රාජ්‍ය සේවයෙහි නිර්මාණශීලී යුගයක් අවශ්‍ය නම්...

රාජ්‍ය සේවයෙහි නිර්මාණශීලී යුගයක් අවශ්‍ය නම්...

මතුව තිබෙනා තත්වය යටතේ නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනපති ලේකම්වරුනට උපදෙස් දුන් බව දක්නට ලැබිණි.

නිර්මාණශීලීත්වය වෙනුවට ඔහේ බලා සිටීම

මේ සොයා බැලීම යුද්ධය නතරවී යළි ලෝකය සාමාන්‍ය අතට හැරෙන තුරුම පවතින බවට සැක නැත. මීට පෙර කෝවිඩ් අවස්ථාවේ දී මේ ගැන හොඳ පෙරහුරුවකට අවස්ථාව ලද ද රටේ රාජ්‍ය සේවයේ මහා බලවතුන් වන පරිපාලන සේවය ඇතුළු බොහෝ වගකිව යුත්තන් ගේ නිර්මාණශීලී මොළ තිබුණේ කානුවල ය. එ සමයේ දීර්ඝකාලීන වැඩ පිළිවෙළ සකසන්නට තරම් විචක්ෂණ විනි නම් මේ වන විට අර්බුද තිබ්බත් නැතත් සැලකිය යුතු තරමින් යම් සේවවාන් කාර්යාලයෙන් බැහැරව ඉටු කරගන්නට සෑහෙන ඉඩක් තිබිණි. එහෙත් නිර්මාණශීලීත්වය වෙනුවට ඔහේ බලා සිටීම ප්‍රග්‍රණ කළ රාජ්‍ය සේවයකින් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි ය.

රාජ්‍ය සේවයේ තිත්ත ඇත්ත

රාජ්‍ය සේවයෙහි නිර්මාණශීලී යුගයක් අවශ්‍ය නම් පළමුව පරිපාලන සේවයට දැක්මක් සහ මොළයක් බද්ධ කළ යුතුව ඇත. එහි සිටිනා මොළය ඇත්තෝ මුළුවල ය. ඔවුන් ගෙන් වැඩ ගන්නට ආණ්ඩුවට ද ඕනැකමක් නැති සේය. අවස්ථාවාදී පිරිස මර්මස්ථාන අල්ලන පොරයක ය. ඒ අතර අනෙක් සේවා පරිපාලන සේවාව විසින් දීර්ඝකාලීනව ගෙන ගිය අත්තනෝමතික බල පොරය හමුවේ ඔවුන් සමග බද්ධ වෛරයෙනි. එසේම මෙ කියනා අනෙක් සේවාවන්ට ද දැක්මක් නැති බව ද කිව යුතුය.

රාජ්‍ය සේවය යනු හැකියාවන් ඇතියවුන්ට අවම ඉඩ ඇති තක්කඩින්ට පාර කපාගන්නට සවල් නොව බැකෝ දෙන කරුමයකි.

එක් මධ්‍යස්ථානයකින් සමස්ත රාජ්‍ය සේවයෙහි ම පරිවර්තන

මා රාජ්‍ය සේවයෙහි වසර 31ක් ගෙවුවෙමි. ඉන් වසර 29කට අධික කාලයක් මා සිටියේ භාෂා පරිවර්තකයෙකු ලෙසිනි. මා සිටි සේවය යනු නිවසේ සිට ඉතාම පහසුවෙන් රාජකාරි කළ හැකි සේවයකි. අවශ්‍ය වනුයේ අන්තර්ජාල පහසුකම් සහ පරිගණක පහසුකම් පමණි. එසේ ම විධිමත් ලෙස භාෂා පරිවර්තන සේවය ප්‍රති සංවිධානය කිරීම හරහා එක් මධ්‍යස්ථානයකින් සමස්ත රාජ්‍ය සේවයෙහි ම පරිවර්තන අවශ්‍යතා සපුරාගත හැකි ය. එහෙත් කාලීනව සේවය වෙනස් කිරීමක් ගැන රාජ්‍ය සේවයේ ලොක්කන්ට අන්දෝ සංසාරයක කල්පනාවක් හෝ වුවමනාවක් නැත. මගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගතවූවේ මේ සේවයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් විධිමත් වැඩ පිළිවෙළක් සකසන්නට ය.

එහෙත් සේවයෙහි බලධාරීන් ලෙස සිටි සෑම පරිපාලකයෙක් ම පාහේ මූණට හමුවූ විට භාෂා පරිවර්තක සේවය නගා සිටුවීම ගැන කටින් කීවා මිස සත්‍ය ලෙස ම ඊට අවශ්‍ය මැදිහත්වීම කළේ නැත. වරක් කැනඩාව මැදිහත්ව ඉතාම දියුණු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ ද අවසානය වූවේ කැනඩා අරමුදල් වැය වීම සහ ලොක්කන් කිහිප දෙනකුට කැනඩා සංචාරයක් ලැබීම පමණි. මේ එක් උදාහරණයකි. මෙවන් තවත් උදාහරණ බොහෝ ය.

සමස්ත රාජ්‍ය සේවයට ම මනා ප්‍රතිසංවිධානයක් අවශ්‍ය ය. එහෙත් එය හුදෙක් වරින් වර කටට වැටෙනා චුවිංගමයක් පමණි. එය ටික කලක් හපා ඉවත ලිය හැකි ය.

chulananda

 

Chulananda Samaranayake

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න