හරියටම අවශ්‍ය අවස්ථාවේදී අත් එසවීමට දන්නා ඉන්දිය ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතුකර ගත්හ.
ඉන්දියාවේ නවී මුමබායි නුවරදී පැවැති අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකානු කාන්තා පිල ලකුණු 52 කින් පරාජය කරමින් ඉන්දියානු කාන්තාවෝ ඉතිහාසයේ පළමු වතාවට ලෝක ක්‍රිකට් කුසලානයක හිමිකාරියෝ වූහ.

ඉන්දියාවේ නවී මුම්බායි නුවරදී ඉරිදා (02 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තාවෝ කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් ලබාගත්හ. දකුණු අප්‍රිකානු කාන්තාවෝ ඕවර 45.3 කදී ලකුණු 246 කට දැවී ගියහ.
ක්‍රිකට් තරගයකදී තුන් ඉරියව ක්‍රීඩකයකුගේ හෝ ක්‍රීඩිකාවකගේ වටිනාකම මේ යයි කියා ශෆාලි වර්මා සහ දීප්ති ෂර්මා එක්ව කඩුලු 7 ක් බෙදා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම විනාශ කළහ. මේ දෙදෙනා එක්ව ඉන්දීය ලකුණු පුවරුවට එකතු කළ ලකුණු සංඛ්‍යාව 145 කි.
ශෆාලි වර්මා සහ දීප්ති ෂර්මා
ආරම්භක පිතිකාරිණි ශෆාලි වර්මා පිත්තෙන් ලකුණු 87 ක් ලබාගත්තා මදිවාට සිය පිට දඟ පන්ද යවමින් පන්දු 11 ක් ඇතුළත දකුණු අප්‍රිකානුවන්ගේ ඉදිරිපෙළ පිතිකාරිණියන් දෙදෙනකු වන සුනේ ලූස් (25) සහ මෙරිසාන් කප් (4) දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැව්වාය. වර්මා පන්දුව අතට ගැනීමට පෙර 114/2 ක් ලෙසින් දිස්වූ ලකුණු පුවරුව ඕවර 2 ක් ඇතුළත 123/4 ක් ලෙසින් දිස්විය.
සුනේ ලූස් සහ මෙරිසාන් කප්
එතැන් සිට වැඩ බාරගත් දීප්ති ෂර්මා ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගත්තාය. අවසන් පූර්ව තරගයේදීත් අතිශය තියුණු ජයක් ලබාගත් ඉන්දියාව වෙනුවෙන් දීප්ති ෂර්මා අගනා දායකත්වයක් දැක්වූ ක්‍රීඩිකාවකි.
ලකුණු 299 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් නායිකා ලෝරා වූල්ෆාත් (101) ශතකයක් ලබාගත් නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 220 දී ඇයගේ දැවී යාමත් සමගින් දකුණු අප්‍රිකානු සටන නිමාවිය.
ඉන්දීය ඉනිමේදී ශෆාලි වර්මා (87) සහ දීප්ති ෂර්මා (58) අර්ධ ශතක ලබාගත් අතර රාධා යාදව් (නොදැවී 03) හැරෙන්නට අනෙක් සියලුම ක්‍රීඩිකාවෝ ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවන් ලබාගත්හ. එහෙත් දකුණු අප්‍රිකානු ඉනිමේදී ලෝරා වූල්:ාත්ගේ ශතකයට අමතරව ලකුණු 30 ඉක්මවා ලබාගත්තේ අනාරි ඩර්ක්සන් (35) පමණි. දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ හතර දෙනෙක්ම තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ. කඩුලු අතර සම්බන්ධතා දිගහැරුණේත් ලෝරා පිටියේ සිටියදී පමණි.
කණ්ඩායම් දෙකේ වෙනස තිබුණේ එතැනය. අද දිනයේ වඩාත් හොඳින් ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයේ හිමිකාරිණියෝ වූහ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් ඉන්දීය කාන්තාවන්ගේ පිතිහරඹය “විනයානුකළ ආක්‍රමණයකි”. එනිසාම ඔව්හු ලෝක කුසලානය දිනාගත්හ.
වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පැය දෙකකින් ආරම්භය පමා වූවත්, ඕවර සංඛ්‍යාව අඩු නොකර පස්වරු 5.00ට තරගය ආරම්භ කිරීමට විනිසුරුවරු සහ ශ්‍රී ලාංකික තරග තීරක, මිචෙල් පෙරෙයිරා තීරණය කළහ.
නවී මුම්බායි නුවර ඩී.වයි. පතෙල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වූල්ෆාත් පළමුව පන්දු යැවීම තෝරාගත් නමුත් ඉන්දීය පිතිකාරිණියන්ගේ ප්‍රචණ්ඩ ප්‍රවේශය නිසා ලෝරාගේ සැලසුම් වතුරේ ගියේය.
ආරම්භක පිතිකාරිණියන් වන ස්මිත්‍රී මන්දනා (45) සහ ශෆාලි වර්මා (87) එක්ව ඕවර 17.4 කදී (පන්දු 106) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මන්දනා දැවීයාමෙන් පසුව පැමිණි ජෙමීමා රොඩ්ඩි්‍රගුවස්, අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කළ පිතිහරඹය තවදුරටත් ඉදිරියට ගෙන යමින් පන්දු 37 කින් ලකුණු 24 ක් ලබාගත්තාය.
අංක 3 පිතිකාරිණිය ලෙසින් රොඩි්‍රගුවස්ගේ පැමිණීම ශෆාලි වර්මාට ස්වයංවරයක් විය. රොඩි්‍රගුවස් කඩුල්ලේ අනෙක් අන්තයේ සිටි බැවින්, නිදහසේ පිත්ත හැසිරවූ වර්මා පන්දු 78 කින් ලකුණු 87 ක් ලබාගත්තේ හයේ පහර 2 ක් සහ හතfරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කරමිනි. 28 වැනි ඕවරයේදී දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටෙන විට ලකුණු 166 ක් පුවරුවට එක්වී තිබිණ. එය ශෆාලි වර්මාගේ හොඳම එක්දින ඉනිම ද විය.
එතැන් සිට තිබුණේ ඉන්දීය පිතිකාරිණියන් අත්කරගත් ග්‍රහණය ලිහිල් කිරීමකින් තොරව තව තවත් දැඩි කිරීමේ ප්‍රයත්නයකි. නායිකා හර්මන්ප්‍රීත් කෞර් (20), දීප්ති ෂර්මා (58) සහ රිචා ගෝෂ් (34) එය අපූරුවට කළහ. තිදෙනා එක්ව ලබාගත් ලකුණු 112 වෙනුවෙන් ඔවුන් මුහුණ දන්නේ පනන්දු 111 කට පමණි.
දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වූල්ෆාත්ගේ අති විශිෂ්ට උපන්දු රැකීමකින් හර්මන්ප්‍රීත් කෞර් දැවී ගියත් පිටියට පැමිණි විගසින් හයේ පහරකින් තම ආගමනය ලකුණු කළ රිචා ගෝෂ්ගේ ලකුණු 34 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

මේ අතරවාරයේදී කඩුලු 4 ක් දැවීගිය නමුත් එයින් ඉන්දීය පිතිහරඹයට වූ අවාසියක් නැත. තරගය ජයගැනීමට තරම් ලකුණු සංඛයාවක් ඔවුන් එකතුකරගෙන තිබිණ.
ඉන්දිය කාන්තා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ට 298 යි
(ස්මිත්‍රී මන්දනා 45, ශෆාලි වර්මා 87, ජෙමීමා රොඩි්‍රගුවස් 24, හර්මන්ප්‍රීත් කෞර් 20, අමන්ජෝත් කෞර් 12, දීප්ති ෂර්මා 58, රිචා ගෝෂ් 34, අයබොන්ගා කාකා 58/3)
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 246 යි
(ලෝරා වූල්ෆාත් 101, ටැස්මින් බ්‍රිට්ස් 23, සුනේ ලූස් 25, සිනාලෝ ජෆ්ටා 16, අනාරි ඩර්ක්සන් 35, නඩීන් ඩි’ක්ලර්ක් 18, දීප්ති ෂර්මා 39/5, ශෆාලි වර්මා 36/2)

