ශ්‍රී ලංකා ක්‍රිකට්: අපට අවශ්‍ය වන්නේ එකමුතුවයි, අන්තර්ජාල යුද්ධයක් නොවෙයි - සුදත් චන්ද්‍රසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට්: අපට අවශ්‍ය වන්නේ එකමුතුවයි, අන්තර්ජාල යුද්ධයක් නොවෙයි - සුදත් චන්ද්‍රසේකර

ICC T20 ලෝක කුසලානට තවත් දින කිහිපයක් පමණක් තිබෙන මොහොතක, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දීමට සිදුවන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රතිවාදි කණ්ඩායම්වලට පමණක් නොවෙයි.

ඊට වඩා බලවත් වූ, ක්‍රීඩකයින් වඩා අහිතකර, මානසික පීඩනයකට භාජනය වන සමාජ මාධ්‍ය තුළ ඇතිවන අඛණ්ඩ විවේචන හා අපහාස කුණාටුවකටයි.

ක්‍රීඩා කියන්නේ ජයග්‍රහණ පමණක් නොවෙයි

සෑම ක්‍රීඩාවක දී ජයග්‍රහණ සහ පරාජය දෙකම අත්විඳින්න සිදු වෙනවා. ක්‍රීඩාවේ මූලික ඉගැන්වීම ජය පරාජය දරා ගැනීමයි. නමුත් අධිෂ්ථානය ජයග්‍රහණය යි. ජයග්‍රහණයට දක්ෂතාව, සැලසුම්, පුහුණුව, කැපකිරීම් වගේම සමහරවිට වාසනාවත්, ලැබීමත් අවශ්‍ය යි. පරාජය කියන්නේ ක්‍රීඩාවේ ස්වභාවික එක් කොටසක් පමණයි.

අපේ ක්‍රීඩකයෝ දිනන්න කැමතියි. පුහුණුකරුවන් තම කණ්ඩායම දිනවන්න කැමතියි.
අපිත් ලාංකික පුරවැසින් ලෙස අපේ කණ්ඩායම දිනනවාට කැමතියි. අපි කවුරුත් පරාජයට කැමති නෑ. ඒත් පරාජය කියන්නේ අවසානය නෙවෙයි, එය බොහෝවිට නැවත නැගිටීමේ ආරම්භය යි.

අපේ ජාතික වගකීම

අපේ කණ්ඩායම මානසික ධෙෙර්යමත් කිරීම මිස මානසිකව බිඳ දැමීමට මෙය කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නෙවෙයි. අපිට අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක විවේචනය, සත්‍යය පදනම් කරගත් සංවාද, ක්‍රීඩකයන්ට හැකි අයුරින් සහයවීම සහ අපේ රටේ නාමය ආරක්ෂා කිරීමයි. නින්දා අපහාස, පහත් මඩ ප්‍රචාර, මේවා රටටත්, ක්‍රීඩාවටත්, අපේ අනාගතයටත් අහිතකරයි. ඒත් මේ දිනවල, අපේ ක්‍රීඩකයන්ට එල්ලවෙන්නේ නිර්මාණාත්මක විවේචනයක් නොවෙයි, මානසික පීඩනයක්. මෙහෙම පීඩනයක් යටතේ කිසිම ක්‍රීඩකයෙකුට හොඳට ක්‍රීඩා කරන්න අමාරුයි.

දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ නිකන්ම නිකන් ක්‍රීඩාවක් පමණක් නොවෙයි. ඒක අපේ ජාතික හැඟීම, අපේ සංස්කෘතිය, අපේ ජීවිතයේ කොටසක් බවට අද පත් වෙලා. ජාති, ආගම්, කුල,පක්ෂ බේදයකින් තොරව අප සියලු ම දෙනා එයට ආදරය කරනවා. අපේ ජාතික ක්‍රීඩා අත්පන්දු (වොලිබෝල්) වුනාට, අපේ හදවතේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට්.

ක්‍රීඩකයන් ගේ මානසිකත්වය ඉහළ නැංවීම අපේ වගකීමක්

අපේ ක්‍රීඩකයන්ද අප මෙන් සාමාන්‍ය පවුල්වල මනුෂ්‍යයෝ. අපට මෙන්ම ඔවුන්ට ද පවුල් තියෙනවා, ජීවිත තියෙනවා, හැඟීම් තියෙනවා. ඔවුන් වසර ගණනාවක් පුහුණු වෙලා, පෞද්ගලික ජීවිතයත් අතහැරලා, රටේ බර ඔවුන්ගේ අතේ දරනවා. එ් වෙනුවෙන් ඔවුන් අවුරුදු ගාණක් කොච්චර ලොකු කට්ටක් කන්න ඇද්ද? එ්ක ඔබට මට කළ හැකි දෙයක්ද? ඒත් ලෝක කුසලානයට යන්න කලින් ඔවුන්ට අන්තර්ජාලයේ අපහාස, නින්දා, අසත්‍ය ප්‍රචාරවලට මුහුණ දීමට සිදුවනවා කියන්නෙ ඉතාම කනගාටුදායක කරුණක්.

ලෝකයේ බලවත්ම කණ්ඩායම් පරාජවලට, පසුබෑමට ලක්වෙනවා.

ලෝක ශූරයින් වූ ඔස්ට්‍රේලියාව පකිස්ථානයට ටී 20 තරගයේ දි ලකුණු 96 ටත් කඩාවැටුණා. එංගලන්තය ඔස්ට්‍රේලියාවට හමුවේ දැඩි පරාජයක් ලැබුවා.

ඒත් ඔවුන්ගේ ජනතාව ඔවුන්ට පසුපසින් සිට ඔවුන්ව මානසික උද්යෝගය ලබා දුන්නා. අපිත් එහෙම ම වෙන්න ඕන.

ලෝක කුසලාන සම සත්කාරකත්වය

ලෝක කුසලාන තරගවලට අනුග්‍රහකත්වය ලබාගන්න එක සරල දෙයක් නෙවෙයි. ඒ සඳහා SLC විසින් කළ වැඩ, ගත කළ කාලය, කළ ගෝලීය මට්ටමේ ප්‍රචාරණ වැඩ , ජාත්‍යන්තර සබඳතා, ඒවා දෙසත් අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස ගෞරවයෙන් බලන්න ඕන.

අපේ රටේ නාමය ලෝක වේදිකාවට ගෙනියන මේ වගේ අවස්ථාවක් අපි අනිවාර්යයෙන් ම අගය කළ යුතු යි. එම අවස්ථාව අපට ලැබීම මහත් ආඩම්බරයක් වගේම සතුටට කරුණක්. මේ අවස්ථාවේ එයින් අපට ලැබෙන ඩොලර් ආදායම අපේ ආර්ථිකයට මහත් රුකුලක් වනු ඇත.

බංග්ලාදේශයේ උගත් පාඩම — සමාජ මාධ්‍යය දේශපාලනය වූ විට

බංග්ලාදේශයේ සිදුවූ දේ අපිට හොද පාඩමක් සහ දැඩි අවවාදයක් සපයනවා. සමාජ මාධ්‍යය මෙහෙයුම නිසා දේශපාලනිකව, ආර්ථිකව, සමාජිව වශයෙන් රට තුළ අස්ථාවරත්වයක් ඇති වුණා. ඒක ක්‍රීඩාවටත් ඇදගෙන ගියා. අවසානයේ ICC විසින් දඩුවම් දීලා, රටේ ක්‍රිකට් කීර්තියත් බිඳ වැටුණා.

ශ්‍රී ලංකාව මේ මගට යන්න දෙන්න එපා. T20 ලෝක කුසලානය කියන්නේ තරගයක් පමණක් නෙවෙයි. එය අපේ එකමුතුව, ජාතික ගෞරවය, ක්‍රීඩා ආදරය සහ හැසිරීම පරීක්ෂා කරන අවස්ථාවක්.

අපි අපේ කණ්ඩායමට බරක් නොවෙමු. අපි ඔවුන්ගේ ශක්තිය වෙමු. ශ්‍රී ලංකාව දිනුවොත්, දිනන්නේ අපි හැමෝම. ශ්‍රී ලංක කණ්ඩායමට හදවතින්ම සුබ පතමු.

 

sudath1 සුදත් චන්ද්‍රසේකර

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න