රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් ඝාතනයේ සිට වසර සියයක්

රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් ඝාතනයේ සිට වසර සියයක්

ලෝක ඉතිහාසයේ සිදුවූ වඩාත්ම බිහිසුණු සහ ආනුෂාංගික අපරාධයක් අද (03) ශත සංවත්සරය සනිටුහන් කරයි. 1919 ජනවාරි 15 වනදා බර්ලීනයේ දී ගාර්ඞ්-කවලහී-ශුට්සන් කොට්ඨාසයේ ෆ්‍රයිකොර් සෙබළුන් විසින් ඊට සති දෙකකට පෙර පිහිටවනු ලැබූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩි) නායකයින් දෙදෙනා වන රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට් අත්අඩංගුවට ගන්නා ලදී.

 

රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට්
සොල්දාදුවන් ඔවුන්ව ඊඩන් හෝටලය වෙත ගෙන යන ලදී. එහි දී වද බන්ධනයන්ට ඔවුන් ව ලක් කොට පසුව එයින් බැහැරට ගෙන ගොස් මරා දමන ලදී.

48 හැවිරිදි වියේ පසුවූ රෝසා ලක්සම්බර්ග් ඇයගේ යුගයේ සිටි වඩාත්ම කැපී පෙනෙන මාක්ස්වාදී විප්ලවවාදීන් ගෙන් අයකු වූවා ය. එඩුවාඩ් බර්න්ස්ටයින්ගේ ප්‍රතිසංස්කරණවාදයට සහ පළමු ලෝක යුද්ධය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුද්ධයට පක්ෂ පිළිවෙත්වලට එරහි ඇයගේ තියුණු තර්ක සම්බන්ධයෙන් ඇය සුප්‍රකටව සිටි අතර එස්පීඩී හී විප්ලවවාදී අංශයේ සහ පසුව ස්පාටකස් ලීගයේ අවිවාදිත න්‍යායික නායිකාව වී සිටියා ය.


රෝසා ලක්සම්බර්ග් සහ කාර්ල් ලිබ්නෙක්ට්


එස්පීඩී හි ආදී කතෘ වූ විල්හෙම් ලිබ්නෙක්ට් ගේ පුත්‍රයා වූ සහ ලක්සම්බර්ග්ගේ සම වයසේ සිටි කාර්ල් ලිබ්නෙක්ට්, යුදවාදයට සහ යුද්ධයට, සමහන් කළ නොහැකි ප්‍රතිවිරෝධයක් මූර්තිමත් කළේ ය. එස්පීඩී පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස, තමන්ගේම පක්ෂයට එරහිව යුද ණය ප්‍රතික්ෂේප කරමින් කළ කැරලි ගැසීමේ දී දැක්වූ නිර්භීතභාවය සහ ධෛර්යයසම්පන්නභාවය මෙන් ම වධහිංසා පැමිණවීම් සහ මර්දනය හමුවේ පවා යුද්ධයට එරහිව සටන් සහ උද්ඝෝෂණය කිරීම නිසා ඔහු, දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ගෞරවය දිනා ගත්තේ ය. 1918 නොවැම්බර් විප්ලවයේ දී ඔහු ධනපති ක්‍රමය පෙරළා දැමීම සඳහා සටන් කළේ ය. නොවැම්බර් 9වෙනි දා පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී ඔහු නිදහස් සමාජවාදී ජර්මානු ජනරජයක් ප්‍රකාශයට පත් කළේ ය.

 

530707137 1284300713148996 4151777741386297280 n

දුබල රෝසා ලක්සම්බර්ග් හට ඊඩන් හෝටලයේ ප්‍රවේශ ශාලාව තුල දී රයිෆල් මිටකින් ඇද වැටෙන්නට පහර දුන් අතර පසුව කාරයක් වෙත ගෙන ගොස් වෙඩි තැබී ය. ඇගේ සිරුර ලෑන්ඩ්වර් ඇළ මාර්ගයට විසි කර දැමුණු අතර මාස ගණනාවකට පසුව එය එහි තිබී සොයා ගත්තේ ය. කාල් ලිබ්නෙක්ට් හට ටියගාටන් හීදී ඉතා සමීපව සිට වෙඩි තුනක් තබා ඝාතනය කෙරුණි. මාධ්‍ය පසුව වාර්තා කළේ පැන යාමට තැත් කිරීමේ දී ලිබ්නෙක්ට්ට වෙඩි තැබූ අතර ලක්සම්බර්ග් කෝපාන්විත කැරලිකරුවන් විසින් ඝාතනය කළ බව ය.


39040 image 1 2def44933b0f7632d895d4dcdb6ef6cd 1536x864

ඝාතනය සඳහා රාජ්‍යයේ ඉහළ ම මට්ටම්වල අනුමැතිය


ලක්සම්බර්ග් ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතන ප්‍රති විප්ලවවාදී ප්‍රචණ්ඩත්වයේ නව අවධියක් සනිටුහන් කළේ ය. මීට ප්‍රථමයෙන් ධනපති රාජ්‍යය කෲර ලෙස සමාජවාදී විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබුනු අතර 1871 පැරිස් කොමියුනය මර්දනය කිරීමෙන් පසුව සිදු කළ ආකාරයට සමූහ ඝාතන සිදු කරමින් විප්ලවවාදී කම්කරුවන්ගෙන් ලේවැකි ලෙස පළිගත්තේ ය. නමුත් විප්ලවවාදී පක්ෂයේ නායකයන්ව, රාජ්‍යයේ කොටස් විසින් නඩු විභාගයක් හෝ නඩු තීන්දුවක් රහිතව මරා දැමීම, නව ප්‍රපංචයක් වූ අතර එය අනෙකුත් අය විසින් අනුගමනය කල පූර්වාදර්ශයක් ඇති කරන ලදී.


com
ආධිපත්‍යධාරී සාර් රෙජීමය පවා සාමාන්‍යයෙන් සිදුකළේ සමාජවාදී විරුද්ධවාදීන්ව සයිබීරියාවට පිටුවහල් කිරීම ය. ආත්මීය සාධකය, එනම් ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ සහ බෝල්ශෙවික් පක්ෂයේ භූමිකාව, කම්කරු පන්ති විප්ලවය ජයග්‍රහණය කරා මෙහෙයවීමේදී තීරනාත්මක වූ බව රුසියානු විප්ලවයෙන්, ජර්මානු පාලක පන්තිය තේරුම් ගෙන තිබිණි. ඝාතනයින්ට දින කිහිපයකට පෙර “ඔවුන්ගේ නායකයන් මරා දමනු!” යන සටන් පාඨය සහිත අත් පත්‍රිකා බර්ලීන නගරය පුරා බෙදා හැරුණි. මිනීමරුවන් සිය කටයුතු ඉදිරියට කරගෙන ගියේ රාජ්‍යයේ ඉහළ ම මට්ටම්වල අනුමැතිය ඇතිවය.


ඝාතකයින් නිදහස්


රෙයික්වර් සඳහා වග කිවයුතු අමාත්‍යවරයා සහ ප්‍රමුඛ එස්පීඩී සාමාජිකයකු වූ ගුස්ටාව් නොස්ක්, සිය කෲර ප්‍රචණ්කාරීත්වය සම්බන්ධයෙන් කුප්‍රකට ගාඩර්-කවලහී-ශුට්සන් හමුදා කොට්ඨාසය, විප්ලවවාදී කම්කරුවන්ට එරහිව ක්‍රියාත්මක කරවීමට බර්ලීනයට මෙහෙයවීය. 1918 ලේවැකි නත්තල අතරතුර ඔවුන්, බර්ලින් මාලිගය අත්කරගෙන සිටි කැරලිකාර නාවුකයන් වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ අතර ම්ලේච්ඡ ලෙස ස්පාටකස් නැගී සිටීම මර්දනය කළේ ය.


rev 05 01 19 02 2558ca17cfd574efc553cd677b3d659b
1919 මැයි මස දී යුද්ධාධිකරනය විසින් ලක්සම්බර්ග්ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතනයන්ට සෘජුවම වගකිව යුතු නිලධාරීන් චෝදනාවලින් නිදහස් කළ විට නොස්ක් එම චෝදනාවලින් නිදහස් කිරීමට පුද්ගලිකවම අත්සන් කළේ ය. ගාඩර්-කවලහී-ශුට්සන් කොට්ඨාසයේ නායකයා ලෙස ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් ඝාතනය කිරීමට නියෝගය නිකුත් කළ වැල්ඩ්මා පැබ්ස්ට් හට කිසිදු දිනක චෝදනා ගොනු නොකෙරුණි. ඔහුට සිය වෘත්තීය නාසීන් යටතේ සහ පශ්චාත් යුද ෆෙඩරල් ජනරජය තුළ සිදු කරගෙන යෑමට හැකිවූ අතර 1970 දී ධනවත් ආයුධ වෙළෙන්දෙකු ලෙස මිය ගියේ ය.


ඝාතකයාගේ පාපෝච්ඡාරණය

අද දක්වාම එස්පීඩී ය, ලක්සම්බර්ග්ගේ සහ ලිබ්නෙක්ට්ගේ ඝාතනවලට තමන්ගේ ඇති වගකීම මතභේදයට ලක් කරයි. නමුත් ඝාතනවලට ආසන්නයේ දී පැබ්ස් නොස්ක් හට ටෙලිෆෝනයෙන් කතා කළ බව නිශ්චිත ය. තමන්ට නොස්ක්ගෙන් කටයුත්ත සිදුකිරීමට අවසර ලැබුණ බව පැබ්ස් පසුව අවස්ථා කිහිපයක දී ම තහවුරු කළේ ය. ඔහුගේ මරණයෙන් පසු හමුවූ 1969 දී ඔහු විසින් ලියන ලද ලිපියකට අනුව

“නොස්ක්ගේ සහයෝගය (ඊබට් පසුබිමෙන් සිටිය දී) රහිතව මට එම කටයුත්ත සිදුකිරීමට කිසිදු මාර්ගයක් නොතිබූ බව සහ මට මගේ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට සිදුවූ බව ඉතා පැහැදිලියි. සාක්ෂි දීම සඳහා මාව කැඳවුයේ නැත්තේ හෝ වරදක් සම්බන්ධයෙන් මට චෝදනා එල්ල නොකෙරුණේ කුමක් නිසාද යන්න තේරුම් ගෙන ඇත්තේ අල්ප දෙනෙක් පමණි. ඒ අවස්ථාවේ අපගේ එකමුතුව පිළිබඳ වසර පනහක් පුරාවට කට වසාගෙන සිටීම මගින්, ප්‍රභූ පරිවාරකයෙකු ලෙස මම එස්පීඩී යේ හැසිරීම පිළිගත්තා.”



විප්ලවය මර්දනය කිරීමට පියවර


නොවැම්බර් මාසයේ දී ජර්මනිය පුරා ලැව් ගින්නක් සේ පැතිර ගිය විප්ලවය, රුසියාවේ දී සිදු කළාක් මෙන් ධනවාදය පෙරළා දැමීම වැළැක්වීම සඳහා, පාලක පන්තියට ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් මරා දැමීමට සිදු විය. විප්ලවයේ මුල් දින කිහිපය තුළ යටත් වූ හොහෙන්සොලර්න් රෙජීමය, ආරක්ෂා කරගැනීමට නොහැකි විය. නමුත් මෙමගින් සිදු කළේ එහි සහයෝගයේ පදනම වන කාර්මික සහ මූල්‍ය ප්‍රාග්ධනය, විශාල ඉඩම් හිමියන්, මිලිටරි කුලය, සහ ප්‍රතිගාමී අධිකරණය, පොලීසිය, සහ පරිපාලන සංවිධාන මගින් තමන්ගේ සමාජ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තව තවත් අධිෂ්ඨාන සහගත කිරීම පමණි.

මේ සඳහා ඔවුන්, 1918 නොවැම්බර් 9 වනදා නව ආණ්වක් පිහිටුවීමට එස්පීඩී යේ නායක ෆෙඩ්රික් ඊබට් හට ආරාධනා කළේ ය. ඒ මොහොතවන විට පූර්වගාමී අවුරුදු හතර පුරාවට එස්පීඩී ය, පළමු ලෝක යුද්ධයට සහය දීම හරහා ධනේශ්වර පාලනයට තමන්ගේ ඇති කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කර තිබුණි. ඊබර්ට් වහාම හමුදාවේ සාමාන්‍ය කාර්යය මණ්ඩලය සමග විප්ලවය මර්දනය කිරීමට පෙළ ගැසුණි.

 

R1923 3 WIR 1ෆෙඩ්රික් ඊබට්


වාමාංශික කඩතුරාව

මෙසේ පළමු විප්ලවවාදී රළ ලේවැකි ආකාරයෙන් මර්දනය කළ නමුත්, මෙය කොහෙත්ම කුමන පන්තිය පාලනය කරනු ඇත්ද යන ප්‍රශ්නය විසඳුවේ නැත. කේපීඩී ය ඉමහත් ලෙස වාසිදායක විප්ලවවාදී අවස්ථාවක් මගහැර ගත් සහ සූදානමින් සිටි නැගීසිටීමක් අවසාන මිනිත්තුවේ නතර කළ 1923 ඔක්තෝබර් දක්වා නිරන්තරයෙන් වර්ධනය වන පන්ති අරගල සහ විප්ලවවාදී අවස්ථා පුපුරා ගියේ ය.

 මීට අමතරව 1918-19 අතර කාලයේ, කේපීඩී ය පිහිටුවීමත් සමග, එස්පීඩී යේ පාවාදීම් සහ ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ (යූඑස්පීඩී) මධ්‍යස්ථ පිළිවෙත් පැරදවීමෙහිලා ඉතා වැදගත් ඉදිරිපියවරක් ගැනුණි. 1917 දී යූඑස්පීඩී ය පිහිටවූයේ යුද ණය සඳහා පිටුබලය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එස්පීඩී ය විසින් පිටුවහල් කරන ලද නියෝජිතයන් විසිනි. කෙසේ වෙතත් යූඑස්පීඩී ය 1918 දී ඊබර්ට් ගේ ආණ්ඩුවට ඇතුළු වී එහි නිරුවත වසා ගැනීමට සහය වන වාමාංශික කඩතුරාවක් ලෙස කටයුතු කරන ලදී.


images

කේපීඩී හි ආරම්භක ලියවිල්ල

කේපීඩීයේ පරිශ්‍රමය වන්නේ හොහෙන්සොලර්න් රෙජීමය වෙනුවට ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ආදේශ කිරීමට නොව ඒ වෙනුවට ධනේශ්වර පාලනය පෙරළා දැමීම බව රෝසා ලක්සම්බර්ග් විසින් සම්පාදනය කරන ලද කේපීඩී හි ආරම්භක ලියවිල්ල ඉතා පැහැදිලි ලෙස අවධාරණය කළේ ය. නොවැම්බර් 9 වනදා හොහෙන්සොලර්න් රෙජීමය බලයෙන් පහ කෙරී කම්කරුවන්ගේ සොල්දාදුවන්ගේ කවුන්සිලයන් තෝරා පත් කර ගැනුණු අතර වැඩපිළිවෙළ මෙසේ සඳහන් කළේ ය.

 “නමුත් හොහෙන්සොලර්න්වරුන් යනු අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ සහ ජර්මානු වංශාධිපතින්ගේ ඉදිරි කණ්ඩායම හැර ඊට වඩා වැඩියමක් නොවේ. ප්‍රන්ශයේ, රුසියාවේ, එංගලන්තයේ, යුරෝපයේ සහ ඇමරිකාවේ මෙන් ජර්මනියේ ද ලෝක යුද්ධයට වගකිව යුතු සැබෑ අපරාධකරුවන් වන්නේ ධනේශ්වරයේ පන්ති පාලනය යි. සමූල ඝාතනයේ සැබෑ පොලඹවන්නා වන්නේ සියලු ම රාජ්‍යයන් හි ධනපතියන් ය. මිලියන ගණනක් දුම් දමන මිනිස් බිලි ගිල දමන ලේ වැකි බොක්ක සහිත කෑදර බාල් දෙවියා වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය යි.”



විකල්පයන් වූයේ, ප්‍රතිසංස්කරණය හෝ විප්ලවය නොව සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය බව වැඩපිළිවෙළ අවධාරණය කළේ ය.

“ලෝක යුද්ධය විසින් සමාජයන් මෙම තෝරාගැනීම සමග අභිමුඛ කරවයි: එක්කෝ ධනවාදය, නව යුද්ධයන් දිගට ම පවත්වාගෙන යෑම සහ ව්‍යාකූලත්වයට සහ අරාජිකත්වයට ඉතා ඉක්මනින් පිරිහීම, හෝ ධනපති සූරාකෑම විනාශකර දැමීම... ධනපති සමාජයේ ගරා වැටුණු බල කඳවුරුවලට ඉහළින් බිත්තියේ කොටා ඇති ගිනියම් අකුරු වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඇති වචනයි: සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය”


විරුද්ධවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී අධිෂ්ඨානය අවතක්සේරු කිරීමේ විපාකය


ලක්සම්බර්ග් ගේ අනතුරු ඇඟවීම් වසර දාහතරකට පසුව තහවුරු වීමට නියමිතව තිබුණි. වයිමාර් ජනරජය ජයග්‍රාහී ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක නිෂ්පාදනයක් නොව, ප්‍රති විප්ලවවාදී ප්‍රචණ්ඩත්වයක නිෂ්පාදනයකි. ලක්සම්බර්ග් ගේ සහ ලිබ්නෙක්ට් ගේ ඝාතන අවසාන වශයෙන් නාසීන් බලයට ඒමට තුඩු දුන් වර්ධනයක් ආරම්භ වීමට හේතු විය. ඔවුන් පදනම් වූයේ ද ඊබට් රෙජීමය විසින් මුදාගෙන තිබූ සහ ශක්තිමත් කර තිබූ සමාජ බලවේග මත ම ය.


f51e7654 888b 401c a856 51900a207a0d
හිට්ලර්ගේ පැරා-මිලිටරිය වූ “එස්ඒ” මතුවී පැමිණියේ ෆ්රෙයිකෝප්ස්වරුන්ගෙනි. ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් ගේ ඛේදවාචකයේ එක් කොටසක් වූයේ ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී අධිෂ්ඨානය ඔවුන් විසින් අවතක්සේරු කිරීමයි. එසේ නොවුනානම්, ඔවුන්ව අත්අඩංගුවට ගත් අයට අසු නොවී සීටීමට, වඩා හොඳ ක්‍රියාමාර්ග සහ ආරක්ෂක පියවර ඔවුන්ට තෝරා ගන්නට තිබුණි.


ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් 1919 දී දිවිගලවා ගත්තේ නම්...

තමන්ගේ වඩාත් වැදගත් නායකයන් දෙදෙනාගේ මරණය කේපීඩී යට විනාශකාරී පහරක් විය. අවුරුදු දෙකක් තුළ මිලියන කාලක පමණ සංවිධානයක් බවට සීග්‍රයෙන් වර්ධනය වූ තරුණ පක්ෂය තුළ පැහැදිලිකමේ සහ තහවුරු වීමේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියට එමගින් බාධා පැමිණුණි. එමෙන්ම එය තීරණාත්මක විප්ලවීය අවස්ථා තුළ පක්ෂය දුර්වල ද කළේ ය. උදාහරණයක් ලෙස, තීරණ ගැනීමට නොහැකි හෙන්රික් බ්‍රැන්ඩ්ලර් වෙනුවට එහි නායකත්වයේ රෝසා ලක්සම්බර්ග් හෝ කාල් ලිබ්ක්නෙක්ට් සිටියේ නම් 1923 ඔක්තෝබර් මාසයේ කේපීඩී ය බලය ගන්නට තිබූ බවට ඕනෑ තරම් සාධක ඇත.

ලක්සම්බර්ග් සහ ලිබ්නෙක්ට් 1919 දී දිවිගලවා ගත්තේ නම්, ජර්මානු ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසය ද වෙනස්වන්නට තිබුණි. ජර්මනිය තුළ ජයග්‍රාහී සමාජවාදී විප්ලවයක් සෝවියට් සංගමය එහි හුදකලා වීමෙන් නිදහස් කිරීමට ඉඩ තිබුන අතර එමගින් නිලධාරී තන්ත්‍රයේ වර්ධනය සහ ස්ටාලින්ගේ නැගී සිටීමට හේතු වූ වඩාත්ම වැදගත් සාධකය ඉවත්වන්නට තිබුණි.

කේපීඩී ය, සම්මුති විරහිත ජාත්‍යන්තරවාදී රෝසා ලක්සම්බර්ගේ නායකත්වය යටතේ, ස්ටාලින් ගේ ජාතිකවාදී ක්‍රියාමාර්ගයට හිස නැමීම හෝ 1933 හිට්ලර් හට බලයට ඒමට මග විවර කළ ස්ටාලින්ගේ සමාජ ෆැසිස්ට්වාදය පිළිබඳ පිළිවෙතට සහය දීම සිදුවිය නොහැක්කකි. නාසීන්ට එරහිව “සමාජ ෆැසිස්ට්වාදී” එස්පීඩී ය සමග එක්සත් පෙරමුණක් වෙනුවෙන් සටන් කිරීමට ස්ටාලින් සහ ඔහුගේ ජර්මානු ආදේශකයා වන තල්මාන් ප්‍රතික්ෂේප කිරීම කම්කරු පන්තිය බෙදා වෙන් කොට අඩපණ ක‌ළේ ය. සියදහස් ගණනක් සාමාජිකයින් සහ මිලියන ගණනක් ඡන්ද දායකයින් සිටි කේපීඩීයේ නිවැරදි පිළිවෙත මත පදනම්ව කම්කරු පන්තියට හිට්ලර් බලයට එම වළක්වාගැනීම හැකිවන්නට තිබුණි.



රෝසා ලක්සම්බර්ග් ගේ මරණයෙන් වසර සීයකට පසුව, දේශපාලන ප්‍රවණතා ගණනාවක්, ඇය වාමාංශික ප්‍රතිසංස්කරණවාදියකු හෝ ස්ත්‍රීවාදිනියක ලෙස මූර්තිමත් කිරීම හරහා, ඇය සමග පෑහීමට උත්සාහ ගනිමින් සිටියි.


යථාර්ථයේ දී ලක්සම්බර්ග් යනු...

ලක්සම්බර්ගේ දේශපාලනයට වඩා නොස්ක් සහ ඊබට් ගේ දේශපාලනයට වඩා සමීප වාමාංශික පක්ෂයේ නායකයින් මෙම වසරේ නැවත වරක් සම්මුති විරහිත විප්ලවවාදිනියගේ සොහොන වෙත රතු කානේෂන් තැබීම සඳහා යන වන්දනා ගමන ගියේ ය. සංස්කෘතිය පිළිබඳ බර්ලීන රාජ්‍ය සෙනෙට් සභික වාමාංශික පක්ෂයේ ක්ලවුස් ලෙඩර්  විසින් Zitty (සිටී) සඟරාවට පැවසුවේ ලක්සම්බර්ග් “සමාජ වෙනස පූර්න ප්‍රජාතන්ත්‍රීයකරණයේ සහ පරිවර්තනයේ ක්‍රියාවලියක් ලෙස හඳුනාගත් බවත් ව්‍යාපාර ද ඇතුළුව සමාජයේ සියලු ම විෂය ක්ෂේත්‍ර ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට උත්සාහ ගත්” බවත් ය.

කේපීඩී ය පිහිටුවීමේ ශතවර්ෂ පූර්ණ සංවත්සරය පිළිබඳ ප්‍රකාශනයක වාමාංශික පක්ෂයේ ඓතිහාසික කොමිසම අවධාරණය කළේ ලක්සම්බර්ගේ මරණයත් සමග “කේපීඩීය බෝල්ශෙවික් මොඩලය අනුගමනය නොකළ වාමාංශික-සමාජවාදී පක්ෂයක් බවට” වර්ධනය කිරීමේ හැකියාව විනාශ වූ බවයි.

යථාර්ථයේ දී ලක්සම්බර්ග් යනු “වාමාංශික-සමාජවාදී” ලෙස වාමාංශික පක්ෂය විසින් හඳුන්වන පිළිවෙත්වල නිර්දය විරුද්ධවාදිනියෙකි. ඇගේ ලේඛනවලින් වැඩි කොටසක් සමන්විත වූයේ එඩුවාඞ් බර්න්ස්ටයින්ට, කාල් කවුට්ස්කිට සහ පන්ති අරගලය තීව්‍ර වෙත්දී නියත ලෙස මාර්ග බාධකවල ධනේශ්වර පැත්තේ සිට ගත් එම පිළිවෙත්වල අනෙකුත් නියෝජිතයන්ට එරෙහි තර්ක විතර්කවලිනි.


දකුණට ගොස් තිබෙන වාමාංශික පක්ෂ


මේ යූඑස්පීඩී ය ඊබට් ආණ්වට ඇතුළු වී සති තුනකට පසු Die Rote Fahne (රතු කොඩිය ) පුවත් පතේ පළ කෙරුණු ලිපියක් පිළිබඳ උදාහරණයකි.

“ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නිසඟව ම දුර්වල දරුවකු වන අතර සම්මුතියකට එළඹීම එහි පැවැත්මේ සාරයයි. එය හැමවිට ම සිදුවීම් සහ වර්ධනවල පිටුපසින් ගාටයි; එය කිසි දිනක නායකත්වය ගත්තේ නැත. ජනතාව අතර ව්‍යාකූලත්වයට හේතුවන කුමන හෝ අපැහැදිලි මුළාවක, රැවටිල්ල පතුරවන, යුද්ධය අතරතුර විප්ලවවාදී විකල්පයේ නිරුවත් සාධක වහංගු කළ, සියලු ම ධනේශ්වරය ඔජ වඩවන වාක්‍ය ඛන්ඩ, ඔවුන්ගේ උනන්දු සහගත සහය දිනා ගනී. මේ තත්වයේ පවතින පක්ෂයක් හදිසියේ ම විප්ලවය සඳහා වන ඓතිහාසික තීරණවලට මුහුණ දුන් අතර දුර්මුඛ ලෙස අසමත් වීමට සිදු විය. දිනයේ ප්‍රයෝගික කර්තව්‍ය බවට අවසාන වශයෙන් සමාජවාදී ඉලක්ක පත් කළ, විප්ලවවාදී කම්කරුවන්ගේ කඳවුර සහ විවෘත මෙන්ම වෙස්වළා ගත් සමාජවාදයේ සහ විප්ලවයේ හතුරන් අතර තියුණු ම, වඩාත් ම නිර්දය වෙන්වීම, ඉහළ ම රාජකාරිය බවට පත් කළ පැයේ දී, ජනතාව ව්‍යාකූලකිරීමට සහ ද්‍රෝහීත්වයට පහසුකම් සැලසීමට, ස්වාධීන පක්ෂය වඩාත්ම භයානක ප්‍රතිවිප්ලවවාදයේ මධ්‍යස්ථානය සමග දේශපාලන හවුලකට ඇතුළු වීමට කඩිනම් විය.”



මෙම වචන යූඑස්පීඩී යටත් වඩා දකුණට ගොස් තිබෙන වාමාංශික පක්ෂය විස්තර කිරීමට ද යොදා ගත හැකි ය.


මානව ඉතිහාසයේ වඩාත් ම ප්‍රචණ්ඩ කාලවකවානුව

ස්ත්‍රීවාදය සහ සුළු ධනේශ්වර කව තුළ මේ වන විට ප්‍රචලිත අනන්‍යතා දේශපාලනයේ අනෙකුත් ස්වරූප සම්බන්ධයෙන් ලක්සම්බර්ග් අවඥාසහගත වන්නට තිබුණ බව පිළිගැනීමට විස්තර ප්‍රචාරකයින් ගණනාවකට බල කෙරී ඇත. එල්ක් ශුමිටර් විසින් ඩර් ස්පිගල් හී ලියූ ආකාරයට, උපත හෝ ලිංගිකත්වය, තරාතිරම හෝ ආගම හේතුකොට ගත් වරප්‍රසාද නොලත් තත්ත්වය පිළිබඳ වර්තමාන ඉල්ලා සිටීම ඇයව අප්‍රසන්න කරවන්නට ඉඩ තිබුණි. ලක්සම්බර්ග් ට අනුව පීඩාවට පත් කිරීමේ සියලුම ස්වරූප යටපත් කිරීම වෙන්කල නොහැකි ලෙස ධනපති ක්‍රමය පෙරළාදැමීම සමග බැඳී තිබුණි.

ලක්සම්බර්ගේ මරණයෙන් වසර සියයකට පසු, 1914-45 කාලය මානව ඉතිහාසයේ වඩාත්ම ප්‍රචණ්ඩ කාලවකවානුව බවට පත් කළ ධනපති ක්‍රමයේ සියලුම ප්‍රතිඝතිතාවයන් නැවත වතාවක් විදාරනය වෙමින් පවතී. ජාතිකවාදය, වෙලඳ යුද්ධය සහ යුද්ධ, ජාත්‍යන්තර සබඳතාවයන් මත ආධිපත්‍ය දරයි. අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් බලවේග, රාජ්‍යයේ පැහැදිලිව පෙනන හෝ සැඟවුනු සහයෝගය සහිතව ප්‍රචන්ඩකාරී ලෙස රටවල් ගනනාවක ක්‍රියා කරයි. ජර්මනිය තුල, සරනාගතයන් පිලිබඳ පිලිවෙත මෙහෙයවමින් සිටින්නේ අන්ත දක්ෂිනාංශික ඒඑෆ්ඩී ය විසින් වන අතර වැල්ඞ්මා පැබ්ස්ට් හට එය තම සාමාජික නිවස්නය ලෙස දැනෙන්නට වුවද ඉඩ තිබුණි. හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒජන්සි තුල දක්ෂිනාංශික අන්තවාදී ජාලයන් ක්‍රියාත්මක අතර රාජ්‍යයේ ඉහලම තරාතිරම් වලින් එයට සහයෝගය දක්වමින් සහ ඒවා හෑල්ලු කොට දක්වමින් සිටී.

b44d1b1c d9d6 42f1 97f5 b240dee26453

මෙය ලිබ්නෙක්ට් ගේ සහ ලක්සම්බර්ගේ උරුමයට දැවෙන යථා බවක් ලබා දෙයි. ලක්සම්බර්ග් 1918 දී සූත්‍රගත කළ ආකාරයට සමාජය නැවත වරක් “එක්කෝ නව යුද්ධ සහ ධනවාදය දිගට ම පවත්වාගෙන යෑම සහ ව්‍යාකූලත්වය හරහා අරාජිකත්වයට ඉතා ඉක්මනින් පිරිහීමට, හෝ ධනපති සූරාකෑම විනාශකර දැමීමට” අභිමුඛවී සිටී. අන් කවරදාටත් වඩා වැඩියෙන් මානව වර්ගයාගේ අනාගතය, මාක්ස්වාදයේ උරුමය මත පදනම්ව සමාජවාදී ජාත්‍යන්තරවාදී පක්ෂයක් ගොඩනැගීම මත රඳා පවතී.

(පීටර් ෂ්වාට්ස්)

උපුටා ගත්තේ Gamine Wasantha Vandakoon Face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න