ඇය හුදෙක් වෛද්‍යවරියක් පමණක් නොවූවා ය. යාපනය විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඇය, තුවක්කුවට සහ ඒකාධිපතිත්වයට එරෙහිව පෑන අවියක් කරගත් අභීත ගැහැනියකි.
මේ කතාව, තමන් උපන් බිමේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින් ම, එම විමුක්ති අරගලයේ තිබූ කුරිරු පැතිකඩ ලොවට හෙළි කළ හේතුවෙන් ම තම ජාතියේ ම අන්තවාදීන් අතින් ජීවිතය අහිමි කරගත් ආචාර්ය රාජිනී තිරාණගම ගේ කතාවයි.
ආදරය සහ විප්ලවය
1954 දී යාපනයේ මධ්‍යම පාන්තික ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ රාජිනී රාජසිංහම්, කුඩා කල සිට ම අසාධාරණය නොඉවසූ දාංගල්කාර චරිතයකි.
කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වූ ඇය එහි දී වාමංශික දේශපාලනයට නැඹුරු වූවා ය. ඇයගේ ජීවිතයේ පළමු විප්ලවීය තීරණය වූයේ ඇගේ විවාහයයි. 70 දශකයේ අගභාගයේ පැවති දැඩි වාර්ගික බෙදීම් නොතකා, ඇය සිංහල ජාතික ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ දයාපාල තිරාණගම සමග විවාහ වූවා ය. සාම්ප්‍රදායික යාපනය සමාජය කණපිට ගැසූ මේ විවාහය, ජාතියට වඩා මනුෂ්‍යත්වය උසස් බව ඇය ලොවට කියා පෑ අවස්ථාවකි.
නර්මදා සහ ශාරිකා නම් දියණියන් දෙදෙනකුගේ මවක් වූ රාජිනී, සාම්ප්‍රදායික බිරිඳකගේ හෝ මවකගේ රාමුවට කොටු වූයේ නැත. ඇය දැඩි ස්ත්‍රීවාදිනියකි. පුරුෂ මූලික සමාජය විසින් කාන්තාව මත පටවන ලද බැමි ඇය තරයේ ප්‍රතික්ෂේප කළ අතර, කාන්තාවකට දේශපාලන හා සමාජීය නිදහස තිබිය යුතු බව ඇය නිතරම විශ්වාස කළා ය.

යුද්ධය මැද පිපුණු මනුෂ්‍යත්වය
එංගලන්තයේ සිට ආචාර්ය උපාධිය ලබා නැවත යාපනයට පැමිණෙන විට උතුර ගිනි ගනිමින් තිබුණි. එක පසෙකින් ශ්‍රී ලංකා රජයේ හමුදා ද, අනෙක් පසින් ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ද, තවත් පසෙකින් එල්.ටී.ටී.ඊ සංවිධානය ද මැද යාපනයේ සාමාන්‍ය ජනතාව සිරවී සිටියහ.
බොහෝ බුද්ධිමතුන් රට හැර යද්දී රජිනි තම දරුවන් සමග යාපනයේ ම රැඳී සිටියා ය. ඇය "මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය (UTHR)" පිහිටුවා ගනිමින් ඉන්දීය හමුදාව සහ රජයේ හමුදා සිදු කළ ඝාතන සහ ස්ත්‍රී දූෂණ නිර්භයව ලෝකයට හෙළි කළා ය. නමුත් ඇය එතැනින් නතර වූයේ නැත.
ඇය දුටුවා තමන්ගේම ජනතාවගේ "විමුක්තිදායකයින්" ලෙස පෙනී සිටි එල්.ටී.ටී.ඊ සංවිධානය, ක්‍රමයෙන් ෆැසිස්ට්වාදී ස්වභාවයක් ගනිමින් තමන්ගේ ම ජාතියේ විරුද්ධ මතධාරීන් මරා දමන ආකාරය. කුඩා දරුවන් යුද්ධයට බිලිගන්නා ආකාරය.
"බිඳුණු තල්රුක" (The Broken Palmyra) සහ මරණ වරෙන්තුව
ඇය තවත් ආචාර්යවරුන් තිදෙනෙකු සමඟ එක්ව "The Broken Palmyra" කෘතිය ලිවීම ඇරඹුවේ තම ජීවිතය ගැන කිසිදු ආසාවක් නොමැතිව ය.
"ඉතිහාසය යම් දිනක අපෙන් ඇසුවොත් මේ අපරාධ වෙනකොට උඹලා මොකද කළේ කියලා, ඊට දෙන්න උත්තරයක් අපිට තියෙන්න ඕන," යැයි ඇය පැවසුවා ය.
මෙම පොතෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අභ්‍යන්තර ම්ලේච්ඡත්වය හෙළිදරව් කිරීම ඔවුන් ඇය සමඟ වෛර බැඳ ගැනීමට ප්‍රධාන හේතුව විය. ඇය විශ්වවිද්‍යාල සිසුන්ට "අන්ධව අණ පිළිනොපදින ලෙසත්, ප්‍රශ්න කරන ලෙසත්" ඉගැන්වූවා ය. බුද්ධිමත්, ස්වාධීන මතධාරී දෙමළ කාන්තාවක් එල්.ටී.ටී.ඊ සංවිධානයට මහා තර්ජනයක් විය.

ඛේද ජනක අවසානය
1989 සැප්තැම්බර් 21 වන දින, දහවල් කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිට බයිසිකලයෙන් නිවස බලා යමින් සිටිය දී, එල්.ටී.ටී.ඊ තුවක්කුකරුවකු විසින් ඇයට වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ වන විට ඇගේ වයස අවුරුදු 35ක් පමණි. ඔවුන් ඇගේ හුස්ම නතර කළ ද, ඇය දැල්වූ සත්‍යයේ සහ ධෛර්යයේ පහන් සිළු නිවා දැමීමට ඔවුන්ට හැකි වූයේ නැත. අදටත් රාජිනී තිරාණගම යනු අසාධාරණය ඉදිරියේ කොන්ද නොනැමූ ගැහැනියකගේ අමරණීය සංකේතය යි.
"ඔවුන්ට මගේ ජීවිතය ගත හැකියි, නමුත් මා විශ්වාස කරන දේ විනාශ කළ නොහැකියි."
මගේ හෘද සාක්ෂියේ සටහන
"ඊයේ ඉසයිප්‍රියා... අද රජිනි...
ඉසයිප්‍රියා
මේ දෙදෙනා ම දමිළ කාන්තාවන්. වෙනසකට තිබුණේ ඔවුන්ගේ හුස්ම ටික උදුරා ගත් තුවක්කුවේ අයිතිකරුවන් පමණයි. ඉසයිප්‍රියාව බිලිගත්තේ රාජ්‍ය හමුදාව නම්, රාජිනීව නිහඬ කළේ එල්.ටී.ටී.ඊ සංවිධානයයි. මේ ඛේදවාචක දෙක දෙස බලා මම ඔබට යෝජනා කරන්නේ එකම දෙයයි; කරුණාකර ජාතිවාදී ඇස් කණ්ණාඩි ගලවා මේ පොළොවේ යථාර්ථය දෙස බලන්න..
බලය බෙදාගැනීමේ පොරය පාලකයින්ගේ මිසක් අහිංසක මිනිස්සුන්ගේ වුවමනාවක් නොවේ. එදා 71 - 89 කාලයේ දකුණේ තරුණයා රාජ්‍ය භීෂණයෙන් මැරී වැටුණෙත්, උතුරේ දමිළයා යුද්ධයෙන් මැරී වැටුණෙත් එකම ලේ විලක. පාලකයින් බලය වෙනුවෙන් මිනිසුන් ගොනාට අන්දද්දී, මියගියේ මේ රටේ අහිංසක පුරවැසියන්.
මගේ මනුෂ්‍යකමට ජාතියක්, ආගමක් හෝ පක්ෂයක් නැහැ. වෙඩි උණ්ඩය නිකුත් වුණේ කාගේ තුවක්කුවෙන් ද යන්න මට අදාළ නැහැ; මම කොන්දේසි විරහිතව ඒ මිනීමරු දේශපාලනයට විරුද්ධයි. මම මේ දේවල් නොබියව ලියන්නේ මනුෂ්‍යත්වය වළ දමා ඇති සමාජයක, නැවතත් හෘද සාක්ෂිය අවදි කරනු පිණිසයි.
මගේ සිහිනය සහ අරගලය ඇත්තේ, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අපි හැමෝටම 'ශ්‍රී ලාංකිකයන්' ලෙස එකට හුස්ම ගත හැකි සමානාත්මතාවය ඇති බහුත්වවාදී, දියුණු සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පමණයි!"
උපුටා ගැනීමකි.
උපුටා ගත්තේ Ganga Kumari Alahakoonගේ face book පිටුවෙන්.

