චීනය විසින් දියත් කරන ලද නියමුවන් රහිත රහසිගත ගගන යානයක් ඉකුත් ජුනි මස ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් ගේ දැඩි නිරීක්ෂණයට බඳුන් විය. එම අභ්‍යවකාශ යානයෙන්, පෘථිවියේ සිට සැතපුම් සිය ගණනක් ඉහළ වූ, සිවිල් සහ හමුදා චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවකින් යුත් කක්ෂීය කලාපයකට කුඩා චන්ද්‍රිකාවක් මුදා හැර ඇත. අනතුරුව, එය තවත් චීන චන්ද්‍රිකාවක් වටා කක්ෂගත ව ගමන් කර, යළි මව් යානය හා එක් ව යැයි ඇමෙරිකානු අභ්‍යවකාශ නිරීක්ෂණ සමාගමක් වන ලියෝ ලැබ්ස් (LeoLabs) පවස යි.
තර්ජනය “අතිශය බරපතළ යි”
චීනයේ මෙම චන්ද්‍රිකා මෙහෙයුම හෝ එහි අරමුණ පිළිබඳව දැනට දත් තතු ඉතා අල්ප ය. කෙසේ වෙතත්, එක්සත් ජනපද හමුදාව ද එවැනිම, කුඩා ෂටලයකට සමාන, නියමුවන් රහිත රහසිගත අභ්‍යවකාශ යානයක් මෙහෙයවන්නේ ය.
මෙනම්, බීජිං සහ වොෂිංටනය, අභ්‍යවකාශය දක්වා පැතිර යා හැකි ගැටුමකට සූදානම් වෙමින් සිටින අයුරෙකි. වත්මන, චීන සහ එක්සත් ජනපද හමුදා අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය, සීග්‍ර වර්ධනීය පරිනාමයකට නතුව පවතී.
චීන හමුදා පර්යේෂකයින්, සතුරු හා අන් අභ්‍යවකාශ යානා හඹා ගොස් අත්අඩංගුවට පවා ගැනීමට හැකි අයුරින් සිය චන්ද්‍රිකා නිර්මාණය කර ඇති වග එකී පේටන්ට් බලපත්‍ර සම්බන්ධ ලේඛන, ප්‍රසම්පාදන දැන්වීම් සහ ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා සමාලෝචනය කිරීමෙන් අනාවරණය වෙයි. ඔවුහු, එවන් මෙහෙයුම් අතරතුර අභ්‍යවකාශයේ ඉන්ධන සැපයුම් පවත්වාගත හැකි සේවා පහසුකම් පද්ධති දක්වා විවිධ පරාසයේ තාක්ෂණයන් සංවර්ධනය කරමින් සිටිති. මේ වන විට, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය විසින්, සැක කටයුතු චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක ගමන් මාර්ගය ඔස්සේ, අභ්‍යවකාශයේ සිය ප්‍රථම ඒකාබද්ධ හමුදා මෙහෙයුම ද සිදු කර ඇත.
චීනය දැනටමත්, භූමිය මත හෝ උඩු ගුවනේ සිට අභ්‍යවකාශයේ සතුරු ඉලක්ක නිෂ්ක්‍රීය හෝ විනාශ කිරීමට සමත් අවි සහ අන් ශක්‍යතා සීග්‍රයෙන් සංවර්ධනය කරමින් ඇතැයි විශ්වාස කරන බව, ඇමෙරිකානු අභ්‍යවකාශ හමුදාවේ අභ්‍යවකාශ මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් චාන්ස් සෝල්ට්ස්මන් ඉකුත් ජුලි මස පැවසීය. එම තර්ජනය “අතිශය බරපතළ” බව ඔහු කියා සිටී.
සියලු හමුදා මෙහෙයුම්වලට දැඩි බලපෑමක්
නවීන යුධ පෙරමුණට අභ්‍යවකාශ ගත චන්ද්‍රිකා අත්‍යවශ්‍ය අංගයක් බව යුක්‍රේන සහ මැදපෙරදිග ගැටුම් හමුවේ ප්‍රත්‍යක්ෂ කරුණකි. දශක ගණනක සිට එමගින් පෘථිවියේ හමුදා වෙත සන්නිවේදන, නාවික හා බුද්ධි තොරතුරු සම්පාදනය කෙරේ. සාමාන්‍යයෙන් එවන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමෙන් අනතුරුව ස්ථාවර කක්ෂයක ගමන් කරන්නේය. වත්මන, ලොව බලවත් රටවල හමුදා, සිය චන්ද්‍රිකා, සක්‍රීය අවි වේදිකා ලෙස ද ප්‍රති-සංස්කරණය කරමින් සිටිති. සතුරු චන්ද්‍රිකාවක ක්‍රියාකාරීත්වය බාධා කිරීම හෝ ලේසර් කිරණ මගින් දෘශ්‍ය සංවේදක අකර්මණ්‍ය කිරීම වැනි ක්‍රමවේදයන්හි සිට, සතුරු අභ්‍යවකාශ යානා වෙත ප්‍රහාර එල්ල කිරීමේ සිට ඒවා සිය ග්‍රහණයට ගැනීම තෙක් පුළුල් හැකියාවක් එම චන්ද්‍රිකා සතුව පවතී.
එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහන යම් හෙයකින් අකර්මණ්‍ය වුවහොත්, එය පෘථිවි යුද ක්ෂේත්‍රයේ එක්සත් ජනපද හමුදා බලය තීරණාත්මක ලෙස අඩපණ කරනු ඇතැයි එරට ගුවන් හමුදාවේ ගුවන් යුද පාසලේ (Air War College) හිටපු මහාචාර්ය එවරට් ඩෝල්මන් පවසයි. එවැනි අන්තරායක දී නිරීක්ෂණ කටයුතු සිට මිසයිල ආරක්ෂණ පද්ධති තෙක් සියලු හමුදා මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල වන බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම, සිවිල් අරමුණු උදෙසා චන්ද්‍රිකා කක්ෂගත කිරීමට හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි සහ ඉතා වේගයෙන් කක්ෂ මාරු කළ හැකි අභ්‍යවකාශ යානා ( Spaceplanes), ඇතැම්විට සතුරු පාර්ශ්වයන් විසින් “අභ්‍යවකාශ ප්‍රහාරක යානා” ලෙස වරදවා හඳුනා ගත හැකි බවද ඔහු අනතුරු අඟවයි.
මිත්‍ර සන්ධානය ඇමෙරිකානු ප්‍රයත්නයට එක් වේ
පෘථිවි කක්ෂය දින දින වඩා කාර්යබහුල වෙමින් පවතින පසුබිමක, මෙම අභ්‍යවකාශ යුද තරගය තවදුරටත් උත්සන්න වෙමින් තිබේ. මෑතක කොටස් වෙළෙඳපොළට පිවිසි ස්පේස් එක්ස් (SpaceX) සමාගම මේ වන විට ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා 11,000ක් පමණ මෙහෙයවන්නේය. එමගින් අභ්‍යවකාශයේ, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන මහා පරිමාණ දත්ත මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබේ. චීනයද ඊට ප්‍රතිවාදී චන්ද්‍රිකා ජාල ඉදි කරමින් සිටී.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම් (Golden Dome) මිසයිල ආරක්ෂණ වැඩසටහන යටතේ අභ්‍යවකාශයේ සිට ක්‍රියාත්මක මිසයිල නාශක පද්ධති ස්ථාපිත කෙරේ. අනාගත යුද බිමට අවැසි තීරණාත්මක අභ්‍යවකාශ ශක්‍යතා තවදුරටත් සංවර්ධනය කිරීම එක්සත් ජනපද අපේක්ෂාවය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස සිදුකළ ඇමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මෙහෙයුමකදී, කොලරාඩෝ ප්‍රාන්තයේ කඳවුරක සිට ක්‍රියාත්මක වූ ඇමෙරිකානු අභ්‍යවකාශ හමුදා, චීනයේ ෂියාන් 12-01 (Shiyan 12-01) චන්ද්‍රිකාව, කිලෝමීටර් 83ක් පමණ දුරින් එක්සත් ජනපද හමුදා චන්ද්‍රිකාවට පහළින් ගමන් කරමින් සිටියදී, සිය හමුදා චන්ද්‍රිකා එම වර්ගයේ බ්‍රිතාන්‍ය චන්ද්‍රිකාවකට ඉතා ආසන්නයෙන් ගමන් කරවූ බව, අභ්‍යවකාශ බුද්ධි තොරතුරු සමාගමක් වන ස්ලිඞ්ෂොට් එරෝස්පේස් ( Slingshot Aerospace) පවසයි. එවැනි කක්ෂීය උසකදී එය සාපේක්ෂව ඉතා ආසන්න අතරමැදි දුරක් බව අභ්‍යවකාශ විශේෂඥයෝ පවසති.
බොහෝ අභ්‍යවකාශ මෙහෙයුම් රහසිගතයි
බීජිං වෙත යම් අනතුරු ඇඟවීමක් සිදු කිරීම එක්සත් ජනපද - බ්‍රිතාන්‍ය ඒකාබද්ධ සන්නද්ධ මෙහෙයුමේ අරමුණ විය. එමෙන්ම එය, මිත්‍ර සන්ධානය අතර පවතින සබැඳියාව සහ ඔවුන් සතු හමුදා අභ්‍යවකාශ ශක්‍යතා ප්‍රදර්ශනය කිරීමත්, බ්‍රිතාන්‍ය චන්ද්‍රිකාවට බාධා නොකරන ලෙස චීනයට අනතුරු ඇඟවීමත් පිණිස චීනයට සැල කළ නිසැක උපායමාර්ගික සන් කිරීමකි. තවද, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය මෙම මෙහෙයුම පිළිබඳ ප්‍රසිද්ධියේ නිවේදනය කළහ. එය, ' ඇස් පහ' ( Five Eyes) නම්, බුද්ධි තොරතුරු සන්ධානයේ සාමාජික රටවල් දෙකක් අතර සිදු කළ බවට අනාවරණය වූ ප්‍රථම ඒකාබද්ධ මෙහෙයුම ද විය. කෙසේ වෙතත්, චීන අභ්‍යවකාශ යානයට සත්‍ය වශයෙන්ම කෙතරම් සමීපව එම මෙහෙයුම සිදු කෙළේ දැයි, ඔවුන් විසින් අනාවරණය කර නැත. අභ්‍යවකාශ මෙහෙයුම්හි බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පවත්වාගත යුතු රහස්‍ය භාවය හේතුවෙන්, එවැනි බොහෝ අභ්‍යවකාශ මෙහෙයුම් තවමත් සිදු කෙරෙන්නේ රහසිගතව ය.
මෙම මෙහෙයුම මගින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේදී මිත්‍ර සන්ධානය සමග එකාබද්ධව කටයුතු කිරීමේ ශක්‍යතා ප්‍රදර්ශනය කළ බව, එක්සත් ජනපද අභ්‍යවකාශ විධානය පවසයි. ආරක්ෂක හමුදා මෙහෙයුම් සඳහා අභ්‍යවකාශය දින දින ඉතා තීරණාත්මක සාධකයක් බවට පත්වෙමින් ඇති බවත්, සිය, ජාතික හා හමුදාමය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානිය සහ එහි හවුල්කාරී රටවල් විසින් ඉහළ පෙළ අභ්‍යවකාශ ආරක්ෂක මෙහෙයුම් සිදුකරමින් ඇති බවත්, ඒ පිලිබඳ නිකුත් කළ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක දැක්වේ.
ඇමෙරිකානු අභ්‍යවකාශ හමුදා බලකායේ මීළඟ මෙහෙයුම් ප්‍රධානී ලෙස පත් කිරීමට නියමිත ලුතිනන් ජෙනරාල් ඩග්ලස් ෂීස් ද එම මෙහෙයුමට එක්ව සිටීම සුවිශේෂී කරුණකි. මෙහෙයුමෙන් අනතුරුව පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ හෙතෙම, අන් රටක හෝ සතුරු හෝ හඳුනා නොගත් අභ්‍යවකාශ යානයකට ආසන්නව මෙහෙයුම් සිදු කිරීමෙන්, එවන් අන්තරායකාරී අවස්ථාවක මිත්‍ර රටකට අයත් චන්ද්‍රිකාවක් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න තහවුරු කර ගැනීමටත්, එකී විරුද්ධ පාර්ශ්වය යම් සතුරු මෙහෙයුමක නිරත වන්නේදැයි විමසීමටත් හැකියාව පවතින බව පැවසී ය. මෙම මෙහෙයුම ඉන්දු-පැසිෆික් කලාපයේ සිදු කළ නාවික හමුදා මෙහෙයුමකට සමගාමීව සිදු කළ බව බ්‍රිතාන්‍යය මෑතකදී අනාවරණය කළේ ය.
අභ්‍යවකාශය අවියෙන් සන්නද්ධ කිරීමට චීනයේ දැඩි විරෝධය
පෘථිවි හමුදා මෙහෙයුම් සඳහා සහාය පිණිස මතු නොව, එම මෙහෙයුම්හි ප්‍රතිඵල කෙරෙහිද 'අභ්‍යවකාශ භාවිතය' අර්ථාන්විත බව එවක, බ්‍රිතාන්‍ය අභ්‍යවකාශ විධානයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් පෝල් ටෙඩ්මන් අප්‍රේල් මාසයේ පැවැති සමුළුවක දී පැවසී ය. එක්සත් ජනපද - බ්‍රිතාන්‍ය ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳ නිශ්චිත තොරතුරු තමන් සතුව නැතැයි, චීන විදෙස් අමාත්‍යාංශය කියයි. කෙසේ වෙතත්, පුළුල්ව ගත් කල, අභ්‍යවකාශය අවියෙන් සන්නද්ධ කිරීමට චීනය දැඩි ලෙස විරෝධය පළ කරන අතර, එය සාමකාමී කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට සහාය දක්වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ අභ්‍යවකාශයේ ස්ථාපිත කළ හැකි අවි ඇතුළු සන්නද්ධ වැඩසටහන් ඔස්සේ, වොෂිංටනය අනවශ්‍ය අවි තරගයක් 'උසිගන්වමින්' සිටින බවටද චීනය චෝදනා කරන්නේ ය.
ෂියාන් 12-01 චන්ද්‍රිකාවක් සහ එය උඩු ගුවනට රැගෙන ගිය චීන අභ්‍යවකාශ යානයක් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් තම සන්තකයේ නොමැති බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි. කෙසේ වෙතත්, චීනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා (Xinhua) වාර්තා පේනවා දෙන්නේ, එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ පරිසරය පිළිබඳ සමීක්ෂණ සිදුකරන බවත්, අභ්‍යවකාශය සාමකාමී ලෙස භාවිත කිරීමට සහාය වන පර්යේෂණාත්මක යානයක් ලෙස වාහක මව් යානය එම මෙහෙයුම් සඳහා සහභාගී වන බවත් ය. සිය අභ්‍යවකාශ යානයද විවිධ පරීක්ෂණ සහ පර්යේෂණාත්මක මෙහෙයුම් රැසක් සිදුකරමින් සිටින බව, ඊට පිළිතුරු වශයෙන් එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදා බලකාය කියා සිටී.
අභ්‍යවකාශ අවි
නවීන යුධ කටයුතු සඳහා අභ්‍යවකාශයේ ඇති වැදගත්කම, එක්සත් ජනපද අභ්‍යවකාශ විධානයේ ප්‍රධානී, ජෙනරාල් ස්ටීවන් වයිටින් විසින් අවස්ථා ගණනාවකදී අවධාරණය කර තිබේ. අත්‍යවශ්‍ය අභ්‍යවකාශ පද්ධති වෙත එක්සත් ජනපදය, ප්‍රවේශ වීම බාධා කිරීමට සහ වැළැක්වීමට මෙන්ම, එරට හමුදා මෙහෙයුම්වල කාර්යක්ෂමතාව අඩපණ කිරීමට, සතුරු පාර්ශ්ව විවිධ තාක්ෂණ පහසුකම් සහ මෙවලම් සංවර්ධනය කරමින් ඇතැයිද ඔහු විසින් අනතුරු අඟවා ඇත. එහිදී, සන්නද්ධ ගැටුමක ආරම්භයෙදීම සතුරු පාර්ශ්ව විසින් එක්සත් ජනපද අභ්‍යවකාශ සම්පත් ඉලක්ක කිරීමේ දැඩි සම්භාවිතාවක් පවතින බව ද ඔහු විසින් අවධාරණය කර තිබේ.
එවැනි තර්ජනවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වඩාත් සක්‍රීය යුද මෙහෙයුම් ප්‍රවේශයක පිහිටා කටයුතු කළ යුතු බව වයිටින් පවසයි. එනම්, එක්සත් ජනපද අභ්‍යවකාශ පද්ධති ආරක්ෂා කිරීම පමණක් නොව, අවශ්‍ය අවස්ථාවක සතුරු අභ්‍යවකාශ සම්පත් බාධා කිරීමේ හෝ ප්‍රහාරයෙන් විනාශ කිරීමේ සූදානමය. ඒ සඳහා සතුරු පද්ධති නාශක අභ්‍යවකාශ යානා ඇතුළු අනෙකුත් අභ්‍යවකාශ අවි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද ඔහු විසින් පෙන්වා දී ඇත.
“මතු යම් දවස අභ්‍යවකාශයේ හට ගත හැකි මේ ගැටුමට වුව, අප දැන් තියා හොඳ සූදානමක පැවතිය යුතුයි. යම් හෙයකින්, අපගේ ප්‍රතිරෝධී උපාය අසාර්ථක වුවහොත්, සටන් කර ජයග්‍රහණය කළ යුතුයි," ඉකුත් අප්‍රේල් මස පැවැති සමුළුවක දී හෙතෙම පැවසී ය. අභ්‍යවකාශ ගැටුමක දී, භූමියේ සිට ක්‍රියාත්මක ලේසර් අවි, ඉලෙක්ට්‍රොනික සංඥා බාධක සම්ප්‍රේෂක, සයිබර් ප්‍රහාර සහ චන්ද්‍රිකා නාශක මිසයිල ඇතුළු විවිධ තර්ජන පවතින බව, බටහිර යුද විශ්ලේෂකයෝ පවසති.
තර්ජන එල්ල කළ හැකි තාක්ෂණය දැනටමත් සූදානම්
කක්ෂගත මෙහෙයුම් හි දී එක්සත් ජනපදය, චීනය සහ රුසියාව යන රටවල් ත්‍රිත්වයම, අන් අභ්‍යවකාශ යානා වෙත ළඟා ව, ඒවා පරීක්ෂා කිරීමේ උපායයෙන් යුත් කක්ෂ මග වෙනස් කළ හැකි චන්ද්‍රිකා යොදා ගනිති. එවැනි පද්ධති, ලේසර් හෝ ප්‍රහාරක ප්‍රක්ෂේපක වැනි අවි රැගෙන යා හැකි ආකාරයට අනුවර්තනය කළ හැක. බීජිං සහ මොස්කව් රජයන් එක්සත් ජනපද සහ එම සන්ධානයේ කක්ෂගත චන්ද්‍රිකාවන්ට තර්ජන එල්ල කළ හැකි තාක්ෂණයන් දැනටමත් නිපදවා ඇත.
චන්ද්‍රිකා නාශක න්‍යෂ්ටික අවියක් රැගෙන යා හැකි චන්ද්‍රිකාවක් නිෂ්පාදනය කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් රුසියාවට ද චෝදනා එල්ල කෙරේ. කෙසේ වෙතත්, මොස්කව් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. රාජ්‍ය හමුදා දැන්, චන්ද්‍රිකා යනු අභ්‍යවකාශයේ ගමන් කරමින් සටන් කළ හැකි අවි පද්ධති ලෙස සලකන බව, පසුගිය වසර අගභාගයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ටෙඩ්මන් පැවසීය. අභ්‍යවකාශයේදී තම උපායමාර්ගික වාසිය රඳවා ගැනීම පිණිස බටහිර රටවල් දැඩි උත්සාහයක නිරතව සිටිති. කෙසේ වෙතත්, ඇතැම් ගෝලීය විශේෂඥයන්ට අනුව, ගගන යානා මගින් අභ්‍යවකාශයේ සිට සතුරු චන්ද්‍රිකා වෙත ප්‍රහාර දක්වනවාට වඩා පෘථිවියේ සිට චන්ද්‍රිකා ක්‍රියාකාරීත්වයට බාධා පැමිණවීම තව දුරටත්, ඉතා පහසු කාර්යයකි.
එල් 3හැරිස් ටෙක්නොලොජීස් (L3Harris Technologies) නම් සමාගමක් විසින්, භූමියේ සිට අභ්‍යවකාශය වෙත ක්‍රියාත්මක කළ හැකි විද්‍යුත්-චුම්බක අවියක් හඳුන්වා දී ඇතැයි, එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදා බලකාය ඉකුත් ජුනි මස ඉතා දුර්ලභ අනාවරණයක් සිදු කළේය. සතුරු පාර්ශ්වයේ චන්ද්‍රිකා අකර්මණ්‍ය කිරීමට හෝ එහි ක්‍රියාකාරීත්වයට බාධා කිරීමට ඊට හැකියාව තිබේ.
අභ්‍යවකාශ බලු පොර සහ දඩයම් චන්ද්‍රිකා
ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් ලොව ප්‍රමුඛතම අභ්‍යවකාශ බලවතා ලෙස පවත්නේය. එහෙත්, චීනය සිය චන්ද්‍රිකා සංඛ්‍යාව වර්ධනය කිරීම මෙන්ම, එමගින් සිදු කෙරෙන මෙහෙයුම් නවීකරණ ව්‍යාප්තිය ද කඩිනම් කර සිටී.
චීනය උඩුගුවනේ රඳවා ඇති සිය චන්ද්‍රිකා, කක්ෂීය 'බලු පොරයක' මෙහෙයවන අයුර එක්සත් ජනපද නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. එහිදී චන්ද්‍රිකා කිහිපයක් එකිනෙක ආසන්නයේ සම්බන්ධීකෘතව එකවර ගමන් කරයි. එහි දී, අක්‍රිය ව පවතින චන්ද්‍රිකාවක් ග්‍රහණයට ගෙන එය වෙනත් කක්ෂයකට රැගෙන යාමේ චීන ශක්‍යතා නිරීක්ෂණයව ඇත. පසුගිය වසරේ, චීනය කක්ෂගත චන්ද්‍රිකාවකට අභ්‍යවකාශයේ සිට ඉන්දන පිරවීමේ අභ්‍යාසයක ද නිරතව ඇතැයි, එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදා බළකා නිලධාරියෙක් පැවසීය. එය, චන්ද්‍රිකා යුද හරඹයේ විශාල පෙරළියකි. සාමාන්‍යයෙන්, චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කෙරෙන අවස්ථාවේ රැගෙන යන ඉන්ධන ප්‍රමාණය මත එහි මෙහෙයුම් සීමා වේ. එබැවින්, අභ්‍යවකාශ යානයකට අභ්‍යවකාශයේදීම ම යළි ඉන්දන සපයා ගත හැකි වීමේ සම්භාවිතාව මත, එය 'දඩයම්' චන්ද්‍රිකාවක් ව තව දුරටත් ක්‍රියාත්මක වන්නේද, නොඑසේව, සතුරාගේ පහසු ගොදුරක් බවට පත්වන්නේද යන්න තීරණය වනු ඇත.
මේ අතර, චීන සමාගම් නව අභ්‍යවකාශ ශක්‍යතාවන් හිමිකරගැනීමේ අඛණ්ඩ පර්යේෂණ ක්‍රියාවලියක ද නිරතව සිටිති. එම පේටන්ට් බලපත්‍ර සම්බන්ධ ලේඛනවලට අනුව, එරට හමුදා ගුවන් යානා නවීකරණ සමාගමක් විසින්, අභ්‍යවකාශයේ භාවිතා කළ හැකි නව තාක්ෂණයක් හඳුන්වා දී ඇති බව අනාවරණය වේ. එමගින් අභ්‍යවකාශයේ සතුරු යානයක් හඹා යන අවස්ථාවේ ඉන්දන කාර්යක්ෂමතාව නිවැරදිව රඳවා, සිය කක්ෂීය ගමන් මග ස්වයංක්‍රීයව ගණනය කිරීමට චන්ද්‍රිකාවන්ට හැකියාව ලැබේ. එමෙන්ම, ආරක්ෂක සහ එම මෙහෙයුම් කටයුතු සඳහා චන්ද්‍රිකා සිය ගණනක් එකවර කළමනාකරණය කළ හැකි, දැනටමත් අවසන් අදියරේ පවතින පද්ධතියක් පිළිබඳවද, චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලය (National University of Defense Technology) විසින් ප්‍රකාශයට පත් කරන ලද තාක්ෂණ හුවමාරු නිවේදනයක දැක්වේ.
මේ අතර, අභ්‍යවකාශයේ ගමන් කරන චන්ද්‍රිකා කිහිපයක් එක්ව, මුදා හැරෙන දැලක් භාවිතයෙන් සතුරු ඉලක්ක ග්‍රහණය කිරීමේ පර්යේෂණයක් පිළිබඳව චීන විශ්වවිද්‍යාලයකින් වාර්තා වේ. එහෙත්, මෙතෙක් ඒ පිලිබඳ පූර්ණ නිල අනාවරණයක් සිදුව නැත. කක්ෂයේ දී සිදුකළ හැකි යළි ඉන්ධන පිරවීම සහ වෙනත් චන්ද්‍රිකාවක් ග්‍රහණයට ගැන්ම වැනි ශක්‍යතා හමුදාමය නොවන කටයුතු සඳහා ද භාවිත කළ හැකි ය. අභ්‍යවකාශය පාලනය කිරීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස උපායමාර්ගික මූලාරම්භයක් බවත්, එය යුධ ජයග්‍රහණයේ අත්‍යවශ්‍ය සාධකයක් බවත්, චීන මහජන විමුක්ති හමුදාවේ නිල පුවත්පත වන පී.එල්.ඒ. ඩේලි ( PLA Daily ) 2022 වසරේ පළ කළ කතුවැකියක සඳහන් ය.
සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
