නන්දන ගුණතිලක අපට දේශපාලනය ගැන ඉතාම බැරෑරුම් පාඩමක් කියා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම අප පෙනී සිටිනා අදහස් වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලනය කරන්නේ නම් මේ සඳහා අපට ඇති තෝරාගැනීම්වල සීමාව යි.
නන්දන ගුණතිලකව මා පුද්ගලිකව මුණ ගැසී තිබෙන්නේ එකම එක අවස්ථාවක දී ය. ඒ මහින්ද රාජපක්ෂ ගේ දෙවෙනි ධුර කාලයේ එක් දිනක නිර්මාල් ගේ ගෙදර පැවති සාකච්ඡාවක දී ය. අලුත් වැඩක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති එම සාකච්ඡාව සාමාන්‍යයෙන් මෙවැනි වැඩවල දී බොහෝ විට සිදුවන පරිදි එම සාකච්ඡාවෙන්ම අවසන් විය. එනිසා මට නන්දන ගුණතිලක සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමක් නැත.
ඔහු ජවිපෙන් ඉවත් වූයේ ඇයි ද යන්න ද මා නිශ්චිතව දන්නේ නැත. ඔහු ඒ වනවිට ජවිපෙ සිටි ජේෂ්ඨ නායකයකු බවත් එම පක්ෂයේ නිර්මාර්තෘ රෝහණ විජේවීර සමග සමීපව සිට දිවි ගලවාගත් චරිත අතර කෙනෙකු බවත් මා අසා තිබේ. 1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමෙන් ඔහු එහි ඉහළ පෙටළහි නායකයකු බව පැහැදිලි වෙයි.

ප්‍රාර්ථනා කරන පොදු අරමුණ සාක්ෂාත් නොවන්නේ නම්...
මේ ආකාරයේ සාමූහිකයන් පවත්වාගෙන යෑම අතිශය අපහසු වැඩක් බව මම හොඳාකාරව දනිමි. මෙවැනි වැඩවලට මිනිසුන් එකතු වන්නේ අව්‍යාජ ආචාරධාර්මික තෝරාගැනීමක් ලෙසයි. එනිසාම මෙවැනි තැන්වල දී එක්තරා සීමාවකට පසුව අපේ සිතට එකඟ නොවන වැඩ කිරීමට අප එකඟ වන්නේ නැත. මෙය අත්හැරීමේ බරපතළ තීන්දුව ගැනීමට එවැනි කෙනෙකු පසුබට නොවන්නේ මේ නිසා ය. තමන් ප්‍රාර්ථනා කරන පොදු අරමුණ සාක්ෂාත් නොවන්නේ නම් මෙවැනි වැඩ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි ය.
නන්දන ජවිපෙන් ඉවත් වන්නේ ද මෙවැනි මත ගැටුමක් නිසා යැයි මම උපකල්පනය කරමි. නමුත් ගැටලුව වන්නේ ඉන් පසුව අපට ඇති තෝරාගැනීම කුමක් ද යන්නයි. තවදුරටත් කෙනකු දේශපාලනයේ නියැළීමට අපේක්ෂා කරන්නේ නම් එහි දී නන්දන ගිය මාවත හැර වෙනත් මාවතක් තිබෙනවා කියා මා සිතන්නේ නැත. එහි දී නන්දනගේ තෝරාගැනීම විමල් වීරවංශ හෝ වරුණ රාජපක්ෂ වැනි කෙනකුට වඩා ශෝචනීය වන්නේ ඔහු විමල් සේ සේ ජාතිවාදය හෝ වරුණ සේ ධනේශ්වර ලිබරල්වාදය විවෘතව තෝරාගැනීමට ද අසමත් වූ නිසා ය. මට සිතෙන්නේ මිය යන තුරු වාම දේශපාලනයට පක්ෂපාතීත්වයක් ඔහුගේ සිතේ ශේෂව තිබුණු බවයි.

වාම දේශපාලනයේ නියැළෙනවා යනු...
නමුත් ඔහු සිය දේශපාලන ගමන අවසන් කළේ සිය පරමාදර්ශ මුළුමනින් පාවාදීමෙන් පසුවයි. ගැටලුව වන්නනේ ඔහුට දේශපාලනය කිරීම සඳහා වෙනත් තෝරාගැනීමක් නොමැති වීමයි. නන්දන ගුණතිලක සිය ජීවිතයෙන් අපට ඉගැන්වූ බැරෑරුම් පාඩම මෙයයි.
මෙය අපට මේ මොහොතේ අපේ රටේ ඇති දේශපාලන තෝරාගැනීම් සම්බන්ධයෙන් වැදගත් පාඩමක් හෙළි කරයි. කෙනෙකු ප්‍රායෝගිකව වාම දේශපාලනයේ නියැළෙනවා කියා සිතන්නේ නම් එය කළ හැකි වන්නේ ජවිපෙ මූලික සන්ධානයකට සහය දීමෙන් පමණි. එසේත් නැතිනම් තමන් වමේ දේශපාලනය කරනවා කියා ෆේස්බුක් එකේ කයිවාරු ගසමින් සිටිය හැකි බවනම් මම පිළිගනිමි. නමුත් එය කිසිසේත් අපේ රටේ සැබවින්ම පවත්නා දේශපාලනය කිසිදු අයුරකින් සම්බන්ධ වන දෙයක් නොවේ.
නන්දන ගේ ජීවිත ශෝකාන්තය
නන්දන පෙන්වා දුන් වැදගත් පාඩම මෙය යි. ජවිපෙ ප්‍රමුඛ සන්ධානයෙන් එළියට යන කෙනෙකු අවසානයේ දී නතර වන තැන ඔහු පෙන්වා දෙයි. මින් අදහස් වන්නේ මෙහි දී අප ජවිපෙ කුමක් කළත් එයට එකඟ වීම අනිවාර්යය වනවා යන්න නොවේ. ඉතා පැහැදිලිව මෙහි දී අපට තවත් තෝරාගැනීමක් තිබේ. ඒ, බල දේශපාලන ක්‍රියාකාරීත්වයෙන්, එසේත් නැතිනම් පක්ෂ දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත්ව නිහඬ වීමයි.
නන්දන එම තෝරාගැනීම කළේ නම් ඔහු සම්බන්ධයෙන් මෙයට වඩා බොහෝ වෙනස් අදහස් දැක්වීම් අපට අද කියවන්නට ලැබෙනු ඇත. ඔහුගේ ජීවිතය ශෝකාන්තයක් වන්නේ මේ නිසා ය.

