ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය අප්‍රේල් 15 වැනිදා වැඩ භාරගත් ගැරී කර්ස්ටන් අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පළමු වරට මාධ්‍ය හමුවකට එක්විය.
එහිදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතා අනුව ඔවුන් දැනට රැඳී සිටින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, සියලුම ආකෘතිවලින් කණ්ඩායම ලෝකයේ ඉදිරියටම ගෙන ඒම තමන්ගේ ප්‍රමුඛතාවය බවත්ය.
කණ්ඩායම සමඟ ගතකළ පළමු සතිය තුළ ක්‍රීඩකයින්ගේ තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳව මූලික අධ්‍යයනයක් සිදුකළ බවත්, ඒ අනුව ව්‍යුහගත සැලසුමක් යටතේ "උද්යෝගිමත් නව ව්‍යාපෘතියක්" ලෙස කණ්ඩායම ඉදිරියට ගෙන යන බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම තවත් මාස 17කින් දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ වන විටත් සූදානම් වීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
"රට තුළ විශාල දක්ෂතා පිරිසක් ඉන්නවා. මම දැන් ගාල්ලට යන්නේ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සහ නවසීලන්ත 'ඒ' කණ්ඩායම අතර තරගය නරඹන්නයි. ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක ගැනීමට මම ඉතා උද්යෝගයෙන් පසුවනවා," යැයි පවසමින් ඔහු තරුණ දක්ෂතා හඳුනා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
2011 වසරේදී ඉන්දියාවට ලෝක කුසලානය දිනා දීමට පුහුණුකරු ලෙස කටයුතු කළ කර්ස්ටන් මහතා, එදා ශ්‍රී ලංකාවට අහිමි වූ එම ජයග්‍රාහී මානසිකත්වය සහ විශ්වාසය නැවත ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් තුළ ගොඩනැගීමේ අභියෝගය භාරගෙන තිබීම විශේෂත්වයකි. ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට එක්දින තරග 20ත් 25ත් අතර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට ලැබෙන බවත්, එම තරග හරහා කණ්ඩායමේ සමබරතාවය සහ නිවැරදි සංයෝජනයන් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැහැදිලි කළේය.
නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගයට හුරුවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් කර්ස්ටන් මහතා, ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය (Fitness) පිළිබඳවද අදහස් දැක්වීය. යෝග්‍යතාවය යනු ක්‍රීඩකයෙකුට උපරිම කාලයක් පිටියේ රැඳී සිටිමින් දක්ෂතා දැක්වීමට ඇති හැකියාව බවත්, වැදගත් තරගවලදී ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම වළක්වා ගැනීම සඳහා පවතින යෝග්‍යතා ප්‍රමිතීන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙරෝම් ජයරත්න යන මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී කර්ස්ටන් මහතා වැඩිදුරටත් කියා සිටියේ, කණ්ඩායම පීඩන අවස්ථාවන්ට මුහුණ දීමේදී සියලු දෙනාම එකම ඉලක්කයක් කරා ගමන් කරන "පිරිසිදු හා ස්ථීර ක්‍රමවේදයක්" පවත්වා ගැනීම තම වගකීම බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
