Language Switcher

V2025

චීන ජනාධිපති හොංකොං යළි එක්වීමේ 25වැනි සැමරුම අමතයි !

 
හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවය හොංකොං හි සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී උත්කර්ෂවත් අයුරින් ජූලි  (1) දා පැවැත්විණ.
 
 චීන ජනාධිපති ෂී ජින් පිං , එම උත්සවයට සහභාගි වී තීරණාත්මක  දේශනයක් පැවැත්වීය.
 
හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය "එක රටක් ක්‍රම දෙකක්" යන මූලධර්මයට සහ හොංකොංහි ව්‍යවස්ථාපිත තත්ත්වයට අනුකූල වේ. එය හොංකොං වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට, හොංකොංහි සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසා හිතකර බව චීන ජනාධිපති ෂී ජින් පිං පැවසීය. එසේම ඔහු පෙන්වා දුන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාවගේ ශතවර්ෂයක අසිරිමත් අරගලය උදෙසා හොංකොංහි ස්වදේශිකයන්ගේ සුවිශේෂී සහ වැදගත් දායකත්වයන් ඉතිහාසයේ සටහන් වන බවයි. ඉතිහාසයේ සෑම අවස්ථාවකදී හොංකොංහි ස්වදේශිකයන් මාතෘ භූමිය සමඟ එකට සියලු අසීරුතා අත්විඳි අතර, එකිනෙකා සමීපව සම්බන්ධ වී ඇතැයි ජනාධිපතිවරයස් පැවසීය.
 
‘දේශප්‍රේමීන් විසින් හොංකොං පාලනය කිරීම’ යන මූලධර්මය ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. හොංකොංහි සමෘද්ධිය හා ස්ථාවරය මෙන්ම එහි වෙසෙන මිලියන හතක පුරවැසියන්ගේ ප්‍රායෝගික වාසි රැක ගත හැක්කේ පාලන බලය මනා ලෙස සහතික කිරීම මගින් බව ඔහු පෙන්වා දී තිබේ.
 
“එක් රටක් ක්‍රම දෙකක්”මව්රටේ සහ හොංකොං ජනතාවගේ සමස්ත අවශ්‍යතාවන්ට ගැලපෙන අතර, හොංකොං සහ මැකව් කලාපීය මූලික අවශ්‍යතාවන්ට ද ගැලපේ. බිලියන 1.4ක චීන ජනතාවගේ පිළිගැනීමට ලක්වන එම ක්‍රමය ජාත්‍යන්තර වශයෙන් ද පොදුවේ එකඟතාව හිමි කර ඇති බැවින් වෙනස් කිරීමට කිසිදු හේතුවක් නැතැයි ෂි ජින් පිං ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.
 
විවිධ දුෂ්කරතා අත්විඳීමෙන් පසු, හොංකොං තුළ ගැටුම් ඇති වීමට ඉඩ දිය නොහැකි බවත්, හොංකොං සංවර්ධනය තවත් ප්‍රමාද කළ නොහැකි බවත් සෑම දෙනා ම වඩාත් ගැඹුරින් වටහා ගෙන ඇත. සියලු දුෂ්කරතා ඉවත් කර එහි සංවර්ධනයට අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපති  ෂී ජින් පිං එහිදී පැවසීය.
 
හොංකොං හි සිටින සෑම තරුණයෙකුම වඩා යහපත් හොංකොං කලාපයක් ගොඩනැගීමට කැපවී තම ජවසම්පන්න තාරුණ්‍යයෙන් අපූරු අනාගතයක් නිර්මාණය කරනු ඇතැයි ජනාධිපති  ෂී ජින් පිං සුබ ප්‍රාර්ථනා පළකළේය.
දිනූෂි ධීරසිංහ