සමාජ මාධ්‍ය තුළ මෑතක සංසරණය වන දිනිති සහ සංගීත් ගේ මේ රොමෑන්තීය ඡායාරූපය තුළින්, මා පෞද්ගලිකව අත්විඳි ආසන්නතම අත්දැකීමක ප්‍රතිබිම්බය දකිනු ලැබූයේ, සංවේදී හැගීම් කලාපයකට මා තල්ලුකර දමමිනි.

ඉහත දැක්වෙන චායාරූපය මතුයෙහි සිය මුහුණු පොතේ සටහනක් තබන රංගවේදී සංගීත් සතරසිංහ විසින් සිය සමාජ -සoස්කෘතික ගැලවීම සොයා යෑමේ වෑයම මා නිරීක්ෂණය කරනු ලැබූයේ, අධිපති සමාජ-සංස්කෘතික-දේශපාලන වහල් කඳවුරක සිරවූ සරණාගතයකු ප්‍රාර්ථනා කරන අවිහිංසක ගැලවුම් ප්‍රයත්නයක් ( Relief effort )ලෙසිනි. ඒ අනුව යමින්, ඔහු විසින් "ගෘහණිය" යන මිලක් / ආර්ථික අගයක් හිමි නොවන සේවාදායිකාව සතු වැඩ ලයිස්තුවක් නම්ක රමින්, " එසේ හෙයින් අපි මෙසේ කරමු" යනුවෙන් ආයාචනාත්මක ඉලීමක් පොදු සමාජය වෙත යොමු කරනු ලබයි.
සරලමතික ලෙස මහා සමාජය පිරිනමන අකුරු හතර
මේ ඉල්ලීම මා කිසිසේත් අවතක්සේරුවට ලක් නොකරන මුත්, ඔහු වැනි තවත් හෘදයාංගමයින් විසින් මුහුණ පාන්නා වූ අකාරුණික පොදු සමාජ යථාර්ථයක් පමණක් ලෙස එය දකින බව මෙහි සටහන් කරමි. විශේෂයෙන් ,
ආදරණීය මිනිස් සම්බන්ධතා කුණු වී, දිය වී, ක්ෂයවෙමින් යන කර්කශ මිනිස් සහරාවක, තම අනෙකා ( Betterhalf ) වෙනුවෙන් ඊගොයික බැමි බිඳ දමන සෑම පුරුෂ ජීවියෙක් වෙතම සරලමතික ලෙස මහා සමාජය පිරිනමන අකුරු හතරේ නාමකරණය නොඅසා හිඳීමට දරනා වෑයමක් ලෙස මම එය මැදිහත් ලෙස දකින්නෙමි. අවාසනාවකට ඒ ඉල්ලීමේ පදනම වන්නේ, ස්ත්‍රී-පුරුෂ සමාජ ලිංගිකත්වයට ලංසුවක් තැබීමක් බව, ඔහු ඇතුළු සරළ -සාම්ප්‍රදායික සමාජට නොවැටහේ. ඔවුන් විසින් පවතින අධිපති මනෝ-සාමාජීය උගුල තුළ ම හිරවී, ඒ හිරවීමෙන් අත්විදින පීඩාව සඳ අවමය සැපතක් (deliberate comfort) ලෙස බාර ගැනීමට විවිධ හේතු සාධක මනෝමූල තුරුම්පු (Emotional getaways) ලෙස ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව, අධිපති සමාජ සංස්ථාව සමග එකට සිටගනිමින් " මව "යන භූමිකාව පූජනීයත්වයට නංවා ආත්මීය ගැලවුමක් සොයාගනී.

"පවුල" යන ඒකකයට සදාචාරාත්මක ආරක්ෂාවක් ලබා දී එය රොමෑන්තීකරණය කර ඇත.
"විවාහය" යන බන්ධනයට නෛතික වටිනාකමක් අනිවාර්ය කරමින් එය පද්ධතිමය භෞතිස්මකරණයකට ලක් කර ඇත.
සංගීත් සිය මුහුණු පොතේ තැබූ සටහන තුළින් නින්නාද දෙනු ලබන්නේ, විලෝපිකයින් ගේ අධිපති උගුලක සිරවූ පරපෝෂිත ජීවියෙකු ලෙස නංවන යශෝරාවයක් මිස අනෙකක් නොවන්නේ ඒ හෙයිනි.
ඒ ඒ පුද්ගල පෞරුෂයට අනුව විසඳාගත යුතු ගැටලු
යළි මුල් නිමිත්තට එළඹෙනවා නම්, සංගීත් -දිනිති ගේ අත්දැකීම මා විසින් දර්පණ ප්‍රතිබිම්බයක් ලෙස අත්දකිනු ලැබූයේ , කෙටි විදෙස් චාරිකාවක් සඳහා පසුගිය දිනෙක දිවයිනෙන් බැහැරව යද්දී ය. කටුනායක ගුවන්තොටුපළේ දී ආරක්ෂක හේතූන් මත ගුවන් මගීන් සියලු දෙනා පැලඳ සිටි පාවහන් ගලවා පරික්ෂා කිරීම සාමාන්‍ය ක්‍රමවේදයක් ලෙස සිදු කිරීම හේතුවෙන් පැලද සිටි පාවහන් යුවළෙහි බකලය තනිවම දමාගැනීමේ දුෂ්කරතාවකට එදින මම මුහුණ පෑවෙමි. මා අසල සිටි මාගේ සැමියා එහි දී නොපැකිලව ගුවන් තොටුපළ පරිශ්‍රයේ දණ නවාගෙන මගේ පාවහන් යුගල පැලඳීමට මා හට සහාය වූයේ සරල හා සාමාන්‍ය කටයුත්තක නිරතවන සුපුරුදු ලීලාවෙනි. එය අපට සරල හා සාමාන්‍ය කටයුත්තක් වුවත්, එවැන්නක් පොදු ස්ථානයක දී සිදු කිරීම, අවට පිරිස් විසින් බාරගනු ලැබූයේ, සරල හා සාමාන්‍ය පැවැත්මක් ලෙසින් නොවේ. එනිසාම, එහි සිටි බහුතරයක් පිරිස් සෝපාහාසාත්මක බවකින් යුතුව එකී ක්‍රියාව දෙස බලා හිඳීමත්, ඇතැමකු ගේ මුහුණෙහි නුරුස්නා ස්වභාවයක් මතු වීමත් අප විසින් නිරීක්ෂණය කරනු ලැබීය. ඒ, සාම්ප්‍රදායික ලෙස ස්ත්‍රී -පුරුෂ සමාජභාවය කරපින්නා ගත් දූපත් සමාජයක ස්ත්‍රීන් සහ පුරුෂයින් විශයෙහි පවත්නා මානව ගණුදෙනුව, සංස්කෘතික හා මනෝ-සාමාජීය (Psychosocial) නියාමනයකට ඓතිහාසිකව යටත්කොට තිබීමේ අනිවාර්යය ප්‍රථිපලයක් ලෙසින් බැව් හදුනාගැනීම තුළ, අදාළ සිදුවීමට අප මුහුණ දුන්නේ අපහසුතාවයකින් තොරවය. එසේම, එය අප අවට සමාජයට නිදහසට කරුණු දැක්වීමක් ලෙස ඉදිරිපත් කරන්නට කාලය, ග්‍රමය හෝ හැගීම් ආයෝජනය කළයුතු තත්ත්වයක් ලෙස අප විසින් හඳුනාගනු නොලැබී ය. එනිසා එකී සිදුවීම සිද්ධ වූයේ, අප නිවසේ නිදනකාමරයක් තුළ ද නොඑසේනම් ගුවන් තොටුපළ පරිශ්‍රයක් තුළ දැයි අපට වෙන්කර හඳුනා ගන්නට අවශ්‍ය නොවූයේ, එකී සරල සාමාන්‍ය සිදුවීම තුළින් රටේ පොදු නීතියට, සමාජ ආචාරධර්ම පද්ධතියට, අන්තර් මානව විනයට බලපෑමක් නොවන බැවිනි. ඉන් පරිබාහිර අධිපති සමාජයේ ඉල්ලීම්වලට අනුව, තමන් අධිපති කථිකාව තුළ හැගවුම්කාරකයක් විය යුතු ද, නැතහොත් සරල බසින් මානසික වහලෙකු විය යුතු ද නැද්ද යන වග තීරණය කිරීම ඒ ඒ පුද්ගල පෞරුෂයට අනුව විසඳාගත යුතු ගැටලුවක් ලෙස මම දකින්නෙමි.

ඇය සමාජයේ දෙවන පුරුවැසියෙක් ද...?
සමාජ-ආර්ථික කාරණා පදනම් කර ගනිමින්, කුටුම්භය නැමැති ඒකකයේ පැවැත්ම උදෙසා ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට වෙන් වෙන්ව සමාජ භූමිකා ඓතිහාසිකව නිර්ණය වී ඇත්තේ, පවුල නැමැති කුඩාම සමාජ ඒකකයේ කාර්‍යයභාරය සංවිධිත ලෙස පවත්වාගෙන යෑමට වුවත්, ඒ තුළින් ස්ත්‍රී සත්වයා දෙවන පන්තියේ පුරවැසියකු බවට පත් කර තිබීම එකී යාන්ත්‍රණයේ අනිටු ප්‍රතිඵලයකි. එකී අනිටු ඵලය අවසාන නිගමනය තුළ, ස්ත්‍රී පාර්ශවයටත් - පුරුෂ පාර්ශවයටත් වෙන් කර පවරා දුන් සමාජ වගකීම් ප්‍රමාණයක් ලෙස මහා සමාජය විසින් නම්කරනු ලැබ තිබේ. සියලු සිල්ලර ගනුදෙනු සඳහා ස්ත්‍රිය වගවිය යුතු අතර, සියලු මහා පරිමාණ ගනුදෙනු පුරුෂ අයිති බවට පත් කර ඇත. එහෙත් මේ වගකීම් සහ වගවීම් හී සීමා-මායිම් තුනී වී ගිය නූතන පරිභෝජනවාදී වෙළඳ සමාජයක වැඩි බර ස්ත්‍රී සත්වයා මත පැටවෙන්නේ වාණිජ ගණුදෙනුව ද බොහෝවිට ඇගේ උර මත පටවමිනි. නමුත් , ස්ත්‍රිය සතු ගෘහස්ථ මෙහෙයුමේ කොටස්කරුවකු වීමට පුරුෂ ජීවියාට කිසිදු බලකිරීමක් නොමැත. ඒ අනුව ගෘහ මූලිකයා වන පුරුෂයා දෛනික වගකීම් සහ කාර්‍යයභාරය තුළ නිදහස,විවේකය, තීරණ ගැනීම, මූල්‍ය බලය භුක්තිවිඳීම ආදී පළමු පන්තියේ වරප්‍රසාද භුක්තිවිදින අතර, සමස්ත කුටුම්භ සංරක්ෂණ කාර්‍යභාරය මුළුමනින්ම සියතට ගත් ස්ත්‍රී සත්වයා යැපුම් මානසිකත්වයක් තුළ සිර කරයි. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ, ස්ත්‍රී සත්වයා විසින් ඉපැයීම් කාර්‍යයට අත තැබුවත්, කුටුම්භයේ මූල්‍ය කලමනාකරණය සියතට ගත්තත්, ඇය සැම විටම මහා සමාජයේ තක්සේරුවට අනුව දෙවැනි පුරවැසියා පමණක් වීම ය. ඒ නිසා, පළමු පුරවැසියා විසින් සිය නායකත්ව බලය පාවාදීමක් ලෙස, ඔහු දෙවෙනි පුරවැසියා ළඟ දෙදණ නැවීම (හෝ දණින් වැටීම) සම්මතය බවට පත්ව තිබේ.

මහා සමාජයේ හීනමානසිකත්වයට ලක් නොවී හිදීමට නම්...
සංගීත් විසින් සිය ඇඹේණිය වූ දිනිති අබියස දණ නැවීම සම්බන්ධයෙන් ඔහුට නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට හෙවත් ගැලවීමේ මාර්ග සෙවීමට සිදුවන්නේ ඒ හෙයිනි. සමාජ මාධ්‍ය විසින් මහා සමාජයේ අධිපති සන්නිවේදන බලය හිමිකරගෙන ඇති මෙවන් සමාජ ඊරාවක හුදී ජනයාගෙන් තමාට එල්ල විය හැකි සරල විවේචනවලින් ගැලවීම සදහා සංගීත් එසේ දරන අහිංසක ප්‍රයත්නය, අප හදුනාගත යුත්තේ ඔහුගේ හීනමානයක් ලෙසින් නොව, මහා සමාජයේ හීනමානසිකත්වයට ලක් නොවී හිදීම සඳහා ඔහු විසින් පාවිච්චි කරන්නාවූ ආරක්ශෂිත පලිහක් ලෙසිනි.
සුබ ආරංචියක්
මේ සංවේදී මාතෘකාව පර්යේෂණාත්මක හැදෑරීමක් ලෙසින්, පුළුල් විග්‍රහයකට ලක් කර මා මිත්‍ර සුමුදු ගුරුගේ විසින් රචිත "The bible of male inferiority" හා එහි සිංහළ භාශා පරිවර්තනය වන "පුරුෂාත්ම හීනනය හෙවත් බිජු හීනතාවය; පීතෘමූලිකය, ධනවාදය සහ පාරිසරික අර්බුදයේ ආරම්භය" නමින් ග්‍රන්ථ ද්වයක් නොබෝ දිනකින් ලාංකීය සමාජය වෙත ප්‍රධානය කිරීමට නියමිතව තිබීම සුබ ආරංචියක් ලෙස මා හඳුන්වන්නේ උක්ත හේතු කාරනා පදනම් කරගනිමිනි.

දැනුම් නිම්වළලු පුළුල් කරන අත්වැල
මේ තුලින් ස්ටීරියෝටෛපික / ගතානුගතික ලාංකීය මනෝ-ලිංගික හා මනෝ-සාමාජීය ස්ත්‍රී-පුරුශ කාර්‍යයභාරය වෙන් කර හදුනාගැනීමේ අධිපති මෙහෙයුම සුමුදු විසින් බරපතළ ප්‍රශ්නකිරීමකට ලක් කර ඇත. ඔහු විසින් "Male inferiority" යන යෙදුම ලාංකීය සමාජයට හඳුන්වා දෙන්නේ "බිජු හීනතාවය" යන සෝපාහාසාත්මක යෙදුම තුළිනි. නාමිකව එසේ වරගැන්වීම තුළින් ද හීන පෞරුෂ ලක්ෂණයක් ලෙස ස්ත්‍රී ජීවියා පහළට ඇද දැමීමේ මනෝ-සාමාජීය එළඹුම ඔහු ද්වනිතාර්ථයෙන් පමණක් නොව, වාච්‍යාර්ථයෙන් ද අභියෝගයට ලක් කරයි.
සුමුදුගේ මෙකී පර්‍යේෂණාත්මක සමාජ කථිකාව එක් අතකින් ස්ත්‍රී-පුරුෂ සමාජ ලෛංගිකත්වය රහසින් හෝ කරපින්නාගෙන යන්නවුන් වෙත එල්ල කරන දෘඩ අතුල් පහරක් වන්නා සේම, අනෙක් අතින් මෙකී ග්‍රන්ථය මෙරට මානව විද්‍යා හා සමාජ විද්‍යා විද්‍යාර්ථයින්ගේ දැනුම් නිම්වළලු පුළුල් කරනු ලබන ශාස්ත්‍රීය දැනුම් පද්ධතියකට මහගු අත්වැලක් වනවා නොඅනුමාන ය.

Enokaa Sathyangani Keerthinanda

