Language Switcher

V2025

රංගන ශිල්පිණි සමන්තාත් කොරෝනාවට බිලිවේ

ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පිනියක වූ සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව ඊයේ (03දා) අභාවප්‍රාප්ත වූවාය.

54 වෙනි වියේ පසු වූ සමන්තා, එසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ කොවිඞ් ආසාදිතව හොරණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙනුම ලැබූ සමන්තා ඈපාසිංහ, දයාසේන ලියනගේ ගේ මුහුද මුද්‍රා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළ අතර ලූෂන් බුලත්සිංහල හා බන්දුල විතානගේ ආදීන් විසින් ඇය පුංචි තිරයට එක් කළහ.

මවකගේ හීනය, අසල්වැසියන්ගේ සෙනෙහෙබර ඩොලී, නොමරෙන මිනිස්සු, යතුරු ලේඛිකාවක් වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ සමන්තා වලව්වේ හාමු, කෙළිමඬල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, තුන්වෙනි ඇහැ, ලොකු දුව, ඇයි ඔබ තනිවෙලා ඇතුළු චිත්‍රපට ගණනාවක ද රඟපෑවාය.

'රජෙක් වගේ පුතෙක්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස ඇය සරසවි සම්මානය පිදුම් ලැබුවාය.

කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය හෙයින් ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ය.

අනතුරුව දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණු ඇය ජීවත් වූයේ ඇයගේ මව සමගිනි.