොවේ ද…? හේගල් ගේ ඛේදවාචකය ප්‍රහසනයක් ලෙස නැවත සිදුවීමේ අවසාන ප්‍රතිමූර්තිය හඳුනා ගැනීමේදී සහ ඓතිහාසික අවධානය පුළුල් කිරීමේදී, කෙනෙකුට හේගල්ගේ කෘතිවල ඇති ඛේදවාචකය මෙලෙස ද හඳුනාගත හැකි ය. බොහෝ දෙනකු විසින් ප්‍රෂියානු රාජ්‍ය දාර්ශනිකයෙකු ලෙස සලකනු ලැබූ හේගල්ගේ වඩාත්ම බලපෑම් සහගත සහ වැදගත් ශිෂ්‍යයා වූයේ, විප්ලවයේන් රාජ්‍යය පෙරළා දැමීමේ වඩාත්ම බලපෑම් සහගත කෙනා වූ මාක්ස් වීමයි. එසේ නම්, මාක්ස් ගේ අවසාන හේගල්වාදී උරුමය නැවත වරක් ඛේදවාචක-ප්‍රහසන අනුපිළිවෙළ තහවුරු කරමින් හඳුනාගත හැක්කේ, ඔහු ද හේගල් මෙන් බොහෝ ප්‍රතික්ෂේප කිරීම්වලට ලක්වීම තුළ පමණක් නොව, (විප්ලවවාදී) අපෝහකය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ තැනැත්තා ඔහු ලෙස නිතර හඳුන්වා දීම තුළ නොවේ ද…? ඒ හරහා, ඔහු ගේ චින්තනය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමේ දී සිදු වූ කුරිරු සහ ලේවැකි ප්‍රතිඵල හේතුවෙන්, ඔහු එම දර්ශනය වඩාත් දරුණු ලෙස ප්‍රතික්ෂේප කිරීමට ලක් කළේ ය.

 

වර්තමාන බුද්ධිමය කලම්බනය අවශ්‍ය ම ද…?

Liyanage Amarakeerthi 2024.02.25 1මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මාක්ස් සහ හේගල් මතු කරන මෙම දාර්ශනික ප්‍රශ්නාර්ථය, අද දවසේ ලාංකේය දේශපාලන සහ සාහිත්‍යමය අවකාශය කියවීම සඳහා ඉතාමත් වලංගු වේ. අප අද ගෙවමින් පවතින්නේ එක පැත්තකින් අතිශය ආශ්චර්යමත්, අනිත් පැත්තෙන් අපේ පැරණි සංකල්පගත කිරීම් සියල්ල මුළුමනින් ම අවුල් කර දමන සමකාලීන මොහොතකි. රට බංකොලොත් වී, සාම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතය ජනතාව විසින් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර ඇති වටපිටාවක, ඉතිහාසයේ දිගු කලක් ආන්තිකව සිටි කණ්ඩායමකට (JVP/NPP) රටේ බලය හිමිව ඇත. පවුල, පන්සල සහ නිදහස් අධ්‍යාපනය බිඳ වැටී, පොලීසිය වැනි මර්දන උපකරණ පහළ පන්තිවලට අසහනයක් වෙද්දී, මහාචාර්ය ලියනගේ අමරකීර්ති බඳු බුද්ධිමතුන් සාහිත්‍ය කලාව පැත්තෙන් විකල්ප සහ ප්‍රගතිශීලී තේමා ගොඩනැගීමට උත්සාහ කරයි. ජාතිවාදය, සමකාලීනත්වය සහ විශ්වසාධාරණ ජීවිතය එකිනෙක ගැටෙමින් නිර්මාණය වී ඇති ලංකාවේ වියවුල් සහගත ‘ජෑම්’ එක ලිහා ගැනීමට මෙවැනි බුද්ධිමය කලම්බනයන් අත්‍යවශ්‍ය වේ.

 

ශාස්ත්‍රීය භාෂාව අන්දවන වියුක්ත අලංකාරිකයන් ගේ ප්‍රහසනය

කෙසේ වුවද, JVPය වටා සිටින මධ්‍යම පන්තික සහ ශාස්ත්‍රාලීය ප්‍රජාවට පොදු වූ සුවිශේෂී දෘෂ්ටියක් තිබේ. ඔවුන්ගේ නැඹුරුව සහ ලොකුම ආශාව වන්නේ JVP කාරයන් "මෝඩයන්" සහ "ගොබ්බයන්" ලෙස ලේබල් කිරීමයි. JVPයේ කලා සංස්කෘතික දැක්ම මැක්සිම් ගෝර්කි ගේ 'අම්මා' හෝ 'ගුරු ගීතය' මට්ටමින් එහාට නොගිය ‘පසුගාමී’ එකක් බවත්, ඔවුන් ගේ "සාංස්කෘතික සාක්ෂරතාවය දුර්වලයි" යන්නත් ඔවුන් ගේ විවේචනයයි. ඇත්ත එය නිවැරදි කියවීමක් තමයි. නමුත් පැරණි ප්‍රභූ දේශපාලකයින් සහ ලිබරල් බුද්ධිමතුන් ක්‍රියා කරන්නේ “සමාජය මෝඩයි, සමාජය දුර්වලයි, සමාජය ගොබ්බයි, ඒ නිසා මම තමයි මේ සමාජය ගලවාගන්න ඕනේ” කියන උඩඟු, ආත්මාර්ථකාමී ‘ගැලවුම්කාර’ මානසිකත්වයකිනි. ඔවුන් සිතන්නේ තමන් රටට වඩා විශාල බවයි. නමුත් JVP කාරයන් මෝඩයන් යැයි කියන්නට පොරකන මේ බුද්ධිමතුන් සතුව, "මේ වෙලාවේ JVP එක නැත්නම් රටට සහ සමාජයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නයට කිසිදු තර්කානුකූල පිළිතුරක් නැත. මෙතැනදී අප දකින්නේ, කොළඹ සමාජයේ මධ්‍යම පන්තික උද්දච්චකමට සාහිත්‍යමය රැකවරණයක් දෙන, ඔවුන්ගේ බකපණ්ඩිතකමට ශාස්ත්‍රීය භාෂාවක් අන්දවන වියුක්ත අලංකාරිකයන්ගේ ප්‍රහසනයකි.

 

තමන් නොදන්නා බව තමන් ම දැන සිටීම

jvp

අප පෙනී සිටින්නේ මෙන්න මේ බුද්ධිමය පරිහානියට එරෙහිවය. JVPය ඇතැම් විට ඔවුන් පවසන පරිදි "මෝඩයන්" වුව ද කමක් නැත. මන් ද, ඔවුන්ටම වූ සුවිශේෂී ප්‍රාගුණ්‍යයක් සහ විශේෂඥතාවක් ඇති ක්ෂේත්‍ර ඔවුන් සතු ය. සියල්ලටම වඩා JVPය සතු සැබෑ ඥානය වන්නේ, "තමන් නොදන්නා කලාප පවතින බව සහ තමන් ඒ දේවල් නොදන්නා බව තමන් ම දැන සිටීමයි" කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය, සිනමා කලාවේ පොරවල් වීමේ නොහැකියාවක් ඔවුන්ට ඇත. එතනින් තමයි ඒගොල්ලන්ගේ සැබෑ දේශපාලන යතුර හමු වන්නේ. ලෝකයේ නව දැනුම සොයාගැනීම සහ දැනුමෙන් ජයග්‍රහණය කිරීම වැනි දෑ 'Gen Z පරම්පරාව විසින් කරනු ඇත. නමුත් පක්ෂයකට අවශ්‍ය මූලික පදනම වන්නේ කැපවීම සහ සමාජය වෙනුවෙන් සිතීමේ ශික්ෂණයයි. සරලවම කිවහොත්, මේ සාකච්ඡා කරමින් පවතින්නේ සැබෑ කොමියුනිස්ට් පන්නයේ යමක් ගොඩනැගීමේ' කාර්යභාරය පිළිබඳවයි.

 

සාතිශය අසහනය සහ තුවාල සැබවින් ම විසඳාගත හැක්කේ කෙසේ ද…?

JVPය ප්‍රායෝගිකව ලංකාවට එකතු කර ඇති සැබෑ දේශපාලන ශික්ෂණය වන්නේ “අපිට වඩා රට සහ සමාජය විශාලයි” යන සාමූහික අවබෝධයයි. බෲස් ලී ප්‍රකාශ කළාක් මෙන්, “පහරවල් දසදහසක් එක වරක් ගැසීමට වඩා, එකම පහර දසදහස් වරක් ප්‍රගුණ කළ” දේශපාලන විනයක් ඔවුන් සතුය. JVP කාරයින් 'අම්මා' හෝ 'ගුරු ගීතය' බඳු සාහිත්‍යය තුළ තව තවත් සංයුක්ත වීම යනු පසුගාමීත්වයක් නොව, ඔවුන් ගේ පදනම් ස්ථාවරයයි. පුංචි පුංචි අලංකාරික වෙනස්කම්වලට ලොකු අවධානයක් දී, මේ මුලික පද්ධතිය වැරද්දා ගතහොත් සමාජයට මේ පවතින ‘ජෑම්’ එකෙන් කිසිදා ගැලවිය නොහැකි ය. 'අම්මා' කියවපු සමාජයකට පමණයි කුරුවිට සිදු වූ 'අම්ම ගේ ශාපය' බඳු ඛේදවාචකවල අභ්‍යන්තරය තේරුම් ගත හැක්කේ. යාපනයේ 'චෙම්මනි සමූහ මිනීවළවල්' වටා ගොඩනැගුණු ඒ සාතිශය අසහනය සහ තුවාල සැබවින්ම විසඳාගත හැක්කේ ද 'අම්මා' කෘතියෙන් උගන්වන ඒ පන්ති අරගලයේ සහ මානව සබඳතාවල මූලධර්ම හරියටම කියවීමෙනි.

 

කොළඹ මධ්‍යම පන්තික බක පණ්ඩිතකමේ වියුක්ත අලංකාරික

අද දවසේ සැබෑ දේශපාලන වික්‍රමය විය යුත්තේ මේ ‘පාක්ෂික රටාව’ සමස්ත ආණ්ඩුකරණ ක්‍රියාවලියට ම ආදේශ කිරීමයි. වත්මන් කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ආණ්ඩුකරණයේ සියලු පාර්ශවකරුවන් සාහිත්‍යයේ එන මේ මූලධර්ම නැවත නැවතත්, ඉතාමත් ගැඹුරින් කියවිය යුතු ය. කැබිනට් මණ්ඩලය ඇතුළේ 'අම්මා' හෝ 'ගුරු ගීතය' බඳු කෘති සහ එහි එන මානුෂීය, සදාචාරාත්මක පදනම් නැවත කියවෙන්නේ නම්, ආයතන ප්‍රධානීන් මේ මූලික ශික්ෂණය කියවන්නේ නම්, අන්න එතනින් තමයි මේ සමකාලීන වියවුල් සහගත ‘ජෑම් එක’ මුළුමනින්ම ලිහා ගලවා ගන්න පුළුවන් වන්නේ.

නමුත් මේ මූලධර්මවාදී ශික්ෂණය රැකගැනීමේ දී අප ඉදිරියේ තාර්කික ප්‍රශ්න පවතී. අද දවසේ ‘ලාල් කාන්ත’ බඳු ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් 'අම්මා' කියවන්නේ කෙසේද? වත්මන් තරුණ සංගමයේ ක්‍රියාධරයින් සහ සංවිධායකයින් 'ගුරු ගීතය' කියවනවාද? යන්න අප විමසා බැලිය යුතුය. එය හුදු සාහිත්‍යමය විනෝදාංශයක් නොව, සංවිධානයක් ලෙස පැවතිය යුතු අනිවාර්ය දෘෂ්ටිවාදාත්මක විනයකි. අපේ අභියෝගය වන්නේ, මේ සම්භාව්‍ය කෘති Gen Z පරම්පරාවට තේරුම් කර දෙමින්, ආදරය, මානව සබඳතා සහ ශිෂ්ටත්වය නැවත නැවතත් වත්මන් ජීවන ව්‍යවහාරයට සම්බන්ධ කරගැනීමයි.

එබැවින් සහෝදරවරුනි, කොළඹ මධ්‍යම පන්තික බක පණ්ඩිතකමේ වියුක්ත අලංකාරික දේශපාලනිකව වැඩිය ගණන් ගත යුතු නැත.

 

438039643 1490438038219367 3811601817128584883 n 2

 

 

 

 

සටහන - Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න