සංචාරයක ව්‍යාපාරයේ නියෝජිතයන් අගමැති හමුවෙයි !

සංචාරයක ව්‍යාපාරයේ නියෝජිතයන් අගමැති හමුවෙයි !

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ව්‍යාපාරික ප්‍රජාව හමුවේ බල පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ප්‍රමුඛ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිත කණ්ඩායමක් පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු විය.

එහිදී එම නියෝජිත පිරිස තමන්ට බලපාන ගැටලූ බොහොමයක් අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළ අතර, එම ගැටලූ සහගත තත්ත්වයන් සමනය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ද ඉදිරිපත් කළහ.

මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා රජයට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිස හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රහාරයට සම්බන්ධ සෑම සැකකරුවකුම අල්ලා ගන්නා තෙක් එම අවදානම නොඅඩුව පවතින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ඉන් පසු රට නැවතත් සුපුරුදු තත්ත්වයට පත් වනු ඇති බව ද පවසා සිටියේය.

ත්‍රස්තවාදීන්ට මෙවන් දැවැන්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමට හැකි වීම පිළිබඳව ව්‍යාපාරික නියෝජිත පිරිස එහිදී විමතිය පළ කළහ. රටේ ආරක්‍ෂක අංශ ක්‍රියාකාරිත්වයේ හිඩැස් පිළිබඳව අදහස් දැක්වූ ඔවුහු ආරක්‍ෂක විධිවිධාන තර කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. රටේ දේශපාලන නායකයින් අතර සහයෝගීතාව සහ මනා සම්බන්ධතාව ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ එම නියෝජිත පිරිස, මෙම උවදුර මර්දනය කිරීම සඳහා දේශපාලන නායකත්වය විසින් සියලූ ආකාරයේ භේද පසෙක ලා සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගනිමින්, වාර්ගික ගැටුම් ඇති නොවන අයුරින් සෑම පුරවැසියකුගේම ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බව ද නියෝජිත පිරිස එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පවසා සිටියහ. මතභේද වළක්වා ගැනීම පිණිස, ගැටලූ සහගත තත්ත්වයන් නිරාකරණය කරගැනීම සඳහා නිළ මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස පත් කළ පුද්ගලයකු ලවා දිනපතා ආරක්ෂාව පිළිබඳ නිවේදන ඉදිරිපත් කිරීම සුදුසු යැයි නියෝජිත පිරිස යෝජනා කළහ.

තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා, ව්‍යාපාරික නියෝජිත පිරිස වෙත සිය ස්තූතිය පළකර සිටියේය. රජය කෙරෙහි සිය විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළේය. මේතාක් සිදුකළ අනර්ඝ මෙහෙවර සම්බන්ධයෙන් රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ වෙත සිය ප්‍රණාමය පළ කළ අග්‍රාමාත්‍යවරයා , ආර්ථික ක්‍රියාකාරකම් මනා ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මණින් ඇති කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කර සිටියේය. අවසාන වශයෙන් මෙම ත්‍රස්ත උවදුර මැඩපැවැත්වීම සඳහා රජයේ සියලූම අංශ අතර සහයෝගය වර්ධනය කරගත යුතු බව පෙන්වා දුන්නේය.

B37A0087

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න