පැතුම් නිස්සංක වාර්තාගත අයුරින් රැස්කළ මනරම් ශතකය හමුවේ, මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනා ගේ (Super 8) වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වුණි.
ඔස්ට්‍රේලියාව සමග පැවති මෙම තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.
ඔස්ට්‍රේලියානු ඉනිම ඇරඹූ ට්‍රැවිස් හෙඩ් (56) සහ මිචෙල් මාෂ් (54) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51ක දී ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගුව ද, ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට අවතීර්ණ විය.
තරගය අතරතුර මතීෂ පතිරණ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට පාඩුවක් වුව ද, දුෂාන් හේමන්ත (කඩුලු 3ක්) සහ දුෂ්මන්ත චමීර (කඩුලු 2ක්) ප්‍රමුඛ පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 181කට සීමා කිරීමට සමත් විය. ඔස්ට්‍රේලියානු අවසන් කඩුලු 10ම ලකුණු 77ක් තුළ බිඳ වැටීම විශේෂත්වයකි.
ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී ගිය ද, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් (51) එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගී ය.
පැතුම් නිස්සංක සිය සුපිරි පිතිකරණය දියත් කරමින් පන්දු 52ක දී සිය ශතකය සම්පූර්ණ කළේ ය. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය ලෙස ද ඉතිහාසයට එක්විය. ශ්‍රී ලංකාව පන්දුවාර 18ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය.
ඔස්ට්‍රේලියාව: 181/10 (පන්දුවාර 20)
ශ්‍රී ලංකාව: 184/2 (පන්දුවාර 18)
විශේෂ දක්ෂතා: පැතුම් නිස්සංක 100*, දුෂාන් හේමන්ත 3/37
වාර්තා පිට වාර්තා තැබූ පැතුම්
මෙය පැතුම් නිස්සංක විස්සයි20 ජාත්‍යන්තර තරග රටාව තුළ රැස්කළ දෙවැනි ශතකය වන අතර, පන්දු 52ක දී වාර්තා වූ ඔහු ගේ මෙම ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. මෙම ඉනිමත් සමග ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගයක දී ක්‍රීඩකයකු රැස්කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ ය. මීට පෙර ලෝක කුසලානයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස්කර තිබුණේ මහේල ජයවර්ධන (2010 දී) පමණි.
එමෙන්ම 2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියක දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකය ලෙසද මෙය ඉතිහාසයට එක්විය.
ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළේ ය. මෙම ජයග්‍රහණය වාර්තා පොත් අලුත් කළේ මෙලෙසිනි.
මව්බිමේ දී විස්සයි20 තරගයක හඹාගොස් ජයගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව.
ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් ජයගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව.
වසර 17කට පසුව ලෝක කුසලාන තරගයක දී ඔස්ට්‍රේලියාව පරාජය (2007න් පසු පළමු වරට) කිරීම.
තරගයේ හැරවුම් ලක්ෂ්‍යය සහ පන්දු යැවීම
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් (56) සහ මිචෙල් මාෂ් (54) පන්දු 51කින් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගූහ. කෙසේ වෙතත්, දුෂාන් හේමන්ත කඩුලු 3ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 181කට සීමා කළේ ය. ඔස්ට්‍රේලියානු කඩුලු 10ම ලකුණු 77ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
පන්දු යවමින් සිටිය දී වම් පාදයේ (calf) ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ අද ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.
මෙන්ඩිස්ගේ දායකත්වය සහ නායකයාගේ ස්තූතිය
දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් සමග එක්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කළ අතර එය ඔහුගේ පිට පිට තෙවැනි අර්ධ ශතකය යි. තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක සම්මාන ලැබූ අතර, ජයග්‍රහණයෙන් පසු නායක දසුන් ශානක පල්ලේකැලේ ක්‍රීඩාංගණයට රොක්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට සිය ස්තූතිය පුද කළේ ය.
ඔස්ට්‍රේලියාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම්, අද පැවැත්වෙන අයර්ලන්ත - සිම්බාබ්වේ තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය විය යුතුය.

