Language Switcher

V2025

ස්වීඩනය සෙක්ස් ක්‍රීඩාවක් ලෙස පිළිගත් පුවත අසත්‍යක් !

ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස නම් කළ ලොව පළමු රට ස්වීඩනය බවත් , ඒ ආශ්‍රිත යුරෝපානු තරගාවලියක් ද සංවිධානය කර එය ජුනි 08 ආරම්භ වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍යජාලා අතර සංසරණය වූ පුවත අසත්‍යක් බව අනාවරණය වෙයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් එරට සෞඛ්‍ය හා සමාජ කටයුතු අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා සම්මේලනයේ සන්නිවේදන හා මාධ්‍ය ප්‍රධානින් ප්‍රකාශ නිකුත් කර පවසා ඇත්තේ ස්වීඩනයේ කීර්තිනාමය විනාශ කිරීමට කළ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක් බව ය.

මේ පුවත ස්වීඩනය සහ එරට ක්‍රීඩා ක්ෂේත්‍රය අපකීර්තියට පත් කිරිමට සිදු කළ මඩ ව්‍යාපාරයක් ලෙසද ඔවුන් හඳුන්වා ඇත.

ලිංගිකත්වය කිසිදු අයුරකින් ක්‍රීඩාවක් ලෙස ස්වීඩනයේ පිළිගැනීමට ලක් වී නැති බවත්, එරට ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචි කිසිදු ලිංගික ක්‍රීඩා සංගමයක් නැති බවත් ස්වීඩනයේ සෞඛ්‍ය හා සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සන්නිවේදන හා මාධ්‍ය ප්‍රධානි කැරොලිනා ෆ්‍රැනී නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි කිසිදු ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් ස්වීඩනයේ නොපැවැත්වෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වීමේ පුවත පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එරට ක්‍රීඩා සම්මේලනයේ සන්නිවේදන හා මාධ්‍ය ප්‍රධානි ඇනා සෙට්ස්මන් සඳහන් කර ඇත්තේ එම පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පතුරුවා හැර ඇති ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙන බවට වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.