වැටි ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණුවෙන් දියුණුවට පත්කිරීමට සුදානම් යැයි ඔලිම්පික් කමිටු සභාපතිධුරයට තරගවදින පොදු අපේක්ෂක ජස්වර් උමර් කියයි.
ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක වෙසෙන දක්ෂ දරුවන්ට ලෝකය දිනන්නට ඇති ලොකු ම වේදිකාව 'ඔලිම්පික්' උළෙලයි. වසර ගණනාවක් පුරා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සිහිනය පසුපස හඹා ගිය ද, එම ගමනට අවශ්‍ය ශක්තිමත් පදනම සහ නිසි නායකත්වය ලැබුණේ ද යන්න ගැටලුවකි.
අද 25 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ දී ඔලිම්පික් කමිටු සභාපති ධුරයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සූදානම් බව කියාසිටියේ ය.
ජස්වර් උමර් ගේ දැක්මෙහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ක්‍රීඩාව හුදු විනෝදාංශයකින් ඔබ්බට ගෙන ගොස් එය "සෑම දරුවෙකු ගේ ම මූලික අයිතිවාසිකමක්"ලෙස පිළිගැනීමට ඔහු පියවර ගන්නා බවයි.
නගරයේ සුපිරි පාසල්වලට පමණක් සීමා නොවී, මෙරටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින දක්ෂ දරුවන්ට ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය අවස්ථාව උදා කර දීම ඔහු ගේ ප්‍රමුඛතම අරමුණයි. ඔහු පවසන පරිදි, ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ සැබෑ සිහිනය ආරම්භ විය යුත්තේ ක්‍රීඩාංගණයෙන් නොව, දරුවා හැදී වැඩෙන 'ගෙදරින්' ය.
වර්තමාන ලෝකයේ ඔලිම්පික් ක්‍රීඩා 33ක් පවතී. ජස්වර් උමර් ගේ ඉලක්කය වන්නේ මේ සෑම ක්‍රීඩාවක් සඳහා ම ශ්‍රී ලාංකීය දරුවන් සූදානම් කිරීමයි. ක්‍රීඩාව ගමට ගෙන යෑම හරහා සැඟවී ඇති දක්ෂතා මතු කර ගැනීමටත්, එම දක්ෂතා ඔලිම්පික් මට්ටමට ඔසවා තැබීමටත් අවශ්‍ය සැලසුම් ඔහු සතුව ඇත. "ක්‍රීඩාව ගමට" යන සංකල්පය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඔහුගේ වැඩපිළිවෙළේ වැදගත් කොටසකි.
ඔලිම්පික් කමිටුව යනු හුදෙක් පදවි නාම දරන පිරිසක් සිටින තැනක් නොව, සැබෑ මෙහෙයුම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ආයතනයක් බවට පත් කිරීම උමර් මහතාගේ අපේක්ෂාවයි. ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා පරිපාලනය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමටත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින දූෂණය හා වංචාව මුළුමනින් ම තුරන් කිරීමටත් ඔහු ප්‍රතිඥා දෙයි. විශේෂයෙන්ම, ක්‍රීඩකයින් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන මූල්‍ය අපහසුතා මගහරවා ගැනීමට අවශ්‍ය සියලු මුදල් හා පහසුකම් ක්‍රමානුකූලව ලබා දීම ඔහුගේ සැලසුම් අතර ප්‍රධාන ය. ක්‍රීඩකයාට ක්‍රීඩාව ගැන පමණක් සිතීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම පරිපාලනයේ වගකීම බව ඔහු තරයේ විශ්වාස කරයි.
අද පැවැත්වෙන නිලවරණය හුදු පුද්ගල මාරුවක් නොව, ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයකි. ජස්වර් උමර් ගේ ඉදිරිගාමී නායකත්වයත්, දූෂණයෙන් තොර දැක්මත් ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට බලා සිටින දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව බලාපොරොත්තුවක් වනු නොඅනුමාන ය. ශ්‍රී ලංකාවේ නාමය ලෝක ක්‍රීඩා සිතියමේ රන් අකුරින් සටහන් කිරීමට නම්, මෙවැනි විප්ලවීය වෙනසක් කාලීනව අවශ්‍ය වී ඇත. එය අද පැවැති ඡන්දෙන් තමාගේ ජයග්‍රහණය සමග සනිටුවන් වන බව ඔහු කියා සිටියි.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
