Language Switcher

V2025

මම වැඩියෙන්ම කැමතිඈ ගායනා කළ කුච්නා කහෝ ගීතයට - රනිල්

නිදහස් ඉන්දියාවේ සංගීත කලාව තහවුරු කිරීමට සහ ප්‍රසිද්ධියක් ලබා දීමට ප්‍රධාන වශයෙන් ක්‍රියා කල චරිත දෙක වන්නේ, ලතා මංගේෂ්කාර් මැතිණිය සහ ප්‍රවීන සංගීතවේදී රවී ශංකර් මැතිතුමන්.

ලතා මංගේෂ්කාර් මැතිණිය දශක 7කට වැඩි කාලයක් තුරුණු හඬින් ගැයුණු භාරතීය හඬ වන අතර, එමෙන්ම ඉන්දිය භාෂා 36 ක් ඇතුළු ලොව භාෂා රැසකින් සංගීත ලෝකය රසවත් කිරීමට ඇය සමත් වුනා.

ලතා මංගේෂ්කාර් මැතිණිය සංගීතඥවරියක් පමණක් නොව දේශපාලඥවරියක්ද වනවා. ඒ 1991 සිට 2005 දක්වා ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරමින්.

එහිදී විශේෂත්වයක් වුණේ ඉන්දීය පාර්ලිමේන්තුවේ හින්දි භාෂාවේ හොඳම කථිකයා සහ
හොඳම සංගීතඥවරිය එක විට එය නියෝජනය කිරීම.

ඒ ලොක් සභාවේ නියෝජනය කල හොඳම හින්දු කථිකයා වන හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි සහ රාජ්‍ය සභාව නියෝජනය කල සංගීතඥවරිය ලෙස ලතා මංගේෂ්කාර් මැතිණියයි.

මේ අතර හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි විසින් ඇයට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානය පිරිනමන ලදී.

එතුමියගේ සංගීත හැකියාව පිළිබඳව ඇගයීමට ලක් කලේ වජ්පායි අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් වන ජේ.ආර් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ලා විසින්ද ලතා මංගේෂ්කාර් මැතිණිය ඇගයීමට ලක්කල අතර, එමනිසා 1980 සිට 1986 දක්වා ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික මැයි දින රැළියට පැමිණ ඇය තම සුමිහිරී හඬින් ගී ගයා ලක්ෂ සංඛ්‍යාත ජනතාව රසවත් කල අයුරු මා සිහිපත් කරනුයේ ආදරණිය මතකයක් ලෙසය.

මම පළමුවෙන්ම ලතා මංගේෂ්කාර් මහත්මියගේ ගීතයක් රසවිඳිනු ලැබුවේ සැඩ සුලං චිත්‍රපටය සඳහා ආනන්ද සමරකෝන් විසින් රචනා කොට, එතුමිය විසින් ගායනා කල ” ශ්‍රී ලංකා… මා පියාදර ජයභුමි ” ගීතයයි.

අවසාන වශයෙන් ඇයගේ ගීත අතුරින් මා ඇලුම් කරන ගීත වන්නේ 1942 A Love story චිත්‍රපටය සඳහා ආර් .කේ.බර්නන් විසින් සංගීතවත් කල අනිල් කපුර් ගේ රංගනයෙන් වර්ණවත් වූ ”කුච්නා කහෝ” සහ ලගාන් චිත්‍රපටය සදහා ඒ .ආර් රහුමාන් විසින් සංගීතවත් කල ”o paalanhaari” යන ගීතයයි.

ලතා මංගේෂ්කාර් මහත්මිය බොලිවුඩ් ගීත කෝකිලාවිය පමණක් නොව සමස්ථ දකුණු ආසියාවේම ගීත කෝකිලාවිය බවට ඇය විසින් ලොවට පෙන්වා දුන් අතර අද ඇය අප අතර නැති වුනත් ඇයගේ සංගීතය අපව නිරන්තරයෙන්ම රසවත් කරනු ඇත.

රනිල් වික්‍රමසිංහ

- headline news