පසුගිය 24වෙනි දා රනිල්ගෙ උපන් දිනේ...
සුබ උපන්දිනයක් වේවා රනිල්...! කියලම මම මේක පටන් ගන්නම්.
ලංකාවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන හැමෝටම රනිල් ගැන කියවීමක් තියනවා. මේ ලියන්නේ මගේ කියවීම.
රනිල් විචේචනය කරන්න දහසකුත් එකක් දේවල් තියෙනවා. ඒත් ගොඩක් අය ඔහුට බණින්නෙ පාට කණ්ණාඩි තියරියෙන් බව නම් පේනවා. ඔහු විචේචනය විය යුතු තැන් සබුද්ධිකව රටේ ජනතාව ස්පර්ශ කරලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනය හාරා අවුස්සද්දි අපට හමුවෙන පොරක් විදියට රනිල් හඳුන්වන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නෙ. මම මේ කියන්නෙ හදන්නෙ ඒ ගැන.
රනිල් ''පොරක්'' වෙන්නෙ ඇයි...?
මම ඉකුත් ජනපතිවරණයට කලින් මේ වෝල් එකේම යම් සටහනක් ලිව්වා. ඒකෙන් මම කිව්වෙ ලංකාවෙ මිනිස්සු ආණ්ඩු හදන්නෙ, වෙනසක් ඉල්ලන්නෙ රටේ සංවර්ධනය වෙනුවෙන් වත්, රට හදන්නවත් නෙවෙයි. තමන්ගෙ සතුරු පිළට... තමන් අකමැති එවුන්ට ෂොට් එක දෙවා ගන්න තමයි ආණ්ඩු හදන්නෙ. මේක මහ කරුමයක්. ඒ නිසා තමයි ආණ්ඩු මාරු කරාට පස්සෙ, ප්‍රතිපාක්ෂිකයො මරා දාන්න, ගෙවල් ගිනි තියන්න, කාලෙකට කලින් නම් වව්නියාවෙන් එහාට මාරු කරන්න. රස්සාවෙන් එළියට දාන්න, ඔළු පළන්න කටයුතු කරන දේශපාලනයක් තිබුණෙ. ඇත්තටම ඒක නැති කිරීමේ ගෞරවය දෙන්න ඕනත් රනිල්ට තමයි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වීමත් සමග ප්‍රතිපාක්ෂිකයාට හිරිහැර කරන, රාජ්‍ය යන්ත්‍රණය, පොලිස් යන්ත්‍රණය, දේශපාලන ක්‍රියාකාරකම් අඩුවෙලා, සමහර දේවල් නැතිවෙලා ගියා. රනිල් දේශපාලන ජයග්‍රහණ මත අනෙක් පාක්ෂිකයින් නායකයින්ට හිංසා කළ මිනිහෙක් නෙවෙයි.

රනිල් කියන්නෙ ලංකාවෙ අයගෙ දේශපාලන සාක්ෂරතාවයෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් සත්වයෙක් නෙවෙයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් කියනවා නම්, රනිල්ගෙ මේ සංහිඳියා දේශපාලනේ රටේ මිනිස්සු අරගත්තෙ ඩීල් දේශපාලනයක් හැටියට. සාමාන්‍ය මිනිසුන් විතරක් නෙවෙයි රනිල් හදපු මන්ත්‍රීවරුන්ටත් තේරුම් ගන්න බැරි වුණා. අර රන්ජන් රාමනායක එකපාරක් "මේ ඔක්කොම යාළුවො මල්ලී..." කිව්වෙ ඒකට තමයි. ඒ කියන්නෙ රන්ජන්ලා වගේ දේශපාලනිකව එතරම් නොමේරූ අය අපේක්ෂා කළේ තමන් ගෙ බලයෙන් තවත් පක්ෂයක පිරිසක් හිංසනයට ලක් කරන්න.
රනිල් ගෙ ඩිල් දේශපාලනයේ හොඳ නරක
හරි... රන්ජන් හෝ බහුතරය කියපු විදියට මේක රනිල්ගෙ ඩීල් දේශපාලනය කියලාම අපි හඳුන්වමුකෝ...
මේ ඩීල් දේශපාලනය නිසා අපිට රටට වුණේ ලාභයක්ද පාඩුවක්ද කියලා අපි බලමු.
මෑත අතීතයේ එජාපයට එරෙහිව පළමු අභියෝගය එල්ල වුණේ 1994 දි. එදා චන්ද්‍රිකා රනිල් නැත්තට නැති කළා. එහෙම කරපු චන්ද්‍රිකාට පසුකාලීනව පාලන අභියෝග එද්දි ඇය උපක්‍රමිකව රනිල් එක්ක එඟතාවයකට ආවා. ඒ, ‘ලියම් ෆොක්ස් ගිවිසුම’ අත්සන් කිරීමෙන්. ඇත්තට ම චන්ද්‍රිකා ඒක අත්සන් කළේම චපල හිතින්. චන්ද්‍රිකාට පහුරු ගාන්න පුළුවන් වුණු පළවෙනි විනාඩියෙ දි චන්ද්‍රිකා ඒ ගිවිසුම ඒකපාක්ෂිකව කඩා දාලා තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතියට අවතීර්ණ වුණා. ඇය රනිල්ව රැවැට්ටුවා. එහෙම වුණා කියලා රනිල් චන්ද්‍රිකා ප්‍රතික්ෂේප කළේ නෑ.
අවසානයේ රනිල්ට පුළුවන් වුණා තමන්ගෙ දේශපාලන සතුරෙක් වුණු චන්ද්‍රිකා කුමාරතුංග සහිත කැබිනට් එකක් හදලා රට කරන්න. ඒ 2000 දි. එදා චන්ද්‍රිකා ජනාධිපති විදියට ඉද්දි ඇයත් එක්ක අගමැති හැටියට වැඩකරගෙන යන්න රනිල්ට පුළුවන් වුණේ ඔහු ගෙ හිතේ දේශපාලන කුහකකම හෝ වෛරය නොතිබුණු නිසා. චන්ද්‍රිකා කුමාරතුංග එක්ක කළ සංහිඳියා දේශපාලනේ නිසා තමයි පොදු ජන එක්සත් පෙරමුණ යටතේ ඍණ ආර්ථිකය තිබුණ රටක් නැවත හරි පීල්ලට ගත්තෙ. මහින්ද ඇතුළු රාජපක්ෂ රෙජීමය තමයි රනිල්ගෙ දේශපාලනය අගාධයට ඇදගෙන ගියපු දෙවැන්නා. ඒත් සමාජය කිව්වෙ රනිල්, මහින්ද එක්ක කළු කෝපි බොනවා කියලා. රාජපක්ෂලා රනිල්ට කරන්න පුළුවන් හැම පීඩනයක්ම දුන්නා. රනිල්ගෙ මිනිස්සු බිලි බාගත්තා. එහෙව් මහින්ද එල්.ටී.ටි.ඊ. යුද්ධෙ කාලෙ බිත්තියට හේත්තු වෙලා ඉද්දි එජාපය එක්ක එයත් ගිවිසුමක් අත්සන් කළා. රනිල් ඒ ගිවිසුමෙන් කොන්දේසි විරහිතව මහින්දගෙ ආණ්ඩුවට උදව් කරන්න එකඟ වුණා. අන්තිමට මහින්ද කළේ රනිල් වික්‍රමසිංහ සහ එජාපය වෙනුවෙන් සාකච්ඡාවට ආපු යූඇන්පී එකේ දෙවැනියා, කරූ ජයසූරිය ඇතුළු පතාක යෝධයන් 17 දෙනෙක් තමන්ගේ දෑත් ශක්තිමත් කරගන්න බිලී බාගත්ත එක.
දේශපාලන බිමේ සරල බල අරගලය
එහෙමයි කියලා රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂට වෛර කළේ නෑ. ඒක දේශපාලන බිමේ සර බල අරගලයක් විදියටයි එයා දැක්කෙ.
රාජපක්ෂලා එක්ක වෛරී දේශපාලනයක් නොතිබුණු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ යටතේ රට අස්ථාවර වෙද්දි රනිල් මේක භාර අරගෙන නැවත හරි පීල්ලට ගත්තෙ. එදා රට භාර අරන් කරපුවා ඔයාලා කාටවත් මතක් කරන්න අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ. ඒ විතරක් නෙවෙයි, එදා රනිල් වික්‍රමසිංහ රට භාර නොගත්තා නම් මහින්ද වගේම හැම රාජපක්ෂ කෙනෙක්ගෙ ම ඉරණම ලියවෙන්න තිබුණෙ වෙනස් විදියකට.

රනිල් 2015 දි තමන්ට දිනන්න තිබුණ අවස්ථාව පොදු අරමුණක් වෙනුවෙන් කැප කළා. පොදු අපේක්ෂකයෙක් ඕන කියපු සෝභිත හිමියන්ගෙ යෝජනාව ඔහු පිළිගත්තා. මෛත්‍රීපාල සිරිසේන වගේ ශ්‍රීලනිපයේ පුද්ගලයෙක්ට දිනාගන්න රනිල් එජාප ඡන්ද මල්ල අත්හැරියා. ඒ යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන මෛත්‍රී තමන්ට කරපු සියලු කෙනෙහිලි මැද රනිල් තමන්ගේ සියලු මන්ත්‍රීවරුන්ට කිව්වා, මෛත්‍රීපාල විවේචනය නොකර ඉන්න කියලා. අවසානෙ මෛත්‍රීපාල රනිල්ගෙ අත හපා කෑවා. එහෙමයි කියලා පාස්කු ප්‍රහාරෙ වෙලාවෙ මෛත්‍රී රටේ නොහිටිය වෙලාවෙ දි රනිල් රටේ ආරක්ෂාව සැලසුවා. මෛත්‍රීට ඇඟිල්ල දික් කරන්න ගියේ නෑ.
රනිල්ගේ හැකියාව රටේ උන්නතියට
පහුගිය ජනාධිපතිවරණෙදි රනිල් පරදින බව දැන දැනම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. අවශ්‍ය වුණා නම් රනිල්ට තිබුණා අනුර කුමාර ජයග්‍රහණය කළා ම රට කරගෙන යන්න බැරි විදියට භාණ්ඩාගාර සංචිත හින්දවන්න. රටේ තෙල් හෝ වෙනත් අර්බුදලයක් ඇති කරලා ගෙදර යන්න. ඒත් රනිල් එහෙම කළේ නෑ. ජනාධිපති හැටියට දිවුරුම් දීලා ජනපති අනුර ජාතිය අමතද්දි පවා රනිල්ට හොඳ කිව්වෙ ඒ හින්දා.

දැන් අපි ආපහු අර්බුදයක් අබියස ඉන්නෙ. ඇත්තම කතාව මේ වෙලාවෙ ජනපති තුමාටත්, මේ ආණ්ඩුවටත් අත්දැකීම් ඇති අයගෙ සහාය ලැබිය යුතු මොහොතක්. මේ තත්ත්වය අපි ජයගන්න ඕන. අපි කෙළින් හිටගන්න ඕන. තමන්ට කෙණෙහිලි කම් කරපු චන්ද්‍රිකාට අවශ්‍ය වෙලාවෙ සහාය වෙන්න පුළුවනි නම්, රාජපක්ෂලාට රට කරන්න බැරි තත්වයක් තියෙද්දි ඒකට කර ගහන්න පුළුවන් නම්, මෛත්‍රීපාලගෙ කෙනෙහිළි මැද රටට ජයග්‍රහණ අරන් දෙන්න, ප්‍රතිසංස්කරණ කරන්න පුළුවනි නම්, අනුර දිසානායක මහත්තයාට සහාය ඇවැසි වෙලාවෙ ඒක දෙන්න රනිල්ට බැරිකමක් තියෙන්න විදියක් නෑ. එකම දේ.., දේශපාලන සාක්ෂරතාව නොදන්න ඇතැම් යූඇන්පී කාරයො මේක අනුරට කොචොක් කරන්න අවස්ථාවක් නොකර ගත යුතුයි. ඒ වගේම, මේ ගණයට ම වැටෙන මාලිමා කාරයො මේක කුහක කෝනයෙන් නොබැලිය යුතුයි. රනිල්ගෙ හැකියාව රටේ උන්නතියට මේ වෙලාවෙ යොදාගැනීම මිස වෙනත් අරමුණු මෙතනට අවශ්‍ය නොවන බවයි මගේ අදහස.
අනුර ගෙ හැකියාව සහ නොහැකියාව
රනිල් වගේ ම අනුරත් විශ්වාස කරන්න රටේ ජනතාව සූදානම් විය යුතුයි. අනුර මේ බලය ගන්ත මොහොතේ ම තමන් ගෙ පක්ෂය දරපු ආර්ථික දර්ශනය සහ පාලන මොඩලය වෙනුවට ප්‍රායෝගික දේශපාලන තීන්දු කීපයක්ම ගත්තා. අද අනුර මේ තත්වෙන් හරි ඉන්නෙ ඒ ගත්ත තියුණු තීන්දු නිසා.
ගෝලීය ආර්ථික ප්‍රවණතා මත රාජ්‍ය පාලනය ගෙනයන්න වගේම රනිල් ගෙනාපු නන්දලාල් වීරසිංහව මහ බැංකුවෙ තවදුරටත් තියාගන්න ගත්තු අනුරගෙ තීන්දුව නිවැරදියි. කාලෝචිතයි. ඒ වගේම රනිල් ගෙනාපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන ඉදිරියට ගෙනියන්න අනුර ගත්ත තීන්දුව නිසා තමයි රට මේ තත්වෙන් හරි තියෙන්නෙ. එහෙව් තීන්දු ගත්ත අනුරට, මේ මෙලාවෙ රනිල්ගෙ සක්‍රිය දායකත්වය ඉල්ලන්න බැරි වෙන්න විදියක් නෑ. ඒ වගේම රට වෙනුවෙන් අනුරත් එක්ක වැඩකරන්න රනිල්ට බැරිකමක් තියෙන්න විදියකුත් නෑ.
උපුල් ගලප්පත්ති


