ජනාධිපතිතුමාගේ දැඩි අවධානයට...,
පොළොන්නරුව කියන්නේ හරි දුප්පත් දිස්ත්‍රික්කයක්. ආර්ථික සවිමත් බව අතින් අනික් දිස්ත්‍රික්ක අතර අපි ඉන්නේ 16 , 17 වගේ තැන්වල. ලංකාවේ ලොකුම වී මෝල් ටික මෙහෙ තිබුනට රටේ සමස්ත ආර්ථිකයට ම වී ගොවිතැන කියන්නෙ ම හූනියමක්. අපිට හරිහමන් ආර්ථික සම්පතකට තියෙන්නේ කවුඩුලු මින්නේරි ජාතික උද්‍යාන දෙක විතරයි. මේ වෙද්දි හබරණ කියන්නේ විදේශීය සංචාරක කලාපයක් ලෙස ඉතා වේගවත් දියුණුවක් අත්පත් කරමින් ඉන්න ප්‍රදේශයක්. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ඉහත කී වන උද්‍යාන දෙකේ , ලෝක ප්‍රසිද්ධ , අති සුවිශේෂී වන අලි එකතුව (great elephants gathering).
හබරණ ගැවසෙන්නේ සීගිරියට එන සංචාරකයින්. නමුත් සීගිරියට එන සංචාරකයින්ගෙන් පොළොන්නරුවට එන්නේ 20% ටත් අඩු ප්‍රමාණයක්.
ඇත්තටම සීගිරිය කියන්නේ අමුතුවෙන් සංචාරකයින් ඇද බැඳ ගන්න , රඳවා ගන්න අමුතුවෙන් අලුතෙන් කිසිවක් කරන්න ඕනේ තැනක් නෙවෙයි. ආණ්ඩුවක් වශයෙන් සීගිරියට කල යුතු එකම දේ, දාමරික සහ ජාවරම්කාර සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් දැඩිව නියාමනය කර සීගිරිය විදේශීය සංචාරකයින්ට සුපසන් සහ යහපත් තැනක් කිරීම පමණයි. ඉතුරු සියල්ල කාශ්‍යප රජ්ජුරුවෝ ඉහටත් උඩින් කරලා තියනවා...
පොළොන්නරුව…?
අපිට සංචාරකයෝ එන්නේ බොහෝම ටිකයි. ඒ ප්‍රමාණය වැඩිකර ගැනීමේ අරමුණින් සහ අපෙන් ගල්ගෙඩි අලගෙඩි වගේ නිරෝගීව උඩවළවට අරන් යන අම්මා අහිමි අලි පැටවු, අකල්හි මිය යෑමේ ඛේදවාචකයටත් පිළිතුරක් ලෙස අපි ඇත් අතුරු සෙවනක් යෝජනා කරා. දැන් එය සිද්ද වෙන තැනට වැඩ කටයුතු වෙමින් තිබෙනවා. ඒ සඳහා සුදුසු භූමිය ලෙස අංගම්මැඩිල්ල තෝරාගෙන තිබෙනවා...
මොකද්ද ප්‍රශ්නය?
ප්‍රශ්නය තමයි සීගිරියේ පොල්අත්තාවෙන් මින්නේරි උද්‍යානයට නව ප්‍රවේශයක් ඉදි කිරීම, පේක්කුලම හරහා අංගම්මැඩිල්ලට පාරවල් තැනීම.
මේකෙන් මොකද වෙන්නේ...?
සුද්දන්ට, පොලොන්නරුවට තියා සීගිරියෙන් හබරණටවත් එන්න හේතුවක් නැතුව යනවා. පොලොන්නරුව විතරක් නෙවෙයි හබරණත් ඉවර වෙනවා. අලින්ගේ වාසභූමි තුළ පමණ ඉක්මවා කෙරෙන බාදා කිරීම්, අත්පත් කිරීම්නි සා සිදුවන වන අලි ගම්වැදීම් නිසා ඇළහැර දියබෙදුම ආදී ගම්මානත් සීගිරිය අවට කැළෑබද ගම්මානත් අලි මිනිස් ගැටුමේ දැඩි වින්දිතයින් බවට පත් වෙනවා. අලුත ගෙනා මනමාලි වහලෙත් ගොම ගෑවා වගේ වැඩ අපි මේ ආණ්ඩුවෙන් කිසි ලෙසකවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. කොහේ හරි ඉන්න මොකෙක් හරි දෙන දිරපු ලණු ගිලින එක නැවැත්වීම ආණ්ඩුවේ දිගුකාලීන පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. මේ අනවශ්‍ය කටයුත්ත වහාම නැවැත්වීමට අදාළ බලදාරීන් ගේ, නිලධාරීන් ගේ අවධානය යොමු වේවා…!
අඩු තරමේ පොලොන්නරුවේ මිනිස්සුවත් මේක ෂෙයා කරන්න. අපි ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කවලින් එකක්...

සටහන - Kanchana Wewalpanawa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
