Language Switcher

V2025

මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"

ප්‍රසංග වේදිකාවක් සහිත මධ්‍යම චතුරශ්‍රයක් සහ කුඩා පල්ලියක් ඇති ටැන්සිටරෝ (Tancítaro) පිටතින් බලනවිට සැම අතින්ම මෙක්සිකෝ නගරයක්.

මා එහි ළඟාවන විට මරියාචි සංගීත කණ්ඩායමක් වාදනය කරමින් හිටියා. ඒ සංගීතය, ටැන්සිටරෝවාසීන් දෑස් යොමා සිටි අවමගුල් පෙරහැරක කොටසක්.
නමුත් මේ කුඩා නගරය මොකක් නමුත් වෙනස් ස්වරූපයක් දැරුවා. මෙක්සිකෝවේ සෑම තැනම දකින්නට ලැබෙන පික්අප් ට්‍රක්රථවලට වඩා මෙහි ඇති ඒවා වඩා දීප්තිමත් වගේම අලුත්.

ටැන්සිටරෝවලට බලය ලැබී තිබෙන්නේ අන් කිසිවකින් නොව, අලිගැටපේරවලින්. මෙක්සිකෝවෙ කොළපාට රත්‍රන් ලෙස හැඳින්වෙන අලිගැටපේර නිසා මෙහි වැසියන් පොහොසතුන් වෙලා. ඒ නිසාම මේ නගරය හඳුන්වන්නෙ මෙක්සිකොවේ අලිගැටපේර රාජධානිය කියායි.

30,000ක පමණ ජනතාවකගෙන් සමන්විත මේ නාගරික බලප්‍රදේශය, ඇමෙරිකාවේ කැලිෆෝනියාහි මුළු අලිගැටපේර අවශ්‍යතාව සපුරාලීමට තරම් අලිගැටපෙර නිපදවනවා.

 98987598 855b228d ddd0 4452 9c94 30eacf19bb50
මෙක්සිකෝවෙ "කොලපැහැ රත්‍රන්"

මෙක්සිකෝව ලෝක අලිගැටපේර ඉල්ලුමෙන් 45%ක් පමණ නිෂ්පාදනය කරනවා. ඒ අතරින් වැඩියෙන්ම අලිගැටපේර වගාකරන්නෙ මිචුහකන් (Michoacán) ප්‍රාන්තයයි.

වසරකට මේ ප්‍රාන්තයෙන් පමණක් අලිගැටපේර බිලියන 2 ට ආසන්න ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනව.

අලිගැටපේර කර්මාන්තය විශාල ලාබදායී ක්ෂේත්‍රයක් වීම නිසා ම එය එය සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඉලක්කයක් බවට පත්වෙලා.

ටැන්සිටරෝවට ඇතුළුවන්නට තිබෙන්නේ මුර කපොලු රැසක් හරහායි. මෙහි ජනතාව ඒවා හඳුන්වන්නෙ පෙරහන් යන තේරුම ඇති ෆිල්ට්‍රොස් (filtros) නැතිනම් ෆිල්ටර්ස් (filters) ලෙසයි.

සමහර තැන් අන්තැන්වලට වඩා අවිධිමත්. වැලි කොට්ට කිහිපයක් තැනක ආවරණයක් පිටත කැඩුණු වාහන අසුනක වයෝවෘධ පුද්ගලයන් කිහිපදෙනෙක් හිඳගෙන සිටිනවා.

අප පසුකරගෙන එක් මුර කපොල්ලක පිකප් රථ කිහිපයක් නවතා තිබෙද්දී පිට හරහා එල්ලා ගත් රයිෆලයකින් සන්නද්ධව සිටි පුද්ගලයෙක් දුටුවා. මෙය හොඳින් ආයුධ සන්නද්ධ නගරයක්.

මිචුහකන්, 2006 දී "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය" ආරම්භ වූ ස්ථානයයි

එවක ජනපති ෆිලිපේ කල්ඩෙරොන් (Felipe Calderón) දියත් කළ උපාය මාර්යේ ඉලක්කය වුනේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය හමුදාව යොදා බිඳදැමීමයි.
නමුත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ ඝාතන විසඳනවා වෙනුවට, එම ජාලය කොටස් වලට කැඩී මත්ද්‍රව්‍ය වෙළෙඳාම අත්කරගැනීමට ඔවුනොවුන් අතර ගැටුම් උත්සන්න කිරීමට එය හේතුවුනා.

2007 සිට ආයුධ සන්නද්ධ පුද්ගලයන් එන්න පටන්ගත්තා" ටැන්සිටරෝ නගරාධිපති ආර්ටුරෝ ඔලිවේරා ගුටෙරස් පවසනවා.

" ප්‍රාදේශීය පොලීසියේ පාලනය නතුකර ගන්නා ලෙස ඔවුන් ප්‍රාදේශීය පාලනාධිකාරීන්ට පීඩනයක් එල්ලකළා. ඒවගේම මහජනයා බියවැද්දීම මගින් අවනත කරගන්නට උත්සාහ කළා. ඔවුන් ඉඩම් අත්පත් කරගනිමින් බියවැද්දීම් සහ ඝාතන කරන්නටවුනා, ගොඩක් පුද්ගලයන් අතුරුදහන්වුනා."

සක්‍රීය ඵලදායී පොලීසියක් නැති තත්ත්වයක් තුළ, සිය නගරවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොදු ජනයා සන්නද්ධ වීමට ගැනීම, 2013 දී මිචුහකන් "ස්ව-ආරක්ෂක කණ්ඩායම්" ආරම්භවීම දක්වා වර්ධනය වුනා.

ටැන්සිටරෝවෙදීත් එය ම සිදුවුනා.

නමුත්, මිචුහකන් ප්‍රාන්තයේ වෙනත් තැන්වල ස්ව-ආරක්ෂක කණ්ඩායම් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක්වීම හෝ රජයේ හමුදා විසින් අකර්මන්‍ය කරනු ලබද්දී ටැන්සිටරෝ වැසියන් වෙනස් දෙයකට පෙළඹුණා.

aligeta policeඅලිගැටපේර පොලීසිය

නගරයේ ප්‍රධාන චතුරශ්‍රයේ එක් පසෙක ටැන්සිටරෝ මහජන ආරක්ෂක අංශයේ මූලස්ථානය (CUSEPT) තිබෙනවා.

දේහාරක්ෂක ඇඳුම් ඇඟ ලූ සන්නද්ධ පුද්ගලයින් 9ක් හෝ 10ක් ඉන් පිටත සිටගෙන.

"ස්ව-ආරක්ෂක කණ්ඩායම් නගරය සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් මුදාගත්තා. පසුව රජයේ සහයෝගය ඇතිව අපි අලිගැට පේර නිෂ්පාදකයන් සමග එක්ව පොලීසියට බඳවාගැනීම් කළා" ටැන්සිටරෝ ආරක්ෂක මූලස්ථානයේ (CUSEPT) ප්‍රධානි හොසේ ඌගෝ සැන්චෙස් විස්තර කළා.

"මූලික අවශ්‍යතාව වුනේ නගර වැසියන්ගෙන් ම මේ හමුදාව නිර්මාණය කිරීමයි" ස්ව-ආරක්ෂක කණ්ඩායම්, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් නාගරය මුදාගත්තා
swa ස්ව-ආරක්ෂක කණ්ඩායම්, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් නගරය මුදාගත්තා

පොලිසිය ගොඩනගද්දී එහි වියදමෙන් කොටසක් දැරුවේ අලිගැට පේර නිෂ්පාදකයින්. කොපමණ හෙක්ටයාර ප්‍රමාණයක් සිය වගා බිමට අයත් ද යන පදනම මත ලබන ආදායම අනුව ඉන් ප්‍රතිශතයක් මේ සඳහා ඔවුන් ගෙවුවා.

නගර සභාවේ ද දායකත්වය ලැබූ මේ හමුදාවේ සාමාජිකයින් පුහුණුව ලැබුවේ ෆෙඩරල් හමුදාව යටතේයි.

CUSEPT හි ඉන්න හැමෝම කවරහෝ ආකාරයකින් අලිගැටපේර වගාවට සම්බන්ධයි. එයම මෙහි සාර්ථකත්වයට හේතුව බව නගරාධිපතිවරයා විශ්වාස කරනවා.

මිනිසුන්ට නැතිවෙන්න ගොඩක්දේ තිබෙනවා, ඒ නිසා එය ආරක්ෂා කරගැනීමට අවශ්‍යයි. ඔහු පැහැදිළි කළේය.

ඔවුන්ට මුදල් තිබෙනවා. ඔවුන්ගේ උපකරණ සිත් ඇදගන්නා සුළුයි. ඔවුන් ආයුධ සන්නද්ධයි, දේහාරක්ෂක කබා අඟලනවා. ඒ වගේම වෙඩි නොවදින පිකප් රථ ද ඔවුන් සතුයි.

ඔවුන්ගේ එක් මුර සංචාරයකදි මා අසුන් ගත්තෙ අලිගැටපේර වත්තක් හිමි ලොරෙනා ෆ්ලොරෙස් (Lorena Flores) අසලින්.

අපරාධ කල්ලිවලට කප්පම් ගෙවීමෙන් හෙම්බත්වූ නිසා පොලීසියට බැඳුනු බව ඇය කීවා.

සඳුදා සිට සිකුරාදා දක්වා දිනකට පැය 8 බැගින් ඇය පොලිසිය සමග වැඩ කරනවා. විවේක දිනයන්හි ඇය තම ගොවිපලේ වැඩ කරනවා. ජීවිතයට වැඩි ආරක්ෂාවක් ඇති බව ඇය පවසනවා.

ප්‍රජා සෝදිසිය

එක් අවස්ථාවක, හමුදාමය වෙස්වලාගැනීම් සඳහා යොදන වර්ණ (camouflage) ආලේප කරන ලද මුර පොලක් වූ දෙමහල් නිවසක් සහිත මංසන්ධියක අප නතර වුණා.

ඊට විරුද්ධ පැත්තේ මෝටර් රථ කිහිපයක් අසල කිහිපදෙනෙක් කතාබහක යෙදී සිටියා.

ඔවුන්, පොලීසිය සමග එක්ව මේ නගරයේ ක්‍රියාත්මකවන ස්ව-ආරක්ෂක කණ්ඩායම් 16න් එකක්. සැකකටයුතු යමක් අත්නම් ඔවුන් ඒ ගැන පොලිසියට ඔත්තු සපයනවා.

තමන් ළඟ ආයුධ තිබුනත් ඒවා මට නොපෙන්වන බව එක් අයෙකු මට කීවා.

මේ කණ්ඩායම් විවෘතව ආයුධ රැගෙන නොයන නමුත් පොලීසිය පවසන ආකාරයට අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ඔවුන්ගේ සහය ලැබෙනවා.

අපට එය එතරම් පැහැදිලි නොවුනත්, ටැන්සිටරෝවට එය ඵලදායී වී ඇති බව පෙනෙනවා.
පසුතැවෙනවට වඩා ප්‍රවේශම හොඳයි
 98987676 6d6feb22 e134 4004 b731 a1f5e4501e9dධනවත් ගොවියෙක්වූ චේමා ෆ්ලොරෙස්

ඊළඟට මට හමුවුනේ 1982 සිට අලිගැටපේර වගාවේ යෙදෙන ධනවතකුවන චේමා ෆ්ලොරෙස්.

අලිගැටපේර ඉල්ලුම මේ තරමින් ඉහළ යතැයි තමා කිසිවිටෙක නොසිතු බව ඔහු පවසනවා.

එය හොඳට මෙන්ම නරකට ද ඔහුගේ ජීවිතය වෙනස්කර තිබෙනවා.

රියදුරු අසුනට යටින් ලොකු තුවක්කුවක්, මං ඇහුව ඒ ඇයි කියල.

"මේ මොහොතෙදි, මෙහි ප්‍රවේශම්සහගතයි, ආරක්ෂාව තියෙනව. මට බොරු කියන්න ඕන නැහැ වෙනත් අසුන්දර ප්‍රදේශත් තිබෙනවා." ඔහු පැවසුවා.

"ඔවුන් මගේ අවුරුදු 16ක පුතා පැහැරගත්තා. කප්පම හැටියට ඩොලර් මිලියනයක් ඉල්ලුවත් මට දෙන්නට තිබුනෙ ඉන් භාගයක් පමණයි. මාවත් දෙසැරයක් ම පැහැරගත්තා."

තමන්ට ගිනිඅවියක් දැරීමට අවසර ඇති බවත්, සැමවිටම තමාගේත්, පුත්‍රයාගේත් ආරක්ෂාව වෙනුවෙන් ශරීරාක්ෂකයන් සිව්දෙනෙක් තබාගැනීමට අවසර ඇති බවත් ඔහු පැවසුවා.

 98987678 cd0d7b49 87e1 4d46 8a87 f5a7a9f29d0eශරීරාක්ෂකයන්ට මැදිව

මෙපමණ ආරක්ෂාවක් ගොවියෙකුට අවශ්‍යවීම පමණට වැඩි යැයි සිතුනද, විකල්පය ඉතා නරක ප්‍රතිපල ගෙනදිය හැකිබව ඔබට වැටහෙනවා ඇති.

තවදුරටත් පැහැරගැනීම් හෝ කප්පම් ගැනීම් නොමැති බව නගරෙ ඉන්න හැමදෙනාම මට පවසනවා.

ලොරෙනා, චේමා වගේ නිෂ්පාදකයින්ට දැන් සැනසිල්ලේ නිදාගන්න පුළුවන්.

2017 වසරේ මේ දක්වා කාලය, දශක දෙකක් තුළ මෙක්සිකෝවට ලැබූ අනතුරුදායක ම කාලයයි.

දැඩි ආයුධ සන්නද්ධව තමන්ගේ ම ආරකට ක්‍රියාත්මකවන ටැන්සිටරෝවේ අලිගැටපේර පොලීසිය, මෙක්සිකොවේ අඳුරු යුගය තුළ දැකිය හැකි දීප්තිමත් සලකුණක් වගේ.

බීබීසී ප්‍රවෘත්ති වෙනුවෙන්,
කේටි වොට්සන්, ටැන්සිටරො සිට ලියූ ලිපියක් ඇසුරෙනි