එක්සත් ජනපද හමුදා ඊයේ (13) රාත්‍රී අඛණ්ඩ තෙවන දිනටත් ඉරාන ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ. ඉරාන නෞකා නැවතත් එක්සත් ජනපද තහනමට ලක් කෙරුණු අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන්, ඒ ඕසේ යාත්‍රා කෙරෙන නෞකා වෙතින් 20%ක ගාස්තු අයකිරීමක් සිදු කෙරෙන බව දැනුම් දුන්නේ ය.
එක්සත් ජනපද ජනපතිවරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශන අනුව, ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව, මධ්‍යම විධානය පැවසී ය. ඊයේ එරට සලෙම් ගුවන් විදුලි ජාලයේ (SNR) "හියු හියුවිට් ෂෝ" වැඩසටනට එක්වූ ජනපති ට්‍රම්ප්, ඉරානයට අතිශය දරුණු ප්‍රහාරයක් එල්ල කරන බව කීය. "අද රෑත් හෙටත් අපි උංට රිදෙන්න දෙනවා," යැයි ඔහු පැවසීය. පසුව, ධවල මන්දිරයේ දී මාධ්‍යවෙදීන් ඇමතූ ජනපතිවරයා, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරාන සතුරු ඉලක්ක වෙත අඛණ්ඩව පහර දෙන බව කියා සිටියේ ය.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඕමාන කලාපයේ දකුණු මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබූ, එමිරේට්ස් රාජ්‍යයට අයත් මොම්බාසා සහ අල් බහියා යන ඉන්දන නෞකා දෙක වෙත ඉරාන කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පසුව නිවේදනය කළේ ය. ඉන් එක් නෞකා කාර්යමණ්ඩල සාමාජිකයකු සහ තවත් අට දෙනකු තුවාල ලද බව ද වාර්තා විය. තම අණසකට එදිරිව යාත්‍රා කළ ඉන්ධන නෞකා දෙකක් වෙත පහර දුන් බව, ඉරාන විප්ලවීය ආරක්ෂා බලකාය පැවසී ය.
මේ අතර, බහරේන් රාජ්‍යය වෙත එල්ල වූ ඉරාන ගුවන් ප්‍රහාර, එම ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් ව්‍යර්ථ කෙරිණි.
ඉරානයේ බන්ඩර් අබ්බාස් වරාය නගරය, කිෂ් සහ ඛෂෙම් දිවයින් මෙන් ම, ගල්ෆ් කලාපයේ අබු මූසා දිවයින ද එක්සත් ජනපද ප්‍රහාරවල ඉලක්ක විය. එම ස්ථාන වෙතින් පිපිරීම් වාර්තා වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. එරට බුෂෙර් ප්‍රාන්තයේ ජාම් නගරයෙන් ද පිපිරීම් වාර්තා වූ බව ඉරාන ෆාර්ස් පුවත් ඒජන්සිය පැවසී ය. පැය තුනක් තිස්සේ අඛණ්ඩව එම පිපිරීම් වාර්තා විය.
නිරිතදිග ඉරානයේ ඛුසෙස්තාන් ප්‍රාන්තයට අද (14) උදෑසන එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල විය. ඉන් පුද්ගලයින් සිවු දෙනකු තුවාල ලබා ඇති බවත්, මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත්, ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) දැන්වී ය. දකුණු ඉරානයේ බුෂෙර් නගරයෙන් ද ප්‍රබල පිපිරීම් වාර්තා වේ.
එක්සත් ජනපද ප්‍රහාරක නෞකාවක් ඉලක්ක කර කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, කුවේට් හි එක්සත් ජනපද ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවත්, ඉරාන විප්ලවීය බලකාය පැවසීය. හෝර්මුස් ඉහළ පියාසර කළ එක්සත් ජනපද MQ-1ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළූ බව ද ඔවුහු කියා සිටියහ. අද උදෑසන බහ්රේන් වෙතින් ද ආරක්ෂක සයිරන් හඬ වාර්තා විය.
ඊයේ ලෝක වෙළඳපොළ ඉන්ධන මිල 9%කට අධික ප්‍රතිශතයකින් ඉහළ ගියේ ය.
සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
