බෙන් ඔස්ටින්: පන්දුවක් වැදී ඔස්ට්‍රේලියාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය යයි

බෙන් ඔස්ටින්: පන්දුවක් වැදී ඔස්ට්‍රේලියාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය යයි
(සටහන :  ලානා ලාම් - බීබීසී සිඩ්නි)

ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙල්බර්න්හි පැවති පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
 

17 හැවිරිදි බෙන් ඔස්ටින් අඟහරුවාදා ෆර්න්ට්‍රී ගලීහි ක්‍රිකට් නෙට් පුහුණුවක නිරත වෙමින් සිටියදී ඔහුගේ හිසට හෝ ගෙළ ප්‍රදේශයට පන්දුවක් වැදී තිබිණි. එම අවස්ථාවේ ඔහු හිස්වැස්මක් පැළඳ සිටි බවට විශ්වාස කෙරේ.

ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් පස්වරු 5:00ට (GMT 06:00) සුළු වේලාවකට පෙර හදිසි සේවකයින් එම ස්ථානයට කැඳවනු ලැබූ අතර, බරපතළ තත්ත්වයෙන් සිටි එම දරුවා මොනෑෂ් ළමා රෝහලට ඇතුළත් කරන ලදී. ඔහුට ජීවිතාරක්ෂක ආධාරක සවි කළ නමුත් බ්‍රහස්පතින්දා මිය ගියේ ය.

ෆර්න්ට්‍රී ගලී ක්‍රිකට් සමාජය පැවසුවේ, තම ක්‍රීඩකයෙකුගේ "ඛේදජනක සමුගැනීමෙන්" ඔවුන් "අතිශයින් ම කම්පාවට පත් වූ" බවත්, එම යෞවනයාගේ මරණය "අපගේ ක්‍රිකට් ප්‍රජාවේ සැමට දැනෙනු ඇති" බවත් ය.

ෆර්න්ට්‍රී ගලී සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ආර්නි වෝල්ටර්ස් පැවසුවේ, බෙන් "දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ක්‍රීඩකයෙකු" වූ බව ය.

"මේ සිද්ධිය අපගේ ජනතාවට කොයිතරම් බරපතළ විදිහට දැනෙයි ද කියල මට හිතාගන්න පුළුවන්. අපගේ ක්‍රීඩා සමාජවලට සහ ක්‍රිකට් ක්‍රීඩක ප්‍රජාවට අපට හැකි සෑම සහයෝගයක් ම අපි ලබා දෙනවා," ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය සටහනක් තබමින්, බෙන්ගේ ක්‍රිකට් සමාජය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට සහ "බෙන් ගැන දන්නා සහ ඔහු ගෙන ආ ප්‍රීතිය දැන සිටි සියලු දෙනාට ම" ශෝකය පළ කළේ ය.

"මේ කාලය තුළ බෙන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු," යනුවෙන් ද එම සටහනේ සඳහන් විය.

මිය ගිය ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන්, ක්‍රිකට් සමාජය වික්ටෝරියා ගිලන් රථ සේවාවට, පොලිසියට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ද ස්තූති කළේ ය.
බෙන් තරග 100කට වඩා ක්‍රීඩා කළ වේවර්ලි පාර්ක් හෝක්ස් ජූනියර් පාපන්දු සමාජය පැවසුවේ, ඔහු "කාරුණික", "ගෞරවණීය" සහ "අපූරු පාපන්දු ක්‍රීඩකයෙකු" බව ය.

"අපගේ සමාජයට සහ ප්‍රජාවට ඉතා හොඳ තරුණ වැඩිහිටියෙකු බවට පත්වෙමින් සිටි සැබවින් ම ශ්‍රේෂ්ඨ තරුණයෙකු අහිමි වී ඇති අතර, ඔහුගේ වියෝව ඉදිරි වසර ගණනාවක් අපගේ සමාජයට දැඩි ලෙස දැනේවි."

අදහස් විමසීම සඳහා බීබීසී පුවත් සේවය, ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ක්‍රිකට් ආයතන සම්බන්ධ කර ගැනීමට උත්සහ කළේ ය.

2014 දී ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී පන්දුවක් ගෙළෙහි වැදීමෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුස් මිය ගොස් දශකයකට පමණ පසු මෙම සිදුවීම සිදුවිය.
ඔහුගේ මරණයට කිසිවෙකු වගකිව යුතු නැති බව මරණ පරීක්ෂකවරයෙකු අවසානයේ නිගමනය කළ අතර, එම ක්‍රීඩාව කරන අයගේ ආරක්ෂක උපකරණ වැඩිදියුණු කිරීමට එය හේතු විය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න